ඉන්දියාව ඇමෙරිකාවට පැනවූ තීරුබදු ඉවත් කරයි


ඇමෙරිකාවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සඳහා ඉන්දියාව පනවා තිබූ තීරු බදු සියල්ල ඉවත් කර ගැනීමට ඉන්දීය රජය එකඟ වී ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ට්‍රම්ප් මේ බව පැවැසුවේ, සිය කටාර් සංචාරය අතරතුරේ ව්‍යාපාරික ප්‍රජාව හමුවී සාකච්ඡා කරද්දීය. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් කිසිවක් නිල වශයෙන් දැනුම් දී නැත. ඉන්දියාව පවසා ඇත්තේ ඇමෙරිකාව සමඟ වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බව පමණි.

ව්‍යාපාරික ප්‍රජාව සමඟ පැවැති හමුවට ඇපල් සමාගමේ ප්‍රධානී ටිම් කුක් ද සහභාගී වී සිටියේය. ඇපල් සමාගම ඔවුන්ගේ ස්මාට් දුරකතන ඉන්දියාව සමඟ එක් වී, ඉන්දියාවේ නිෂ්පාදන කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ විරෝධයක් ටිම් කුක්ට එල්ල විය. එහිදී ජනාධිපති ට්‍රම්ප් යෝජනා කර සිටියේ ඇපල් දුරකතන ඇමෙරිකාව තුළ නිපදවීමට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවය.

තමන්ගේ තීරුබදු හේතුවෙන් අවසානයේ දී ඉන්දියාව ඇමෙරිකාවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සඳහා මෙතෙක් පනවා තිබූ සියලුම තීරු බදු ඉවත් කිරීමට යොමු වුණු බව ද ට්‍රම්ප්, ඇපල් ප්‍රධානියා සහ එම සාකච්ඡාවට සහභාගී වූ සෙසු ව්‍යාපාරික දැවැන්තයන් හමුවේ පැහැදිලි කළේය. 

චීනයෙන් ඉවත් වී, ඇපල් ජංගම දුරකතනවලින් සියයට 20 ක් ඉන්දියාවේ නිපදවීමට ඇපල් සමාගම මේ වනවිට තීරණය කර ඇත. ඒ, චීනය සහ ඇමෙරිකාව අතරේ පවතින වෙළෙඳ යුද්ධය හේතුවෙනි.

(එන්.ඩී.ටීවී.)