රටම වැනසූ පනස්හතේ ගංවතුර


ඒ එක්දාස් නවසිය පනස් හතේ දෙසැම්බර් මාසය යි. වැස්ස දෙසැම්බර් මුල පටන්ම තිබුණා. දෙසැම්බරයට කොහොමත් වහින නිසා කවුරුත් මුල දී ගණන් ගත්තේ නැහැ. මෙම කාලගුණ විපර්යාසයට හේතුව බෙංගාල බොක්කේ නිර්මාණය වුණු වාසුළියක් බව කියැවුණා. එය ලංකාවේ නැගෙනහිර වෙරළින් රට තුළට ඇතුළු වී තිබුණා. අද වගේ ආපදා කළමනාකරණ ඇමැතිවරු එදා හිටියේ නැහැ. සන්නිවේදන මාර්ග දියුණුව තිබුණෙත් නැහැ. නැගෙනහිරත් රජරටත් කල්පාන්ත වරුසාවට ගොදුරු වූවා මෙන් ගම්මාන පිටින් යටවී විශාල ජලාශ ලෙස දිස්වන්නට වුණා. ඒ කාලෙ පුවත්පත්වල සඳහන් වුණේ ගෙවුණු අවුරුදු 500කින් මෙපිට ශ්‍රී ලංකාවේ සිදුවූ විශාලතම ස්වාභාවික විපත එය ලෙස යි. 

වාර්තාවලට අනුව කුඹුරු අක්‌කර ලක්‍ෂ 8ක් පමණ ගංවතුරට බිලිවී විනාශ වී තිබුණා.  පළමු දින කිහිපයේ පමණක් මරණ සංඛ්‍යාව 200කට වඩා වැඩි වූ බව පැවසුණා. උදම් වූ රළ ගෙඩි නැගෙනහිරෙන් මුහුදුබඩ පළාත්  ආක්‍රමණය කර තිබුණා. විශාල සුලි සුළං නිසා ගෙවල්  පමණක් නොව වසර සිය ගණනක් පැරණි මහා ගස් ද බිමහෙළා රජරට එකම යුද පිටියක් බවට පත්කර තිබුණා. අනුරාධපුර, පොළොන්නරු ප්‍රදේශයේ අලි ඇත්තු පවා ගංවතුරට හසුවූ බව වාර්තාවල කියැවුණා.;

අනුරාධපුරය නගරයේ පනස් හතේ ගංවතුර පිළිබඳ මතකය ඉතුරුකර තිබෙන සලකුණු කිහිපයක් අද ද දකින්නට ලැබෙනවා. එදා ඒ ගැලු මහා ගංවතුරේ තරම කියාපාන සලකුණු, අදටත් අනුරාධපුර පොදු වෙළෙඳ සංකීර්ණය (මාර්කට්‌ එක) අසලින් ජය ශ්‍රී මහා බෝධියට පිවිසෙන මාර්ගයේ ගමන් කරන විට, සිංහ කණුව අසල දකුණු අත පැත්තේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දෙමහල් නිල නිවසේ සලකුණු කර ඇති අයුරු දකින්න පුළුවන්.

අනුරාධපුර පූජා නගරය හා නව නගරය ඇතුළු ඒ අවට ප්‍රදේශ ගණනාවක්‌ මහා ජල කඳකින් යට වුණා. නාච්චාදූව වැවේ බැම්ම කෙළවරකින් කැඩී යාමෙන් අනුරාධපුර පුජා භූමිය හා නව නගරය ඇතුළු අවට ප්‍රදේශ ගණනාවක්‌ ජලයෙන් යටවූ බව පැවසෙනවා. මෙම ජලාශය ප්‍රතිසංස්කරණය කර, 1958 දී ඒ වැඩ නිමාවට පත් කළා. ධාරානිපාත වර්ෂාවෙන් කලාවැව, රාජාංගණය, නාච්චාදූව, පදවිය, නුවරවැව, මහකනදරාව, ඒරුවැව, මානන්කට්‌ටිය, තිසාවැව, මහවිලච්චිය හා හුරුළුවැව ඇතුළු මහ වැව් දෙදහසකට අධික වූ සුළු හා මධ්‍ය පරිමාණයේ වැව් මෙන්ම ඉපැරණි යෝධ ඇළ, මල්වතුඔය, කලාඔය හා යාන්ඔය ද උතුරා ගියේ මිනිසුන් මෙන්ම වනසතුන්ට ද මහා විනාශයක් අත්කර දෙමින්. 

නැගෙනහිර පළාත පිළිබඳ සැලකීමේ දී මන්නාරම, මඩකලපුව මුතූර් වැනි නගර මෙම මෙම ව්‍යසනයේ ගොදුරු බවට පත් වී තිබුණා. ඉමක් කොණක් නොපෙනෙන මහ සාගරයක්‌ ලෙසින් මෙම නැගෙනහිර ගම්බිම් දිස් වූ බව සඳහන් වෙනවා. මුත්තූර් නගරය සොහොනක්‌ සේ වූයෙන් මිනිස්‌සු බොහෝදෙනා එය අතඇර ගිය බව පැවසෙනවා. උතුරු නැගෙනහිර දෙපළාත ගංවතුර හැරුණු විට සුළි සුළඟින් ස හානියට පත් වුණා.

අම්පාර ඉඟිණියාගල සේනානායක සමුද්‍රයේ පිටවානෙන් අඩි 07ක්‌ උසට මහා ජල කඳ ගලන්නට වුණා. අක්‌කර අඩි 770,000ක ධාරිතාවක්‌ රඳවා ගත හැකි වැව් බැම්ම මුදුනට අඩි 3 ක්‌ ඉතිරි වන්නට සියල්ලම ජලයෙන් යටව තිබුණා. කෙත්වතු හරකාබාන විශාල වශයෙන් වැනසී ගියා. අහිමි වූ ජීවිත ගැන සංඛ්‍යාලේඛන පවා නැහැ.

දළදා වතුර

 

ඉංග්‍රිසින්ට රට යටත් වු පසුව 1818 සිට 1828 වන තුරුම දළදා පෙරහර හෝ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වුණේ නැහැ. මේ අතර රටේ විශාල නියඟයක් හටගෙන තිබුණා. තෙත් කලාපය වගේම වියළි කලාපයේ පළාත් ඉඩෝරයෙන් වේලී විශාල ලෙස හානිවෙමින් පැවතුණා. මේ නියඟයට හෙතුව දළදා ප්‍රදර්ශන නොපැවැත්වීම බවට බෞද්ධයන් තුළ අදහසක් පැතිර ගියා

1828 වෙසක් පෝය දින දළදා වහන්සේ මාලිගාවෙන් පිටත මහමළුවට වැඩමවා ප්‍රදර්ශනයකොට පෙරහරක් පැවැත්වුණා. ටික දිනකින් වට මහා වැස්සකින් මුළු රටම වැසි වතුරෙන් තෙත්වී ගං ඇළ දොල පිරී ගොස් තිබෙනවා. මහනුවර නගරයත් ඒ දිනවල මහ වතුරකින් යටවුණු බව පැවසෙනවා. පසුකාලීනව මෙය “දළදා වතුර” නමින් හැඳින්වුණා. 1947 මහ ගංවතුරටත් නුවර වැව උතුරා ජලය ගලාගොස් නගරය යටවූ බව සඳහන් වෙනවා. ඊයේ වනවිටත් මහනුවර වැවේ ජලය ඉතිරී යමින් වාන් දාමින් තිබුණා. මේ නිසා වැවෙන් උතුරන වතුරවලින් කැන්ඩි සිටි සෙන්ටර් අසල දියඇල්ලක් ද නිර්මාණය වෙලා තිබුණා.

2025 ගංවතුර ගැන කතා වෙද්දී පනස් හතේ ගංවතුරත් දළදා වතුරත්  අමතක කරන්නම බැහැ.

කුසුම්සිරි විජයවර්ධන