කොලොම්බියා විශ්ව විද්‍යාලයට පොලිසිය කඩාවදී


ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරයේ පලස්තීනුවන් මියයෑමට එරෙහිව විරෝධතා පැවැත්වෙන නිව්යෝක් කොලොම්බියා විශ්ව විද්‍යාලයට ඊයේ (30) පොලිසිය කඩා වැදුණි. 

ඊශ්‍රායලය ගාසා තීරයට ඉවක් බවක් නැතිව පහර දෙමින්, ගාසා පලස්තීන වැසියන් අමු අමුවේ ඝාතනය කිරීමට ඉඩ දෙනවා යැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට බල කරමින්, කොලොම්බියා විශ්ව විද්‍යාල භූමියේ විරෝධතා පැවැත්වෙන්නේ පසුගිය දින කිහිපය පුරාවටය. විරෝධතා පළ කරන සිසු සිසුවියන්, විශ්ව විද්‍යාලයේ කටයුතුවලට බාධා කරමින්, විශ්ව විද්‍යාල භූමියේ කඳවුරු බැඳ ගෙන සිටිති.

විශ්ව විද්‍යාල භූමියට ඇතුළු වුණු නිව්යෝක් කැරැලි මර්දන පොලිසිය විරෝධතාකරුවන් විසුරුවා හරින්න පටන් ගත්තේය. එම අවස්ථාවේදී පොලිසිය සමඟ ගැටුණු සිසු සිසුවියන් බොහෝ දෙනකු අත්අඩංගුවට ගැනුණි.

ඊශ්‍රායලය දිග්නි දිගටම ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙන්නේ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගෙන් ඊශ්‍රායලයට ලැබෙන සහාය නිසා යැයි විරෝධතාවට එක් වුණු විශ්ව විද්‍යාල සිසුන්ගේ අදහස වී තිබේ.

නිව්යෝක් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පමණක් නොව, මේ වනවිට, ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව සිදුවන කෙණෙහිලිකම් මුල්කොට ගනිමින්, ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාලවත් මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල විශ්ව විද්‍යාලවලත් සිසු සිසුවියෝ විරෝධතා පවත්වති. 

 (ඒ.එෆ්.පී.)