
චීන හමුදා පෙළපාළියට සහභාගී වෙමින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් එකිනෙකා හමුවුණේ ඇමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණය කිරීමේ අරමුණින් නොවන බව රුසියාව ඇමෙරිකාවට දැනුම් දී ඇත.
රුසියාව මෙසේ ඇමෙරිකාවට දැනුම් දීමක් කළේ පුටින්, කිම් ජොන් උන් සහ ජින්පින් තමන්ට එරෙහිව කුමන්ත්‍රණය කරනවා යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ කළ චෝදනාවට පිළිතුරු දෙමිනි.
චීන සංචාරය අතරතුරේ රුසියන් ජනාධිපති පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතරේ ද හමුවක් පැවැත්විණි. එහිදී දෙරට අතරේ මිතුදම් තවත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණු බව ද වාර්තා වේ.
රුසියන් ජනාධිපති පුටින් යුක්රේන යුද්ධය හේතුවෙන් ද, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් එරට න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ද බටහිර රටවල උදහසට ලක්වී සිටිති.

