පාකිස්තානයේ ඉලක්ක වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ සටන්කාමීන් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉන්දියාව අද (25) ප්‍රකාශ කළේය.
මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේ පුල්වාමාහිදී ඉන්දීය හමුදා රථ පෙළකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින අර්බුදකාරී තත්ත්වය උග්‍ර අතට හැරිණි. එම ප්‍රහාරයෙන් ඉන්දීය හමුදා සාමාජිකයෝ 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානය එම ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබිණි.
“බුද්ධි අංශ වාර්තා පදනම් කරගනිමින් මේ මෙහෙයුම ක්‍රියාත්මක වුණා. බලාකොට් හි තිබෙන ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ විශාලතම පුහුණු කඳවුරට ඉන්දියාව ප්‍රහාර එල්ලා කළා” යැයි ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ලේකම් විජේ ගෝකලේ පැවැසීය.
“මෙම මෙහෙයුමේදී ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ ත්‍රස්තවාදීන්, පුහුණුකරුවන්, ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන්, ජිහාද් කණ්ඩායම්වල විශාල පිරිසක් මියගියා. ඔවුන් ෆිදායින් ක්‍රියාකාරකම් පුහුණු වෙමින් සිටියා” යැයි ගෝකලේ කීය. ෆිදායින් යනු මරාගෙන මැරෙන ඉස්ලාමීය සටන්කාමීන් හැඳින්වීමට යොදාගන්නා වචනයකි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විජේ ගෝකලේ මෙහෙයුම සම්බන්ධයෙන් ඊට අමතරව කිසිවක් සඳහන් නොකළේය.
රොයිටර් ඇසුරිනි
055

