
දිට්වා සුළිකුණාටුව නිසා දින දෙක තුනක් නොකඩවා වැසි ඇද හැලෙද්දී - අප කොතරම් අසරණ වුණා දැයි අමුතුවෙන් කිවයුතු නැත. ඒත් එක දිගට දින 10 ක් දින 100 ක් නොව, අවුරුදු ගණනක්, අවුරුදු දහස් ගණනක් එසේත් නැත්නම් අවුරුදු මිලියන ගණනක් වැස්සොත් එය කෙසේ වේවි ද? එය විය හැකි දෙයක් ද?
විද්‍යාඥයින්ට අනුව ඉතා ඈත අතීතයේ දී එවැනි මහා වැස්සකට පෘථිවිය මුහුණ දී ඇත.
පෘථිවියේ ජලවක්‍රයට අනුව, සාමාන්‍යයෙන් වැස්ස හටගන්නේ - පෘථිවිය මත ඇති ජලය වාෂ්පීකරණය ලෙස හඳුන්වන ක්‍රියාවලිය නිසා ජලවාෂ්ප ලෙස ඉහළට ගොස්, පසුව ඝනීභවනය වී යළි ද්‍රව තත්ත්වයෙන් පෘථිවිය වෙතම පතිත වීම ලෙසිනි. එසේ නම් වසර මිලියන ගණනක් එක දිගට වැස්සක් ඇතිවූයේ කෙසේ ද?
මීට වසර මිලියන232 කට පමණ පෙර (ඩයිනෝසරයන් බිහිවුණු මුල් අවධියේදී) පෘථිවිය මත ධාරාණිපාත වර්ෂාවක් එක දිගට නොකඩවා වසර මිලියන2 ක පමණ කාලයක් පුරා ඇද හැලෙන්න විය. විද්‍යාඥයන් මෙම සංසිද්ධිය නම් කර ඇත්තේ “කානියන් ප්ලූවියල්” යනුවෙනි. කානියන් ප්ලූවියල් සංසිද්ධිය යනු - පෘථිවි ඉතිහාසයේ ත්‍රියාසික යුගයේ අවසන් කාලයේ, කානියන් අවදියේ දී (වසර මිලියන 234 සිට 232 දක්වා පමණ කාලය) පෘථිවිය කැලඹූ සුවිශේෂී ගෝලීය දේශගුණික විපර්යාසයකි. මෙම සංසිද්ධිය වසර මිලියන1 සිට 2 දක්වා කාලයක් පුරා පැවති බවත්, පෘථිවි ජීවීන්ට සහ පරිසර පද්ධති වලට අති විශාල බලපෑමක් එමගින් එල්ල කෙරුණු බවත්, විද්‍යාඥයන්ගේ අදහසය. මෙම අවදියේ පෘථිවි භූමි ස්කන්ධ අද අපට දකින්න ලැබෙන ආකාරයට මහාද්වීප ලෙස වෙන්වී තිබුණේ නැත. තිබුණේ එක් දැවැන්ත තනි මහාද්වීපයක් වශයෙනි. මේ දැවැන්ත මහාද්වීපය “පැන්ජියා” ය.
කානියන් ප්ලූවියල් සංසිද්ධියට පෙර පෘථිවියේ පැවැතියේ දැඩි වියළි කාලගුණයකි. හිටිහැටියේ ඒ වියළි කාලගුණය අවසන් විය. හදිසියේම මහ වැසි ඇද හැලෙන්න විය. විද්‍යාඥයන්ට අනුව එය සිදුවූයේ මෙසේය.
අතීතයේ පැන්ජියා මහද්වීපයේ ගිනිකඳු වලින් පමණක් පිරුණු පළාතක් විය. භූ විද්‍යාඥයන් මෙම පළාත නම් කර ඇත්තේ “රැන්ගෙලියා” යනුවෙනි. අද (මහද්වීප ලෙස භූමිය කැඩී වෙන්වී ගොස් ඇති විට) රැන්ගෙලියා නමැති මෙම මහා ගිනිකඳු පළාත අයත් වෙන්නේ, ඇලස්කාව සහ බ්‍රිතාන්‍ය කොලොම්බියා වෙරළ තීරයටය. මේ පළාතේ ඇති ගිනිකඳු සියල්ල එකවරම බිහිසුණු ලෙස පුපුරා යෑමට නැතිනම් විදාරණය වීමට පටන් ගත්තේය. ගිනිකඳු මෙසේ පුපුරා යද්දී වායුගෝලයට විශාල වශයෙන් කාබන්ඩයොක්සයිඩ් සහ අනෙකුත් හරිතාගාර වායු මුදාහැරීම සිදුවිය. හරිතාගාර වායු සාන්ද්‍රණය මෙසේ වැඩිවීම ගෝලීය උණුසුමට හේතු විය. (සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 කින් හෝ 4 කින් ඉහළ ගියේ යැයි විශ්වාස කෙරේ.) එවිට සාගර උණුසුම් විය. සාගර ජලය වැඩි වැඩියෙන් වාෂ්ප වීමට පටන් ගැනුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය වශයෙන් බිහිසුණු අන්දමින් මෝසම් වැසි වැනි වර්ෂා රටා මුසුවුණු කාලගුණයක් නිර්මාණය වීමට පටන් ගත්තේය. වසර මිලියන ගණනක් මහවැසි ඇද හැලෙන්න වූයේ ඉන් පසුවය.

පැන්ජියා මහාද්වීපය පුරා අසාමාන්‍ය ලෙස අධික වර්ෂාපතනයක් (අම්ල වැසි ඇතුළුව) වසර මිලියන1-2 ක පමණ කාලයක් පුරා ඇද හැලෙන්න විය. මෙවැන්නක් සිදුවුණු බව විද්‍යාඥයන් දන්නේ කෙසේ ද? විද්‍යාඥයන්; නිවැරදිව කීවොත් භූ විද්‍යාඥයන් මේ බව නිවැරදිව දන්නේ ඔවුන්ට ලැබුණු භූ විද්‍යාත්මක සාක්ෂි අනුවය. මේ සාක්ෂි හමුවී ඇත්තේ සිදුකළ කැණීම් වලින් හමුවුණු කානියන් අවදියේ වූ භූ ස්ථර අධ්‍යයනය කිරීමෙනි. අඳුරු සිලිසික්ලාස්ටික් පාෂාණ එසේ හමුවුණු ප්‍රබල සාක්ෂියකි. යුරෝපයේ (වර්තමානයේ ඇල්ප්ස් කඳුකරයේ සහ එංගලන්තයේ), ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ පවා සාමාන්‍ය වියළි කාබනේට් පාෂාණ ස්ථර අතර අසාමාන්‍ය ලෙස තෙත් තත්ත්වයන් දර්ශක වූ අඳුරු, රොන්මඩ සහිත පාෂාණ ස්ථර සොයා ගෙන ඇත. මහාවැස්ස හටගත් කාලය සහ එය අවසන් වූ කාලය ඒ අනුව, නිර්ණය කර ගැනීම සිදුවිය.
නොකඩවා ඇද හැලුණු මහවැසි හේතුවෙන් ගොඩබිම අධික ලෙස ඛාදනය වීම සහ අවසාදිත ගලාඒම වැඩිවීම පිළිබඳ සාක්ෂි (උදා: මුහුදු අවසාදිතවල මඩ බහුල ස්ථර) ද විද්‍යාඥයන්ට හමුවී ඇත. ඒ කාලයේ ජීවත්වුණු ජීවීන්ගේ ජීවන රටාව වෙනස් කිරීමට පමණක් නොව, ඇතැම් ජීවීන් මිහිමතින් සදහටම තුරන් කිරීමට පවා මේ මහා වැස්ස සමත් වන්නට ඇත. ඇමනොයිඩාවන් සහ කොනොඩොන්ට් වැනි ජීවීන් විශාල වශයෙන් වඳ වී යෑම සිදුවිය. ගිනිකඳු ක්‍රියාකාරකම් මගින් ඇති වූ අම්ල වර්ෂා, උණුසුම සහ පාංශුඛාදනයන් නිසා - පැරණි වියළි දේශගුණයට අනුවර්තනය වී තිබූ බොහෝ ශාක හා සත්ත්ව විශේෂ වඳ වී ගියේය. ඈත අතීතයේ පාෂාණ ස්තර අතර අධික තෙත් සහිත තත්ත්වයන් යටතේ පමණක් සෑදෙන අඳුරු රොන්මඩ සහ පස් වර්ගවලින් යුත් විශාල ස්තර ගෝලීය වශයෙන් සොයා ගැනීමට ද විද්‍යාඥයන්ට හැකියාව ලැබී ඇත. මෙම ස්තරවලින් පෙන්නුම් කරන්නේ එම වසර මිලියන දෙකක කාලය තුළ වසරකට ලැබුණු මුළු වර්ෂාපතන ප්‍රමාණය පෙරට වඩා අතිශයින් ඉහළ බවය.
පැවැති ජීවීන් වඳ වී යද්දී - හිස්වුණු පරිසර පද්ධතියේ නව ජීවීන් බිහිවීම සිදුවිය. මෙය ද වසර මිලියන ගණනක් තිස්සේ සිදුවුණු සංකීර්ණ ක්‍රියාවලියකි. කානියන් ප්ලූවියල් සංසිද්ධියට පෙර ද මිහි මත ඩයිනෝසරයන්ගේ බිහිවීම සිදුවී තිබුණි. එහෙත් විද්‍යාඥයන් පැහැදිලි කරන ආකාරයට - මෙම සංසිද්ධියෙන් පසු ඩයිනෝසරයන්ගේ සංඛ්‍යාව සහ විවිධත්වය පුළුල් ලෙස ව්‍යාප්තවීම ඇරඹී ඇත. තෙත් සහ උණුසුම් තත්ත්වයන් ගෙන් පසුව ඇති වූ වියළි දේශගුණික තත්ත්වයන්ට මුහුණ දීමට ඩයිනෝසරයන් වඩාත් හොඳින් අනුවර්තනය වුණු බව ද විද්‍යාඥයන්ගේ අදහසය.
නූතන පෘෂ්ඨවංශීන්ගේ සම්භවය ද සිදුවිය. කටුස්සන්, කිඹුලන්, කැස්බෑවන්, ක්ෂීරපායීන්ගේ මුතුන් මිත්තන් සහ නූතන උභයජීවීන් වැනි ප්‍රධාන ගොඩබිම් පෘෂ්ඨවංශී කණ්ඩායම් බිහිවීම සඳහා මෙම සංසිද්ධිය ඉවහල් වන්නට ඇතැයි පැවසේ. සාගරයේ පාවෙන කැල්සිෆයර් සහ නූතන කොරල්පර වැනි නව සමුද්‍රජීව ආකාර ද බිහිවිය. ඒ අනුව කානියන් ප්ලූවියල් සංසිද්ධිය යනු ත්‍රියාසික යුගයේ පැවති ප්‍රධාන පාරිසරික සහ ජීව විද්‍යාත්මක හැරවුම් ලක්ෂ්‍යය බව අමුතුවෙන් කිව යුතු නොවේ. ගිනිකඳු ක්‍රියාකාරකම් මගින් ඇති වූ දැවැන්ත දේශගුණික විපර්යාස (අධික වර්ෂාපතනය සහ ගෝලීය උණුසුම) මගින් පරිසර පද්ධති අවුල් කරනු ලැබුව ද, එය ඩයිනෝසර යුගයේ උදාව සහ නූතන පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ වල සම්භවය හා ව්‍යාප්තිය සඳහා අවශ්‍ය පදනම සකස් කළේය.
යට දැක්වූ ආකාරයට වැස්ස හටගන්නේ - වාෂ්පීකරණයට ලක්වන ජලය යළි ද්‍රව වශයෙන් පතිත වීමෙනි. එසේ නම් මිලියන ගණනක් එක දිගට වැස්සක් ඇති වෙන්නේ කෙසේ ද?
මෙය හොඳ තාර්කික ප්‍රශ්නයකි. වැස්ස ඇතිවීම පාලනය වන්නේ පෘථිවියේ ජලචක්‍රය මගිනි. එසේ වුවත් කානියන් ප්ලූවියල් සංසිද්ධියේදී, “වසර මිලියන දෙකක් තිස්සේ එක දිගට වැස්ස ඇතිවීම” යන සංසිද්ධිය, සම්මතයේ අපට හුරුපුරුදු වාර්ෂික හෝ සෘතුමය වැසි රටාවන්ට වඩා වෙනස් විශේෂිත ආකාරයකින් අවබෝධ කරගත යුතු බැව් විද්‍යාඥයන්ගේ අදහසය.
ලුසිත ජයමාන්න
Live Science ඇසුරිනි

