බඩු මිල වැඩිවීමෙන් බැටකන පොඩි මිනිහා


පැය 24ක් තුළදී රට තුළ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය  කිහිපයක මිල නොසිතූ තරමින් ඉහළ ගියේය. එයින් වඩාත්ම ජනතාවට දැනෙන මිල ඉහළ යාම සිදු වූයේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍යම ද්‍රව්‍යයක් වන ගෑස් සියයට සියයකින් පමණ වැඩි වීමයි. ලිට්රෝ කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,182කින් ද ලාෆ් එවැනිම සිලින්ඩරයක් රුපියල් 984කින් ද ඉහළ ගොස් තිබිණි. ඒ සමඟ තිරිඟු‍ පිටි කිලෝව රුපියල් 10කින්, පාන් ගෙඩියක් රුපියල් 5කින් වශයෙන් ද වැඩි වූ අතර, මීට සතියකට පෙර කිරි පිටි මිල කිලෝව රුපියල් 250කින් පමණ වැඩි විය. ඊට අමතරව සිමෙන්ති කොට්ටයක් ද රුපියල් 93කින් නැග්ගේය.

පාලන මිල පිළිබඳ ගැසට් පත්‍ර හකුලාගනු ලැබීමෙන් පසුව වෙළෙඳපොළේ සහල් මිල මහා පරිමාණ මෝල් හිමියන් විසින් තීරණය කරනු ලැබීම හේතුවෙන් සහල් මිල ගණන් ද ඉහළ ගොස් තිබෙන අතරවාරයේ ඉහත මිල වැඩි වීම ද සිදුව තිබේ. එයට අමතරව ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ප්ලේන්ටියේ සිට බත් පැකට් එක දක්වා සියලු‍ පිසූ ආහාර ද්‍රව්‍ය මිල ගණන් වැඩි වීම වැළැක්විය නොහැකි වනු ඇත. බේකරි නිෂ්පාදනවලට ද එය අදාළය. අසාර්ථක මිල පාලන ක්‍රියාවලියෙන් ඉවත් වීම නිසා සීනි කිලෝවක මිල පවා ඉහළ නැග්ගේය. මේ සියල්ලේ එකතුව අවසානයේ කඩා වැටෙන්නේ රටේ වැඩ කරන ජනතාවගේ දැනටමත් දිරා යමින් පවතින සාක්කුවේ පතුලටය.

කොවිඩ් වසංගතයේ බලපෑම සහ වෙනත් විවිධ හේතු මත රටේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සෙසු භාණ්ඩවල මිල ඉහළ යද්දී රජයේ බලධාරීන් හැරුණේ පරණ පුරුදු එමෙන්ම අසාර්ථක බවට හංවඩු ගැසී තිබුණු මිල පාලන ක්‍රමයටය. මේ රජය තුළ තීන්දු තීරණ ගැනීමට එකතු වන පිරිස අතර 70-77 යුගය මතකයේ තිබෙන කිහිප දෙනකු හෝ සිටින්නට ඇති බවට සැකයක් නැත. එහෙත් මිල පාලනය හරහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාලන මිලට ජනතාව අතට පත්වීම කෙසේ වෙතත් එම ආහාර ද්‍රව්‍ය සඳහා වෙනම කළු කඩ නිර්මාණය වී හිතූ හිතූ මිල ගණන්වලට ඒවා අලෙවි වීමත් සමුපකාර ඉදිරිපිට වරු ගණන් පෝලිමේ ගොස් පාලන මිලට බඩු ලබාගැනීමට පොදු මහජනතාවට මාර කට්ටක් කන්න සිදු වීමත් ඔවුන් සිතාමතාම අමතක කර තිබූ බව පැහැදිලිය.

පාලන මිල ගැසට් පත්‍ර නිකුත් කිරීමට පෙර මේ මතකය අලු‍ත් කරගත්තා නම් අද ආණ්ඩුව මේ අසීරුතාවට පත්වන්නේ නැත. හැත්තෑව දශකයේ අසාර්ථක වූ ක්‍රමයක් ඉන් දශක 4කට පසුව සාර්ථක වනු ඇතැයි යෝජනා කළ කවරකු හෝ සිටී නම් අපට කීමට සිදුවන්නේ ඔහු රටක ආර්ථිකය හැසිරවීම පිළිබඳව මළපොතේ අකුරක්වත් නොදන්නා අයකු විය යුතු බවය. මිල පාලනය අසාර්ථක උපාය මාර්ගයක් බව දැන ගැනීමට මහ ලොකු ආර්ථික විශේෂඥයකු විය යුතු නැත.

මේ ආකාරයට අත්‍යවශ්‍ය  ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් හැමදාම අමාරුවේ වැටෙන්නේ පොදු මහජනතාවය. එදිනෙදා සීමිත ආදායම් උපයන, සීමිත මාසික වැටුප් ලබන, සුළු වෙළෙඳාම් ඇතුළු ස්වයං රැකියාවල නියුතු පිරිස් වඩාත්ම පීඩනයට පත්වන්නෝ වෙති. මේ වනවිට ද ආර්ථික වශයෙන් දැඩි ලෙස හෙම්බත් වී සිටින ජනතාවට මිල වැඩි වීම් පාලනය නොකළහොත් ඉදිරියට වැලේ වැල් නැතිවන තත්ත්වයක් උදාවීමට ද ඉඩ තිබේ. කෑම බීම පමණක් නොව දූ දරුවන් පාසල් යැවීමේදී අත්‍යවශ්‍ය වන කිරි පිටි සහ බිස්කට් පැකට්ටුවේ සිට සබන් කැටය සහ ඇඳුම් පැළඳුම් දක්වා සියල්ලම දිගින් දිගටම වැඩි වීම නිසා ද ඔවුහු දැඩි ලෙස පීඩාවට පත්වෙති.

තත්ත්වය එසේ පවතින විට රජය ද තම විය හියදම් පාලනය කරගනිමින් ජනතාවට ආදර්ශයක් ලබාදිය යුතුය. එහෙත් එවැන්නක් සිදුවන බවක් පෙනෙන්නට නැත. අධික පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම් හෝ රජය සතු සමාගම් වශයෙන් හෝ පවත්වාගෙන යාම් පිළිබඳ කතා සාකච්ඡාවලට පමණක් සීමා වී තිබේ. එවැනි ‘සුදු අලි’ තමන්ගේ හෙංචයියන්ට රැකියා ලබාදෙන මධ්‍යස්ථාන බවට පත්කර තිබේ. මැති ඇමැතිවරුන් තවමත් පාවිච්චි කරන්නේ අති සුඛෝපභෝගී වාහන පමණි. එවැනි වාහන ඇතැම් ඇමැතිවරුන් එකක් නොව කිහිපයක්ම භාවිත කරන බව ද V-8 වැනි වාහන තුන හතර බැගින් පාවිච්චියට ගන්නා ඇමැතිවරුන් සිටින බව ද ප්‍රසිද්ධ රහසකි. රටේ නිෂ්පාදන ක්‍රියාවලියේදී ඵලදායීතාව අතින් බින්දුවේ පවතින රැකියා සඳහා බඳවාගෙන ඔවුන්ට ජනතාවගේ බදු මුදලින් වැටුප් ගෙවීමට ක්‍රියා කිරීම ද මේ අර්බුදයේම කොටසක් බව ද පෙන්වා දිය යුතුය.

2022 සඳහා ඉදිරිපත් කෙරෙන අයවැයෙන් ද රජය මේ ගැටලු‍ විසඳීමට සාධනීය පියවර ගෙන ඇති බවට පෙනෙන්නට නැත. පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පතට අනුව සෞඛ්‍ය සහ අධ්‍යාපනය සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන කලින් වසරට වඩා අඩු කර තිබේ. කොවිඩ් වසංගතයෙන් බරපතළ ලෙස බැටකන රටක සෞඛ්‍යය සඳහා ප්‍රතිපාදන කපාහැරීම තේරුම්ගත නොහැක. ඒ අතර විශාලම මුදලක් ආරක්ෂක වියදම් වෙනුවෙන් වෙන් කර තිබීම ද ප්‍රහේළිකාවකි. මේ වියදම්වලට මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව සඳහා පරිවාර සේනා ගමන් කරන වාහන බලඇණි වියදම් ද ඇතුළත් බව පැහැදිලිය. මහජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වී මේ තරම් ආරක්ෂා වන්නේ කාගෙන් ද යන්න ලොකුම ප්‍රහේළිකාවය.

අයවැයේ විසර්ජන කෙටුම්පතින් පෙනී යන්නේ රජය තවදුරටත් ජනතාවගේ ආකර්ෂණය දිනා ගැනීම සඳහා අත්‍යවශ්‍ය  නොවන ගොඩනැගිලි ඉදිකිරීම්, රැකියා ලබාදීම් වැනි සමාජ සුබසාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටින බවය. එහි අසාර්ථක බව පසුගිය සති කිහිපය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් වේගයෙන් ඉහළ නැගීමෙන් පෙන්වා දී තිබේ. 2022 අයවැය යෝජනා එම වැරැදි හදාගැනීමට යොදාගත හැකි හොඳම අවස්ථාවක් බව පෙන්වා දිය යුතුය.