
බොහෝ සුන්දර ස්ථාන ලක්මවට දායාද කරදුන් හරිත පැහැයෙන් පිරිපුන් අපූර්ව සොඳුරු පුරවරයක් ලෙස නාවලපිටිය නම් කළ හැකිය. යටත් විජිත සමයේ වඩාත් කාර්ය බහුල උඩරට නගරයක් වූ නාවලපිටිය - එකල සුදු අධිරාජ්‍යවාදීන් කුළුබඩු බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරන ලද වෙළෙඳ නගරයකි.
මහවැලි ගංගාව විවිධවූ රූ රටා මවමින් නාවලපිටිය පුරවරය මැදින් ගලා බසින්නේ ඊට විශේෂිත අලංකාරයක් එක් කරමිනි. නාවලපිටි පුරවරයේ සුවිශේෂිත පරිසර පද්ධතීන් ගොන්නක් මධ්‍යයේ පිහිටි හෙරන්ඩේල් වතුයායට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එහි පිහිටි මනරම් බංගලාව මෙරට සාහිත්‍ය වංශ කතාවේ අමරණීය සිහිවටන ගොන්නකින් සමන්විත වූ ඉපැරණි බංගලාවකි. ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයෙකු හා ඇගේ දියණියක විසින් මෙරට සාහිත්‍යයට එක් කරන ලද පොත් පත් ගොන්න ඔවුන්ට සිතේ හැටියට එළි දැක්වීමට තෝතැන්නක්ව ඇත්තේ මෙකී හෙරන්ඩේල් බංගලාව හා ඒ අවට සොඳුරු පරිසර පද්ධතියයි. හෙරන්ඩේල් පරිසර පද්ධතියේ රස උරා බොමින් සිංහල සාහිත්‍යයේ එක්තරා යුගයක් නිර්මාණය කිරීමට ස්පිට්ල් පවුල සමත්කම් දැක්විය.
මෙරට යටත් විජිත සමයේ වනගත ශල්‍ය වෛද්‍යවරයා ලෙස ප්‍රකටව සිටි රිචර්ඩ් ලයනල් ස්පිට්ල් නොහොත් ආර්. එල්. ස්පිට්ල් ගේ එක් සොඳුරු නවාතැනක් වූයේ නාවලපිටිය, හෙරන්ඩේල් වතුයායේ පිහිටි හෙරන්ඩේල් බංගලාවයි. නාවලපිටිය - ගිනිගත්හේන මාර්ගයේ බළන්තොට උප නගරයේ සිට ඉහළට වැටී ඇති නාගස්තැන්න මාර්ගයේ කිලෝමීටර් දෙකක පමණ දුරක් ගිය විට හෙරන්ඩේල් වතුයාය හමුවේ. මාර්ගය අද්දරට වන්නට හෙරන්ඩේල් වතුයායේ රමණීය පරිසර පද්ධතියේ උස් බිමක මෙම මනරම් බංගලාව ඉදිකොට තිබේ.
ආර්. එල්. ස්පිට්ල් මානව දයාව පිරි සොඳුරු පරිසර හිතකාමී සාහිත්‍යකරුවෙකු ලෙස ප්‍රකට විය. මෙරට වැදි ජනයාට සීමාවකින් තොරව පෙම් බැඳි මෙම සොඳුරු වෛද්‍යවරයා ආදිවාසීන්ගේ ජීවන තොරතුරු පිළිබඳව විවිධ පර්‌යේෂණවල නියැළුණු ඒ පිළිබඳව හසළ දැනුමක් ඇති අග්‍රගණ්‍ය විශේෂඥයෙකි. 1881 දෙසැම්බර් මස 09 දින තංගල්ලේ දී උපත ලැබූ ස්පිට්ල් කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ලංකා වෛද්‍ය විද්‍යාලයට තේරී පත්වී 1905 දී වෛද්‍ය උපාධිය ලබා ගන්නා ලදී. සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා එංගලන්තයට ගොස් ඉනික්බිති රාජකීය ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සාමාජිකත්වය ලබාගැනීමෙන් අනතුරුව 1910 දී ලංකාවට පැමිණ කොළඹ මහ රෝහලේ තෙවැනි ශල්‍ය වෛද්‍ය තනතුරට පත්විය. පසුව කොළඹ වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙසද ස්පිට්ල් කටයුතු කළේය.
ස්වභාව සෞන්දර්යට, සතා සිවුපාවට හා මෙරට ආදිවාසි ජනතාවට දැඩිව පෙම් බැඳි ස්පිට්ල් වනාන්තර තුළ සැරිසරමින් බොහෝ ගවේෂණාත්මක තොරතුරු එකතු කොට පසුව එම අත්දැකීම් හා තොරතුරු ග්‍රන්ථයන් ලෙස එළි දැක්වීය. විශේෂයෙන්ම මෙරට ආදිවාසීන් පිළිබඳව අධ්‍යයනයේ නිරත වූ ස්පිට්ල් ඔවුන් සම්බන්ධයෙන් පොත් රැසක් ලිවීය. වෛද්‍ය ස්පිට්ල් වැද්දන් අතර ප්‍රචලිත වූයේ “සුදු හූරා” යන අන්වර්ථ නාමයෙනි. ඔහු වැදි ජනතාවට කෙතරම් පෙම් බැන්දා ද යන්න කිවහොත් ඔහුගේ අවසන් කැමති පත්‍රයේ මෙසේ සටහන් කොට තිබූ බව පැවසේ.“මා මළ පසු වැදි චාරිත්‍රානුකූල අවමඟුලක් මා වෙනුවෙන් පවත්වනු. මාගේ සිරුර ගසක පොතු දෙකකට මැදි කොට කැලය තුළ වළලා දමනු.”
නවකතා පොත් රැසක් සම්පාදනය කළ ස්පිට්ල් ඊට අමතරව පද්‍ය ග්‍රන්ථයක් හා වෛද්‍ය විෂය කරුණු සම්බන්ධ ග්‍රන්ථ රැසක් එළි දක්වන ලදී. ඔහු විසින් රචිත ලක්බිමේ තවත් යුගයක් කෘතිය මගින් ආදිවාසීන්, ඉතිහාසය, මිථ්‍යා මත හා වනයේ අබිරහස් පිළිබඳ විචිත්‍ර විවරණයක් සිදුකෙරේ . මෙම අසහාය ගත් කතුවරයා විසින් වනසරණ, සුදුගෝනා, සුදු වැද්දා, මැකීගිය දඩ මං, වනගත ලංකා, වීර දිවයින (දියණිය සමග එක්ව) ඇතුළු ග්‍රන්ථ රැසක් සම්පාදනය කොට තිබේ. ඒවා බොහොමයක් මෙරට ලේඛකයන් විසින් සිංහල භාෂාවට පරිවර්තන කොට ඇති අතර, මෙරට පාඨකයෝ මහත් ආශාවෙන් එම පොත් වැලඳ ගත්හ.
වන වැදුණු දොස්තර ලෙස ද ප්‍රකටව සිටි වෛද්‍ය ආර්.එල්.ස්පිට්ල් විවාහ වූයේ ක්ලැරිබෙල් ෆ්‍රැන්සස් වැන් ඩොට් සමගයි. ඔවුන්ට දාව දියණියන් දෙදෙනෙකු බිහිවූ අතර, එක් දියණියක් ඉවොන් ස්පිට්ල් නම් විය. කුඩා අවධියේම අසනීපයක් හේතුවෙන් ඇය මිය ගොස් තිබේ. 1913 වසරේ ඉපදුණු ක්‍රිස්ටීන් ස්පිට්ල් කොළඹ බිෂෝප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවාය. පසුව උසස් අධ්‍යාපනයට එංගලන්තය බලා ගිය ඇය වසර හයකට පසුව නැවත මෙරට පැමිණියා ය. ඇගේ විවාහය 1944දී සිදුව ඇති අතර, ඔහු දෙවන ලෝක යුද්ධ සමයේ මෙරට සේවය කිරීමට පැමිණි ස්කොට්ලන්ත ජාතික ඇලෙස්ටෙයාර් විල්සන් නම් යුධ හමුදා මේජර්වරයෙකි. ඔවුන්ට දාව උපන් එකම දියණිය ජීවත් වන්නේ ඩෙන්මාර්කයේ බව පැවසේ.
විවාහයෙන් පසුව නැවත එංගලන්තය බලා ගිය ඇය ලෝ පතළ ගුරුවරයෙකු වූ එඩ්වඩ් ස්කවුලර් යටතේ ලේඛන කලාව ඉගෙන ගත්තාය. පසු කාලීනව ලෝක සාහිත්‍යයේ නමක් දිනා ගත් සුප්‍රසිද්ධ ලේඛිකාවක බවට පත්වීමට ක්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන් සමත් වුවාය. ඒ තිත්ත කෝපි නව කතාව ලියමින් ය. තිත්ත කෝපි නවකතාව ලියා ලෝක සාහිත්‍යයේ අවධානය දිනා ගත් ක්‍රිස්ටීන් හට එම නවකතාව ලිවීමට එකී වස්තු බීජය හිත තුළ පැලපැදියම්ව ඇත්තේ තම පියාගේ නාවලපිටියේ පිහිටි හෙරන්ඩේල් වතුයායයි. අක්කර පන්සියයකින් පමණ සමන්විත වූ හෙරන්ඩේල් වතුයාය වෛද්‍ය ආර්.එල්.ස්පිට්ල් මිල දී ගැනීමෙන් අනතුරුව එහි උස් බිමක අතිශය රමණීය ආකාරයෙන් හෙරන්ඩේල් බංගලාව ඉදි කරන ලදී. පළමුව මෙහි කෝපි වගාකොට පැවති අතර, පසු කාලීනව දිලීරයක් වැලඳීම හේතුවෙන් වගාව සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇත. තම පියාගේ අතහැර දමන ලද කෝපි වත්තේ මතකය ඇසුරින් එය වස්තු බීජ කරගනිමින් ක්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන් ලියන ලද“ද බිටර් බෙරි” නම් කෘතිය ලෝක සාහිත්‍යයේ නමක් දිනාගැනීමට සමත් වූ නවකතාවක් විය. ලේඛිකා ක්‍රිස්ටීන් විසින් ලියන ලද එම නවකතාව පසු කාලීනව තිත්ත කෝපි ලෙස සී. ඒ. විජේසේකර හා අනුලා ද සිල්වා යන ලේඛකයන් විසින් සිංහලට පරිවර්තනය කොට තිබිණි. එය සිංහල රසිකයන් අතර මහත් ජනප්‍රිය නවකතාවක් බවට පසුව පත්විය.
ලේඛිකා අනුලා ද සිල්වා විසින් පරිවර්තනය කරන ලද තිත්ත කෝපි නවකතාවේ 179 පිටුවේ මෙසේ සඳහන් ව තිබේ.
“ලන්තාන මුළු ප්‍රදේශයේම කැපී පෙනෙන ස්ථානයක් බවට පත්විය. ලන්තාන ගබඩාවේ පැවති ආගමික මෙහෙයන් මෙන්ම ඉන් පසුව ඇති වූ සංග්‍රහයන් විශේෂ තැනක් ගති. ගම්පොළ හෝ නාවලපිටිය තානායම්වල හියූ, අයිරිෂ් මයික් ඔවුන්ගේ සගයන් විසින් අවිවාහක තරුණ වතු හිමියන් වෙනුවෙන් පැවැත්වූ කලබලකාරී ඉරිදා සාදයන්ට වඩා ලන්තානේ පැවැත්වූ සුහදශීලී රැස්වීම් හුදකලා වූ ප්‍රදේශයකට අවශ්‍යව තිබූ සමාජමය අවශ්‍යතාවක් වූ අතර, එය බොහෝ දෙනාට ප්‍රයෝජනවත් විය. ඒ නිසාම සාරා ඒවාට දැඩි ඇල්මක් දැක් වූවාය. වටප්‍රමාණය සැතපුම් තිහක පමණ වූ ප්‍රදේශයක උන් එකම සුදු ජාතික කාන්තාව වශයෙන් සාරාට අද්විතීය තැනක් ලැබී තිබිණි. යම්කිසි හිතවතකු ලන්තානට නොපැමිණි සති අන්තයක් නැති තරම් විය. තනිකමෙන් හෝ පසුතැවිල්ලෙන් පසු වූ ඇතැම් වතු පාලකයෝ ඉඳහිට හෝ ලන්තානට පැමිණියේ ඒ සියල්ල අකා මකා දමා ලන්තාන ඔවුන් සුහද ව පිළිගන්නා බව දැන සිටි බැවිනි.”
මෙහි සඳහන් ලන්තාන හෙරන්ඩේල් වතුයාය බවත්, සාරා නම් චරිතය ක්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන් නම් ලේඛිකාව බව සිතිය හැක.
ඉතාමත් දක්ෂ ලෙස සිංහල භාෂාව හැසිරවීමට සමත්කම් දැක්වූ ක්‍රිස්ටීන් විසින් - ද බිටර් බෙරි කෘතියට අමතරව ද මවුන්ටන් රෝඩ්, අයි ඇම් ද වින්ග්ස් යන කෘතිවලින් සොබාදහම, සංස්කෘතිය හා මානව හැඟීම් විචිත්‍රවත් කිරීමට හපන්කම් දැක්වූවා ය. මාරාන්තික රිය අනතුරකින් පසුව සුවය ලබමින් සිටියදී ද බිටර් බෙරි (තිත්ත කෝපි) නවකතාව ලියා ඇති අතර, ඉන් ඇයගේ නිර්මාණාත්මක ලේඛණයේ දරා ගැනීම හා අධිෂ්ඨානය ගැබ්ව තිබූ බව විචාරකයෝ සඳහන් කරති. තම පියා වූ වෛද්‍ය ආර්.එල්.ස්පිට්ල් ගේ චරිතාපදානය ඇතුළත් වන වැදුණු දොස්තර නම් කෘතිය ඇය රචනා කළාය. වයස අවුරුදු 97දී ඇය මිය ගිය අතර, ඇගේ සිරුර බොරැල්ල කනත්තේ මිහිදන් කෙරිණ.

ශල්‍ය වෛද්‍ය වෘත්තිකයෙකු වූද, වන ජීවිතය හා මෙරට වනාන්තර පිළිබඳව දැඩි ඇල්මක් දක්වන ලද වෛද්‍ය ආර්.එල්.ස්පිට්ල් නම් මෙම සොඳුරු මානව දයාවෙන් පිරි සුප්‍රසිද්ධ ගත් කතුවරයා 1969 වර්ෂයේ සැප්තැම්බර් මස 03 දින දිවි සැරියෙන් සමු ගත්තේය. ඔහුට උපහාරයක් වශයෙන් 2014 සැප්තැම්බර් මස 03 දින රුපියල් 10ක වටිනාකමකින් යුත් සමරු මුද්දරයක් හා මුල් දින කවරයක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගන්නා ලදි.
නාවලපිටියේ පිහිටි හෙරන්ඩේල් වතුයායේ පිහිටි බංගලාව වෛද්‍ය ආර්.එල්.ස්පිට්ල් විසින්ම නිර්මාණය කොට සකස් කරන ලද බංගලාවකි. වර්තමානයේ මෙම බංගලාව සහිත අක්කර 25කින් පමණ සමන්විත රමණීය භූමි භාගය සංචාරක නිකේතනයක් ලෙස සකස් කොට පවත්වා ගෙන යනු ලබයි. යුගල කාමර හතරක්, එක් පවුලේ කාමරයක්, තනි කාමරයක් මෙම බංගලාවේ නවාතැන් ගැනීමට පැමිණෙන සංචාරකයන් සඳහා පහසුකම් සපයයි. එහි තවත් නවීන අංගයන් රැසක් සංචාරකයන් වෙනුවෙන් අන්තර්ගත කොට තිබේ. ස්වභාවික දොළ පාර, උස් කඳු මුදුන්, හරිත පැහැයෙන් සමන්විත නිරන්තර මීදුමෙන් වැසුණු පරිසර පද්ධතිය සිත් තුළට මහත් සුවයක් එක් කරනු ලබයි.
සොබාදහමේ අපූර්වත්වය සමගින් අග්‍රගණ්‍ය ශල්‍ය වෛද්‍යවරයෙකු හා කීර්තිමත් ලේඛකයෙකු වූ රිචඩ් ලයනල් ස්පිට්ල් ගේ හා ඔහුගේ දියණිය වූ ලේඛිකා ක්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන් ගේ මතකයන් පිරි හා ඔවුන්ගේ ජීවන සුවඳ තැවරුණු හෙරන්ඩේල් බංගලාවේ දිනක් හෝ විවේක ගැනීම ජීවිතයේ තවත් සුවිශේෂිත සොඳුරු මතකයන් වනු ඇත.
සුන්දර සොබාදම් අපූර්වත්වයේ පහස විඳිමින් හෙරන්ඩේල් නොහොත් ස්පිට්ල් බංගලාවේ විවේකීව නිවාඩුව ගතකිරීමට ඕනෑම අයෙකුට කලින් වෙන් කරගැනීමෙන් හැකියාව තිබේ.
තලවකැලේ
ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ

