සද්ධන්ත යාළුවෝ දළදා පෙරහර සමයේ දකින වාසනා සහ සිංහ රාජා ගේ මිත්‍රත්වය


ලොව අග්‍රගන්‍ය සුවිශේෂී වූ ආගමික සංස්කෘතික මංගල්‍යයක් වශයෙන් සැලකෙන කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය ඉකුත් සති අන්තයේ මහනුවර මං මාවත් පෙරහර සුවඳින් සුවඳවත් කරමින් නිමා විය.

වසරකට වරක් ඇසළ මාසයේ සිට නිකිණි පුන් පොහෝ දිනට පසු දින දක්වා පැවැත්වෙන මෙම මහා මංගල්‍යය නිසා කන්ද උඩරට ජනතාවත් මෙරට අනෙකුත් ප්‍රදේශවල ජීවත්වන සහෘද ජනතාවත් අතර ගොඩනැගෙන සම්බන්ධතාව හා මිතුදම අපිරිමිතය. වසරකට වරක් නැවුම් වන එම මිතුදම සේම මෙරට නන්දෙසින් පැමිණ කන්ද උඩරටට එක් වන හීලෑ අලි ඇතුන් ගේ මිතුදම ද නැවුම් වේ. දින 11ක් පුරා මහනුවර ගත කොට උත්තරීතර කර්තව්‍යයකට උරදෙන මෙම හස්තීන් එම කාලය තුළ ගත කරනු ලබන්නේ ඔවුන්ගේ ජීවිත වල පින්බර විනෝදකාමී කාලයක් කිවහොත් නිවැරැදිය.

මෙම මහා ආගමික සංස්කෘතික මංගල්‍යය අතරතුර ඇති වූ මහා මිතුදමක් පිළිබඳව බොහෝ දෙනෙකු ගේ කතාබහට ලක් වූයේ එය අසාමාන්‍ය මිතුදමක් වීම හේතුවෙනි.

එක් ස්ථානයක බොහෝ පිරිසක් රැඳී සිටින විටක දී විවිධාකාරයේ මිතුදම් ගොඩ නැගීම සාමාන්‍ය සිදුවීමකි. අතීතයේ මහනුවර පෙරහර නැරඹීම සඳහා පැමිණි දකුණු ප්‍රදේශයේ තරුණ තරුණියන් හා උඩරට ප්‍රදේශයේත් තරුණ තරුණියන් අතර ගොඩ නැගුණු පෙම් සම්බන්ධතා විවාහයෙන් කෙළවර වූ අවස්ථා බොහොමයක් අපි අසා ඇත්තෙමු. එය අදටත් එසේම විය හැක. එසේ පෙම් සබඳතා ගොඩනගා ගෙන විවාහ වූ අත්තා අත්තම්මලා පවා උඩරට ප්‍රදේශවල දැකගත හැකි අතර, එම පෙම් සබඳතා ගොඩනැගුණු ආකාරය පිළිබඳව සන්තෝෂයෙන් මතක් කරන බොහෝ දෙ​ෙනක් අදටත් සිටිති.

මහනුවර ඓතිහාසික පෙරහර මංගල්‍යය ආගමික නැඹුරුවකට සිදු වුවද එය කන්ද උඩරට ජනතාවට වෙනත් විවිධ බොහෝ ප්‍රදේශවල ජන කොට්ඨාස හා සම්බන්ධ කරන අමුතුම ආකාරයේ තෝතැන්නකි. 

වත්මන් ලෝකය අන්තර්ජාලය හරහා එකම විශ්ව ගම්මානයක් බවට පත් කොට ඇති බැවින් වර්තමානයේ මෙවැනි උත්සවවලදී අතීතයේ සිදුවූ සිදුවීම් නොවනවා විය හැකිය.

එහෙත් සත්ත්ව ලෝකයේ හමුවීම් සිදු වන්නේ පුදුමාකාර විදිහටය. ඒ ආකාරයට දකුණත් උඩරටත් සම්බන්ධ කළ නොකැළැල් මිත්‍රත්වයක් මෙරට සුප්‍රසිද්ධ සත්ත්වයන් දෙදෙනෙකු අතර මීට වසර විස්සක පමණ කාලයක සිට පැවත එනවා යැයි කිව්වොත් ඇතැමුන් එය විශ්වාස නොකරනවා විය හැක.

එම සත්ත්වයන් දෙදෙනා වන්නේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ යුවරජු වශයෙන් සැලකෙන සිංහ රාජා සහ දකුණු ලකේ ශ්‍රී මහා කතරගම දේවාලයේ තේජාන්විත හස්තියා වශයෙන් සැලකෙන වාසනා හස්තියායි.

නැදුම්ගමුවේ රාජා හස්තියා මෙලොව හැරයාමෙන් පසු එම හස්තියා කළ මෙහෙවර සඳහා ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට සහය වන හැඩකාර ප්‍රධාන පිටස්තර හස්තියා වශයෙන් සැලකෙන්නේ කතරගම වාසනා හස්තියායි. කතරගම  වාසනා හස්තියා සහ සිංහ රාජා හස්තියා අතර ඇතිව තිබෙන මෙම අපූරු මිතුදම මහනුවර දී පමණක් නොව මහනුවරින් බැහැර පිට ප්‍රදේශවල පවත්වනු ලබන පෙරහර සඳහා සහභාගි වීමට ගිය අවස්ථා වලදී ද දැකගත හැකි බවයි පැවසෙනුයේ.

මෙම හැඩකාර හස්තීන් දෙදෙනා හමුව ඇත්තේ කුඩා අවධියේ දී මෙරට කැලෑවල අතරමංව සිටිය දී බව ද සඳහන්ය. සිංහරාජා හස්තියා යුද්ධය පවතින කාලයේදී බෙදුම්වාදීන් ගේ වෙඩි බෝම්බ ශබ්දයත් සමග තම මවුපියන් ගෙන් මිදී කැලෑවේ අතරමංව සිටිය දී සිංහ රෙජිමේන්තු නිලධාරීන්ට හමුව තිබේ. එම කුඩා ඇත් පැටවාට සිංහ රාජා යනුවෙන් නම් තබා ඇත්තේ එම රෙජිමේන්තු නිලධාරීන් විසිනි.

කාලයක් එම නිලධාරීන් ගේ සෙවණේ හැදුණ වැඩුණ සිංහරාජා තරුණ වියට එළඹීමත් සමග එහි නිලධාරීන්ට ඇත් පැටවා මෙල්ල කිරීමට නොහැකි වීම හේතුවෙන් කර්නල් විජේ ක්‍රිෂ්ණා ගේ සම්බන්ධීකරණයෙන් හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස ගේ මග පෙන්වීමෙන් මෙම ඇත් පැටවා එවකට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නෙරන්ජන් විජයරත්න ගේ ඉල්ලීමකට අනුව ශ්‍රී දළදා මාලිගාවට පූජා කොට තිබේ.

වාසනා හස්තියා ද එවැනිම අතීතයකට උරුමකම් කියන හස්තිරාජයෙකි. අනුරාධපුර ප්‍රදේශයේ කැලෑවක මව්පියන් ගෙන් මිදී අතරමංව සිටිය දී කුඩා ඇත් පැටවෙකු හමු වීමෙන් අනතුරුව එම ඇත් පැටවා පින්නවල අලි සංරක්ෂණාගාරයට යොමු කොට තිබේ.

පසුව මෙම ඇත් පැටවා 1978 වසරේදී එවකට අමාත්‍යවරියක වූ විමලා කන්නංගර ගේ මැදිහත් වීමෙන් රුහුණු කතරගම මහා දේවාලයට පූජා කොට තිබේ. එවකට මෙම හස්තියා කතරගම රාජා යනුවෙන් නම් කොට ඇති අතර එම හස්තියා වාසනා යනුවෙන් නම් කිරීම ද හරි අපූරු සිදුවීමකි. එම සිදුවීම ද මෙම කතාව අතරතුර කියවිය හැකිය.

මේ දෙදෙනා ගේ අපූරු මිත්‍රත්වය ගොඩ නැගෙන්නේ 2005 වසරේ සිටය. වාසනා, සිංහරාජා ට අසීමිත මිත්‍රත්වයක් ළෙන්ගතුකමක් දැක්වුව ද ආඩම්බරකාර සිංහ රෙජිමේන්තුකාරයෙකු වන සිංහරාජා ඔහු ගේ සීමාවේ සිට එම මිත්‍රත්වයට ප්‍රතිචාර දැක්වීමට පෙළඹී සිටින අයුරු ද දැක ගත හැකිය. ඒ ආමි කාරයන් ගේ හැටිය. වාසනාට නම් සිංහරාජා නොමැතිව කෑම නෑම කටයුතු නොකළ ද සිංහරාජා ඔහුගේ දෛනික කටයුතු වාසනා නොමැතිව වුව ද සිදුකර ගනී.

රාජා සහ වාසනා ඇත් පැටවුන් දෙදෙනාම දෙමව්පියන් ගෙන් මිදී කැලයේ අතරමංව සිට හීලෑ වී සමාජගතව සිටිය ද සිංහරාජා මෙන් නොව වාසනා හස්තියා තම ජීවිත කාලය තුළ මාරක කිහිපයක් පසු කළ හස්ති රාජයෙකි. මෙම හස්තියාට වාසනා යැයි නම ලැබී ඇත්තේ ද ඒ හේතුවෙනි. කතරගම රාජා වාසනා වූයේ කෙසේ දැයි එම සිදුවීම් සමුදාය පිටුපස ඇත.

වාසනා කතරගම මහා දේවාලයේ පෙරහරේ විශේෂ කර්තව්‍ය සියල්ලක්ම සිදු කරනු ලබන හස්ති රාජයෙකි. මෙම හස්ති රාජයා අවස්ථා දෙකකදී තම ජීවිත අවදානමට මුහුණ දුන්නෙකි.

මෙරට භීෂණකාරී කාල වකවානුවක් වූ 1989 වසරේ දී වාසනා හස්ති රාජයා (ඒ කාලයේ කතරගම රාජා)  කතරගම මහා දේවාලයේ අවසන් මහා පෙරහරේ දේවාභරණ කරඬුව වඩම්මවමින් සිටිය දී එවකට එම කැරලිකරුවන් විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකට ගොදුරු විය. ඉන් රාජා  බරපතළ තුවාල ලැබූ අතර, එම බෝම්බ ප්‍රහාරයෙන් කතරගම මහා දේවාලයේ ලේකම් පැල්වත්ත අධිකාරම් මෙන්ම ආලත්ති අම්මලා ද පෙරහර නැරඹීමට පැමිණි අටදෙනෙක් ද මෙලොව හැර ගියහ.

ඒ වන විට කතරගම මහා දේවාලයේ දේවාභරණ දරා සිටි එවකට කතරගම රාජාගේ හස්ති පාලකවරයා ද බරපතල තුවාල ලබා සිටි බැවින් රාජාට කර කියා ගත යුතු දෙයක් නොමැතිවිය. එහෙත් තම රාජකාරිය පිළිබඳව මනා අවබෝධයකින් සිටි බැවින් රාජා ආපසු හැරී තුවාල සමගින් ඇවිදගැනීමට පවා නොහැකිව  දේවාලයේ දේවාභරණ තැන්පත් කරනු ලබන මණ්ඩපය වෙත  තනිව පැමිණ තිබේ.

එම අවස්ථාවේ දී පැවති කලබලකාරී වාතාවරණය හමුවේ මිල කළ නොහැකි ඓතිහාසික වටිනාකමකින් යුත් හස්ති රාජා පිට තැන්පත් කොට තිබූ දේවාභරණ එහි කපු මහතුන් විසින් හස්තිරාජයා ගෙන් රැගෙන නැවතත් ආරක්ෂිත ස්ථානවල තැන්පත් කොට තිබේ. එම දේවාභරණ හස්තිරාජයාගේ පිටෙන් කපු මහතුන් විසින් ඉවත් කර ගැනීමත් සමග ඉතා අපහසුවෙන් සිටි රාජා  ඇද වැටී තිබේ.

ඉන් අනතුරුව මාස ගණනාවක් රාජාට ප්‍රතිකාර කිරීමෙන් පසුව ප්‍රකෘති තත්ත්වයට පැමිණ තිබේ. එසේ ප්‍රකෘති තත්ත්වයට පැමිණි රාජා ඊට වසර කිහිපයකට පසු මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර මංගල්‍යයට සහභාගී වී ආපසු 18 වංගුව ඔස්සේ ගමන් කරමින් සිටිය දී නැවතත් වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ. එය ද රාජාගේ ප්‍රශ්නයක් නොව  හස්ති පාලකවරයා ගේ පෞද්ගලික ප්‍රශ්නයක් බව අනාවරණය වී තිබේ.  කෙසේ නමුත් එම වෙඩි ප්‍රහාරයෙන් රාජාගේ බෙල්ල ප්‍රදේශයට හානි සිදුව තිබේ. එම අවස්ථාවේදී ද රාජාගෙන් හස්ති පාලකවරයා මිදී ගොස් කැලයේ සැඟව සිටිය දී රාජාම එම ස්ථානයට ගොස් හස්ති පාලකවරයා සොයා ගත් බවද සඳහන් වේ. 

බෝම්බ ප්‍රහාරයකින් සහ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා නැවතත් අපගේ ආගමික සංස්කෘතික මහා මංගල්‍යවල ප්‍රධාන භූමිකාව සිදුකිරීමට තරම් වාසනාවන්ත වූ කතරගම රාජා එවක් පටන් “වාසනා” යනුවෙන් නම් කළ බවද සඳහන් වේ.

අද වන විට වනාන්තරයේ සිටින අලි ඇතුන් මුහුණ පා ඇති මහා ඛේදවාචකය හමුවේ වාසනා සහ සිංහ රාජා වාසනාවන්ත ඇත් රජවරුන් වශයෙන් හැඳින්විය හැකිය. 

සිය පියාගේ ඇවෑමෙන් මේ වන විට අජිත් අශෝක ලියනගේ විසින් වාසනා හස්ති රාජයා බලාගැනීම සිදු කරන අතර, ඔහුගේ පුත්‍රයා විසින් තුන්වැනි පරම්පරාවේ වගකීම ද බාර ගැනීමට සූදානම්ව පුහුණුවීම්වල යෙදී සිටිමින් සිටී.

මේ වාසනා ඇතා හරි අපූරු සත්ත්වයෙකි. ඔහුට අලි භාෂාව හැරුණු කොට සිංහල භාෂාව පිළිබඳව ද හසල දැනීමක් ඇති බව පැවසේ. එසේම ස්වභාව ධර්මයාගේ විවිධාකාර වූ වෙනස්වීම් පිළිබඳව දැනීමක් ද මෙම හස්තියාට ඇති බව පැවසේ. මෙරට බෞද්ධ ජනතාව ගේ ආගමික සංස්කෘතික මහා මංගල්‍යයන්හි මහා තිලකයක් බඳු වූ වාසනා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මහා කර්තව්‍ය සිදුකරමින් සිටියදීම තම පනස් පස් වැනි උපන්දිනය ද සැමරීය.

එදින වාසනා හස්තියා පමණක් නොව මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරට දායකත්වය දැක්වූ වයස අවුරුදු 40 ට වැඩි හස්තීන් 47 දෙනෙකු ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික පත්තිරිප්පුව ඉදිරිපිට දී උපහාර ලැබීය.

සියලු‍ දෙනා ගේ ආදරය ගෞරවය දිනාගෙන සිටින මෙම හැඩකාර මනමාල හස්තිරාජයා කෝට්ටේ කැලණිය බෙල්ලන්විල රත්නපුර මහා සමන් දේවාලය පෙරහර, සීනිගම, ගැටබරුව වැනි මහා පෙරහරවල ප්‍රධාන භූමිකාව සිදුකිරීමට තරම් වාසනාවන්ත වී තිබේ.

ෂේන් සෙනෙවිරත්න