ගාසා තීරයේ පලස්තීනුවන් 29 දෙනකු කුසගින්නේ මියගිය බව පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පවසති. මියගිය 29 දෙනා අතර සිටින්නේ කුඩා දරුවන් සහ වයෝවෘද්ධ පුද්ගලයන්ය.
මෙම මරණ සිදුවී ඇත්තේ ඉකුත් දින කිහිපය ඇතුළතදී යැයි ද පැවැසෙයි. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ අසරණ වූ ගාසා පලස්තීන වැසියන්ට ආහාර ලබා දීම ඊශ්‍රායලය විසින් අවහිර කරනු ලැබ තිබෙන්නේ සති ගණනක් තිස්සේය.
ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානය සහ හමාස් සටන්කාමීන් අතරේ පැවැති සාකච්ඡා බිඳ වැටීමත් සමඟ ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් ඉලක්කවලට දිගින් දිගටම දරුණු ලෙස ප්‍රහාර එල්ල කරයි.
ආහාර පමණක් නොව අවශ්‍ය ඖෂධ පවා පලස්තීන වැසියන්ට ලැබෙන්නේ නැත. පලස්තීනයේ ක්‍රියාත්මක, විදෙස් ආධාරවලින් පවා පිහිටුවනු ලැබ තිබුණු රෝහල් සියල්ල මේ වනවිට ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් විනාශ වී අවසන්ය.
ආහාර නොමැතිව, කුසගින්නේ සිටින පලස්තීන දරුවන්ගෙන් තවත් දරුවන් 14,000 ක් මරණ මංචකය අබියස සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය දිගින් දිගටම කළ ඉල්ලීමට අනුව, ගාසා පලස්තීනුවන්ට ආහාර ලබා දීමට ඊශ්‍රායල රජය කැමැත්ත පළ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. කෙසේ නමුත්, ආධාර බෙදා දීමක් සිදුවන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් වාර්තා වී නැත.
(ඒ.එෆ්.පී.)