ඉන්දියානුවෙක් උඩ යන්න හදනවා


පෞද්ගලික ගගන මෙහෙයුමක් යටතේ, ඉන්දීය ගගනගාමී ෂුබාන්ෂු ෂුක්ලා අභ්‍යවකාශ නැවතුම්පොළ බලා යෑමට නියමිතය. ගගන මෙහෙයුම Axiom Mission 4 ලෙස හැඳින්වෙයි.

පෞද්ගලික මෙහෙයුමක් වුවත් ඊට ඇමෙරිකාවේ නාසා ආයතනයත්, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයත් සම්බන්ධ වී සිටීම විශේෂත්වයකි.

උත්තර ප්‍රාන්ත ප්‍රදේශයේ ලක්නව් නුවර උපත ලැබූ, 39 හැවිරිදි ෂුබාන්ෂු ෂුක්ලා, ඉන්දීය නාවික හමුදා නිලධාරියකු වන අතර, ඔහු අභ්‍යවකාශ ගමනට අවශ්‍ය පුහුණුව ලැබුවේ පසුගිය මාස කිහිපය පුරා, හූස්ටන් නුවර පිහිටි, නාසා ආයතනයේද ජොන්සන් අභ්‍යවකාශ ඒකකයේදීය.

ෂුක්ලා සහභාගී වන මෙම මෙහෙයුම, Axiom Mission 4 යනුවෙන් නම් කර ඇත්තේ, මෙම මෙහයුමට ඇමෙරිකාවේ Axiom Space පෞද්ගලික අභ්‍යවකාශ කටයුතු පිළිබඳ සමාගම සම්බන්ධ බැවැනි.

ෂුක්ලා, Axiom Mission 4 මෙහෙයුමට සම්බන්ධ වෙන්නේ, ඔවුන් අභ්‍යවකාශයට යන කැප්සියුලයේ නියමුවා ලෙසය.

තවත් ගගනගාමීන් සිවු දෙනෙක් ද මෙම මෙහෙයුමට එක්වෙති. ඔවුන් වන්නේ ඇමෙරිකන් ජාතික කාන්තා ගගනගාමිනී පෙගී විට්සොන්, හංගරි රාජ්‍යය නියෝජනය කරන ගගනගාමී ටිබෝර් කාපුර් සහ පෝලන්තය නියෝජනය කරන ගගනගාමී ස්ලාවෝස් උසෙන්ස්කීය.

පිරිස දින 14 සිට 21 දක්වා කාලයේ අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටිමින් විවිධාකාරයේ පර්යේෂණ සිදු කිරීමට නියමිත බව පැවැසෙයි. පිරිස අභ්‍යවකාශයට රැගෙන යනු ඇත්තේ ස්පේස් එක්ස් සමාගමේ ෆෝලන් 9 රොකට්ටුව සහ ඩ්‍රැගන් ගගන කැප්සියුලයයි.

ෂුබාන්ෂු ෂුක්ලා, අභ්‍යවකාශයට යනු ඇත්තේ හෙට (11) දිනයේය. අභ්‍යවකාශයට යන දෙවැනි ඉන්දීය ගගනගාමියා වනු ඇත්තේ ද මොහුය.