ඉදිරි පැය 24 ත් 36 ත් ඇතුළත, ඉන්දියාවෙන් තම රටටගුවන් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇතැයි පාකිස්තානය රජය පවසයි. පාකිස්තාන රජය මෙසේ පවසා ඇත්තේ ඔවුන්ට ලැබුණු බුද්ධි තොරතුරු පාදක කර ගනිමිනි.
ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ අර්බුදයක් නිර්මාණය වූයේ, ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ දී පසුගිය 22 වැනිදා, සංචාරකයන් පිරිසක් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය මුල්කොට ගනිමිනි.
එම ප්‍රහාරයෙන් මියගිය සංචාරකයන් ගණන 26 කි. ඔවුන්ගෙන් 25 දෙනකු ඉන්දියානුවන් බවත්, එක් අයකු නේපාල ජාතිකයකු බවත් පැවැසෙයි.
එම ප්‍රහාරයෙන් අනතුරුව, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුදමය තත්ත්වයක් උත්සන්න වූ අතර, ඉන්දියාව ඉන්දු කාශ්මීරයේ ‘ඉන්දුස් ජල ගිවිසුම’ ද උල්ළංඝනය කරමින් පාකිස්තානයට ලැබෙන ජලය අවහිර කිරීමට ද කටයුතු කළේය.
ඉන්දියාවේ මෙම ක්‍රියාව, පාකිස්තානයට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් යැයි පාකිස්තාන රජය පවසා ඇත.
පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන්, ඉන්දියාව පාකිස්තානයට චෝදනා කරන අතර, පාකිස්තාන රජය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.
එල්ල වන එම චෝදනා සම්බන්ධයෙන් පාකිස්තාන රජය අන්තර් ජාතික විමර්ශනයක් පවත්වන්නැයි ඉල්ලීමක් කර ඇත.
(ඒ.එෆ්.පී.)