හරි අපරාධයක් නේද ඔයාට උනේ දරුවෝ


පාසලක සිසුන් කැපී පෙනෙන්නේ ඉගෙනීමට දක්වන උනන්දුව හරහා නොව සුවිශේෂ දක්ෂතා, ක්‍රීඩා කෞශල්‍යය, පෙනුම, ධනවත්කම, දඟකාරකම ආදී හේතු තුළිනි. මෙවන් සිසුන් ගැන ගුරුවරු පවා කතාබහ කළහ. දිනේෂි මේ කිසිම අංශයකින් ඉදිරියේ සිටි කෙනෙකු නොවන නිසා ඇය කාගේවත් ලොකු අවධානයකට ලක් වූයේ නැත. පන්තියේ හොඳ පෙනුමැති සිසුවියන් කිහිප දෙනා අතරේ සිටියත් ඒ මුල් පෙළේ නොවේ. ඇය ක්‍රීඩාවලට එක් වූයේ නිවාසාන්තර තරඟවලදී පමණකි. මුළු පන්තියම අනිවාර්යයෙන් සහභාගි විය යුතුනම් පමණක් බාහිර ක්‍රියාකාරකම්වලට එක් වූවාය. ඉදින් එවැන්නියක ගැන පන්තියේ සගයන් හා එකම ගමෙන් පාසලට යන්නවුන් පමණක් දැන සිටීම පුදුමයක් නොවිණි. 

එහෙත් අම්මාගේ මරණයෙන් දෙසතියකට පසුව පාසැල් යද්දී සියල්ල වෙනස් වී තිබිණි. ඉදිරියට හමුවෙන සියල්ලන්ම ඇය දෙස බැලු‍වේ අරුමපුදුම සත්වයෙකු දෙස බලන ඇස්වලිනි. සමහර ඇස්වල අනුකම්පාව තිබුණත් සමහර ඇස්වල තිබුණේ අවමානයකි. ඇයට බියමුසු හැඟීමක් මෙන්ම පාසැල නුහුරු නුපුරුදු ස්ථානයක් මෙන් ද දැනෙන්නට පටන් ගත්තේය. ලොකු මල්ලී ඇය සමඟ අමනාපයෙන් ඔවුන්ට ඉස්සර වී ආවත් ගේට්ටුව ළඟ නතර වී සිටියේ ඔහුටත් ඒ හැඟීම් එලෙසම දැනුණ නිසා විය යුතුය. 
“මට තනියෙන් පන්තියට යන්න බෑ..” 


ඔහු ඇගෙන් උදව් ඉල්ලන්නාක් මෙන් නොව ඇයට අණක් දෙන්නාක් බඳු ස්වරයෙන් පැවසුවේය. 
“අපිටත් බෑ..” අනෙක් දෙදෙනා ද කීහ. 


දිනේෂි පන්තියට ගියේ ඔවුන් තිදෙනාම හැරලවීමෙන් අනතුරුවය. දැන් ඉතින් ඔවුන්ගේ වගකීම එහෙම පිටින්ම ඇත්තේ තමා අත බැව් අම්මා ළඟ හිඳ කොඳුරා කියන්නාක් මෙන් ඇයට දැනිණි. 
අම්මා හෝ තාත්තා මියගිය දරුවෝ ඕනෑ තරම් පාසැලේ සිටියහ. ඒ මළ ගෙවල්වලට දිනේෂි ද ගොස් තිබිණි. එහෙත් දිනේෂි ගේ අම්මා ගේ මරණය සුවිශේෂී වූවකි. දරුවෙකු ලැබෙන්නට ගොස් ඇය මිය ගියේ ලොකු දුව මල්වර වූ දවසේමය. එවැන්නක් මෙතෙක් අසා නොතිබූ නිසා ඒ වෙනුවෙන් නිර්මාණය වී තිබූ කතන්දර ද, හුවමාරු වී තිබූ අදහස් ද අසීමිතය. ඇය පාසැල් ආවාට පසුව යාන්තමට යටපත් වී තිබූ ඒවා පිටතට පැමිණ තටු සලා පියාඹා යන්නට පටන් ගත්තේය. 


“හරි අපරාධයක් නේද ඔයාට වුණේ දරුවෝ..?” 


පන්ති භාර ගුරුවරිය ද විමසුවාය. දිනේෂි තොල සපාගෙන බිම බලා ගත්තේ ඇස්වල කඳුළු පුරවාගෙනය. 
“දැන් ඉතින් අඬන්නෙ නැතුව අතපහු වුණ වැඩ ටික අල්ලා ගන්න බලන්නකො.. ළමයිනේ.. ඔයාලා දිනේෂිට උදව් කරන්න ඕන හොඳ ද..?” ඇය අනෙක් සිසුන්ට කීවාය. 
“හරි ටීචර්.. අපි උදව් කරන්නම්..” ඔවුහු එක් හඬින් කීහ. 


දිනේෂි ඔවුන් දෙස බැලු‍වේ කෘතඥතාව පිරුණ ඇස්වලිනි. එහෙත් ඔවුන් ගේ පන්තියේ ගැහැනු ළමුන් පමණක් නොව ලොකු පන්තිවල ගැහැනු ළමුන් පවා ඇගෙන් තොරතුරු විමසන්නට ඒමත්, සිත රිදෙන දේවල් කීමත් ඇයට දරා ගන්නට නොහැකි වූයේය. පිරිමි ළමයින් නම් කිසිම දෙයක් විමසුවේවත්, ඇනුම් පදයක් කීවේවත් නැත. සකුණ විසින් කලින්ම අනතුරු අඟවනු ලැබ නොතිබුණේ නම් ඇය ඔවුන්ට බැණ වදින්නටත් ඉඩ තිබිණි. කිසිවෙකු හැමදාම එකම දෙයක් අල්ලාගෙන නොසිටින බවත්, ඉක්මනින්ම ඔවුන් එය අත්හරින බවත් ඔහු කී බැව් සැබෑවකි. එහෙත් ඔවුන් අත්හරින තුරු ඇති කාලය ගෙවා ගැනීම පහසු දෙයක් නොවේ. 
“මට ඉස්කෝලේ එන්නෙ නැතුව ඉන්න හිතෙනවා සේනා..” 

විවේක වේලාවේ ඇය සිය හොඳම යෙහෙළිය සේනානි සමඟ පැවසුවේ බිඳුණ හඬිනි. වැඩි දෙනෙකු පන්තියෙන් පිටතට ගියත් ඇය නොගියේ අනෙක් අය අසන දේවලට පිළිතුරු දෙන්නට නොහැකි නිසාය. වේදනාව ඇත්තේ තුවාලය ඇති තැනැත්තාටය. අසංවේදී සිත් ඇත්තහු ඒ තුවාලය හාරාපාරවමින් නින්දිත සතුටක් ලබති. වේදනාවේ තරම ඔවුන් තේරුම් ගන්නේ කෙදිනක හෝ එබඳු වේදනාවක් උසුලන්නට සිදු වූ කල්හිය. සකුණ සිටියේ නම් ඔවුන්ට එය තේරුම් කර දෙනවා නොඅනුමානය. ඇයට එබඳු ශක්තියක් තිබුණේ නැත. 
“පිස්සු ද ඔයාට..? මොනවද මේ කියන්නෙ..? සති දෙකක් විතර ඉස්කෝලේ එන්නෙ නැතුව ආවා විතරයි..” 
සේනානි පැවසුවේ ඇයට දොස් පවරන්නාක් බඳු ස්වරයකිනි. 
“මෙයාලා අහන ඒවට උත්තර දීලා මට හරි මහන්සියි සේනා.. එයාලා හිතන්නෙ මම අම්මව මරා ගත්තා කියලා.. මගේ අම්මට මම එහෙම කරනව ද..? ඇයි කාටවත් ඒක තේරුම් ගන්න බැරි..?” 
දිනේෂි හඬාගෙන ඩෙස්කුවේ මුහුණ හොවා ගත්තාය. යෙහෙළිය සනසන්නට කිව යුතු යමක් සිහිපත් නොවුණ සේනානි අසරණව බලා සිටියාය. එමොහොතේ පන්තියේ සිටි කිහිප දෙනා එතැනට ආවේ නිමේෂයකිනි. 


“මොකද මේ..? ඇයි දිනූ අඬන්නෙ..?” 


“එයාට ජීවිත කාලෙම අඬඅඬා ඉන්න හිතෙන දෙයක්නෙ වුණේ.. ඒක අමතක කරලා දාලා ඉස්කෝලේ ආවම එක එකා ඕන්නැති දේවල් අහලා එයාට වද දෙනවා.. එයා ආයෙ ඉස්කෝලේ එන්නෙත් නැතිලු‍..” 
සේනානි අමනාපයෙන් කීවේ එතැන සිටි ඕපාදූප සොයන්නියන් කිහිප දෙනා දෙස විශේෂයෙන් බලමිනි. ඔවුන් මුහුණු සඟවා ගන්නට වෑයම් කරනු දුටු විට සේනානි සිත ඇතුළින් සිනාසුණාය. 
“අඬන්න එපා දිනූ.. ඔය ඕන කෙනෙක් ඕන දෙයක් කියපුවාවේ.. ඔයා ගණන් ගන්නෙ නැතුව ඉන්න.. ඔයාට ඕනම දේකට අපි ඉන්නවා කියලා මතක තියා ගන්න.. මේ පන්තියට ඇවිත් කවුරු හරි ඔයාට මොනවා හරි කිව්වොත් අපි බලා ගන්නම්.. නැද්ද මචං..?” 


පන්ති නායකයා වූ උදිත සිය සගයන්ගෙන් ද විමසුවේය. 
“ඔව්.. ඒක ඇත්ත.. මීට පස්සෙ කිසිම කෙනෙක් දිනූගෙ හිත රිදෙන දේවල් කියන්න බෑ.. දිනූ දැන් නැඟිටලා ගිහින් මූණ හෝදාගෙන එන්න.. අපි හැමෝම ඔයාට මඟෑරුන පාඩම් අල්ලා ගන්න උදව් කරනවා..” කල්ප ද කීවේ පොරොන්දුවක හඬිනි. 
“අපිත් එක්ක තරහ වෙන්න එපා දිනූ.. අපි ආයෙ ඔයාගෙ හිත රිදෙන කිසිම දෙයක් කියන්නෙ නෑ.. අපි අනිත් අයටත් ඒක කියන්නම්..” තනුජා පසුතැවිල්ලෙන් කීවාය. 
දිනේෂිගේ සිතට සැනසීමක් දැනුණේ වී නමුත් විවේකය අවසන් වෙන සීනුව නාද වෙන තුරුම ඇය හිස එසවූයේ නැත. ඇයට සකුණ හමු වී සියල්ල කීමේ වුවමනාවක් දැනිණි. ඔහුගේ වදන් පිරිත් ස්වරයක් මෙන් ඇගේ සිත සැනසුවේය. එහෙත් ශිෂ්‍ය නායකයෙකු වූ ඔහුගේ පන්තියට ගොස් ඔහු හමු වීම අනවශ්‍ය ගැටළුවකට මුල පිරීමක් යැයි ඇයට සිතිණි. 


“කවුරු හරි කියන දේකින් අපි හිත රිදවා ගන්නවා කියලා දැන ගත්තම තමයි එයාලා ආයෙ ආයෙ ඒකම කියන්නෙ.. අහලා තියෙනවා නෙ කතාවක් තියෙනවා තැලෙන යකඩෙ දැක්කම ආචාරියත් උඩ පැන පැන තලනවා කියලා..” 
සේනානි මහා බැරෑරුම් හඬකින් කියද්දී දිනේෂිට සිනා ගියේය. සිතේ වූ දොම්නසින් අඩක්ම ඒ සිනාවේ සැඟවී ගියේය. 


“මම හෙට ඉඳන් ඉස්කෝලේ යන්නෙ නෑ..” 
ආපසු ගෙදර එද්දී ලොකු මල්ලී බුම්මා ගත් වතින් යුතුව කීවේය. උදේ පාසැල ළඟදී නොතිබූ කෝටුව ඒ වන විට ඔහු අතේ තිබිණි. දිනේෂි තිගැස්සී එහෙමම නතර වූයේ තමාගේ මුවින් ද මෙවදන් පිට වූ බැව් අමතක කරමිනි. 
“මම කිව්වනෙ උදෙත් මට ඉස්කෝලේ එන්න බෑ කියලා.. ඔයා බලෙන්මනෙ මාව ඇදගෙන ආවෙ.. දැන් මේ එක එකා අහන එව්වට උත්තර දෙනවට වැඩිය හොඳයි ගෙදර ඉන්න එක..” 
ඔහු පඳුරක් සුණුවිසුණු වී යන්නට කෝටුවෙන් ගසමින් කීවේය. එවන් නපුරු පෙනුමක් දිනේෂි කවදාවත් ලොකු මල්ලී ගේ මුහුණින් දැක නොතිබිණි. පොඩි උන් දෙදෙනා බියපත් බැල්මක් හුවමාරු කර ගත්හ. 
“ඇයි කවුද මොනවද කිව්වේ..?” 


තැති ගැන්මෙන් වුව ද එසේ අසා ගන්නට දිනේෂි සමත් වූවාය. ඔහු සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්දැයි අද අම්මාගෙන් විමසිය යුතු යයි ඇය ඒ සමඟම සනිටුහන් කර ගත්තාය. ඇය දෙස රවා බැලූ ඔහු තමාගේම කකුලට වේගවත් පහරක් එල්ල කර ගත්තේය. 


“ලොකු මල්ලී..” දිනේෂිට කෑ ගැසිණි. 


෴ ලබන සතියට ෴