පසුගියදා පැවති 30වැනි සුමති සම්මාන උළෙලේ දී හොඳම අධ්‍යාපනික ටෙලිවිෂන් වැඩසටහන සඳහා වූ සුමති සම්මානය දිනාගැනීමට සිරස ඔස්සේ විකාශය වන ‘පැතිකඩ’ කාලීන සංවාද වැඩසටහන වෙනුවෙන් අසෝක ඩයස් සමත් විය.
මුද්‍රිත, විද්‍යුත් හා ඩිජිටල් මාධ්‍යන්හි අවුරුදු 30කට වැඩි අත්දැකීම් සහිත ප්‍රවීණ මාධ්‍යවේදී අසෝක ඩයස් මේ වන විට සිරස මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරන අතරම පිලිපීනයේ මැනිලා නුවර කේන්ද්‍ර කරගත් ආසියානු මාධ්‍ය තොරතුරු හා සන්නිවේදන කේන්ද්‍රයේ (Asian Media Information and Communication Centre – AMIC) මෙරට නියෝජිතයා ලෙසද කටයුතු කරනු ලබයි.
පස්වසරක කාලය පුරා අසෝක ඩයස් මෙහෙයවන ‘%පැතිකඩ’, සිරස ටීවී හි News1st ඔස්සේ සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 06ට විකාශය කෙරේ.
මේ එම සම්මානය පිළිබඳව හා අධ්‍යාපනික වැඩසටහන් පිළිබඳව ඔහු සමග කළ සංවාදයකි.
Q ලැබුණු ඇගයීම ගැන දැනෙන්නෙ කොහොම ද?
ලංකාවේ ටෙලිවිෂන්වල උදේ වැඩසටහන් කියලා ප්‍රවර්ගයක් තියෙනවනෙ. උදේ වැඩසටහන්වලට වැඩි අවධානයක් ලැබෙන්නේ නෑ. ඒ වැඩසටහන් ප්‍රවර්ගයේ සාකච්ඡා වන විෂය සරල, සිල්ලර ලෙස තමයි සැලකිලි ලබන්නෙ. හැබැයි ඒ වැඩටහන්වල ඉඩ තියෙනවා යමක් ගැඹුරට කතා කරන්න.
පැතිකඩ වැඩසටහන දිනපතා උදේ 6.00ට තමයි විකාශය වෙන්නෙ. උදේ 6 කියන්නේ පාසල් යන සිසුන් සහ රැකියා සඳහා පිටත්වන අය අවදිව සිටින මොහොතක්. ඒ නිසා ඔහුන්ට ආමන්ත්‍රණය කරන්න හොඳ ප්‍රවේශයක් ගන්න පුළුවන්.
පැතිකඩ කියන්නෙ කාලීන වැඩසටහන් කියන ප්‍රවර්ගයේ ප්‍රවෘත්ති ශානරයේ වැඩසටහනක්. සමහර අයට මේක ස්පර්ශ වෙන්නේ නෑ, මොකද මේක හැමවිටම තනි පුද්ගලයෙක් සමග කරන සම්මුඛ සාකච්ඡාවක්. මේ වැඩසටහන අධ්‍යාපනික ගුණයක් තිබෙන වැඩසටහනක් ලෙස හඳුනාගැනීමම වැදගත්. මොකද ඒක තව අවස්ථාවන් පුළුල් කරනවා.
සම්මානය සඳහා නිශ්චිතව තෝරාගෙන තිබුණෙ ලංකාවට දකුණින් මුහුද යට තිබෙන කෝබොල්ට් සහිත ඇෆනසි නිකිටින් (Afanasy Nikitin) සමුද්‍රගිර හි අයිතිය පිළිබඳව අපි කළ සංවාදයයි. ශ්‍රී ලංකාවට කිලෝමීටර් 1050ක් පමණ දුරින් ජලතලයට යටින් පිහිටා ඇති කොබෝල්ට් ඛනිජ බහුල සමුද්‍රගිරක් වන අතර එහි අයිතිය තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට වඩා එම සමුද්‍රගිරට දුරින් පිහිටා ඇති රටවල් ගණනාවක් ජාත්‍යන්තර තලයේ මෙහෙයුම් අරඹා තිබුණ පසුබිමක එම සමුද්‍රගිරහි අයිතිය ඉල්ලීම අපි ශක්තිමත්ව හඬ නගා, තාක්ෂණිකව, නිවැරදිව, ජාත්‍යන්තර නීතියට අනුගතව ඉල්ලිය යුතු වුණා. නමුත් අපි හරි දුර්වලයි. ඉතිං අපි මේ ගැන වැඩසටහන් 3කින් සාකච්ඡා කළා.
ලංකාවේ පත්තර බලන පිරිස වැඩිම මේ මොහෙතේයි
මෙතනදී සමුද්‍ර ගිර කියන්නෙ මොකක් ද? කෝබෝල්ට් කියන්නෙ මොකක් ද? සමුද්‍ර ගිරක් හැදෙන්නෙ කොහොම ද? ඒකට දැන් තිබෙන අන්ක්ලෝස් කියන ජාත්‍යන්තර ගිවිසුම කොහොමද ගොඩනැගිලා තියෙන්නෙ, ලංකාවට කොහොමද ඔච්චර දුරකින් තියෙන දෙයක් ඉල්ලන්න පුළුවන්, සමුද්‍ර ප්‍රදේශය කියන්නෙක් කුමක්ද යන කාරණය ගැන වෙනමම කතා කළා. ඒක කතා කළේ නාවුක හමුදාවේ දෙවැනි ප්‍රධානියා ලෙස හිටිය වයි.එන්. ජයරත්න මහතා සමගයි.
ඉන් පස්සෙ නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ සමග මේකේ ජාත්‍යන්තර නීතිය පිළිබඳව සාකච්ඡා කළා. අපි ඒ වැඩසටහන කළේ මීට අයිතිවාසිකම් ජාත්‍යන්තරව ඉල්ලීමට තිබෙන අවසන් දිනයේදීයි.
ඊ ළඟට අපි මෙහි භූ දේශපාලන වටිනාකම පිළිබඳව ඉංජිනේරුවෙකු වන පුබුදු ජාගොඩ සමග සාකච්ඡා කළා.
සම්මානය සඳහා නිශ්චිතව බලලා කිබුනේ නීතිඥ රවින්ද්‍ර දාබරේ සමග කළ සංවාදයයි.
Q අධ්‍යාපනය ටෙලිවිෂනය තුළින් සමාජ ගතකිරීම නිසි ලෙස සිදුකරන්නෙ කොහොමද? ඔබ මෙම අභියෝගය ජයගත්තෙ කොහොමද?
ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධව අර්ථකථන ගැඹුරු ගැටලුවක් ඇතිකරන්නක්. ඒක මේ දවස්වල හොඳට මතුපිටට ඇවිත් තිබෙනවා. අධ්‍යාපනය යනු සහතික කේන්ද්‍රීය දෙයක්මද? කියන කාරණය සම්බන්ධව. මම නම් හිතන්නේ එහෙම නෑ කියලයි. අධ්‍යාපනය කියන්නෙ ඊට වඩා හුඟක් පළල් දෙයක්. අධ්‍යාපනය, පන්තිකාමරයකට වෙලා විභාගයකට පාඩම් කරන තැනින් ඔබ්බට ගිහින් හුඟක් කල්. අද අධ්‍යාපනය කියන්නෙ නොනවතින අධ්‍යාපනයටයි’ (Continues Education). වෙන කවරදාටත් වඩා නොනවතින අධ්‍යාපනය තමයි අද වැදගත්.
මම 90ට කළින් ඉපදිච්ච කෙනෙක්. අපි ඉපදෙනවිට ලෝකය ඩිජිටල්වෙලා නෑ. 1995දී ලෝකය ඩිජිටල් වුනහම, අපි අර යුගයේ ඉඳලා ඩිජිටල් යුගයට ගිහින් ඩිජිටල් භාවිතය ගැන හැකියාවන් ගොඩනගාගත් අය. අපි හිතුවනම් “නෑ, නෑ අපි ඩිජිටල් ඉගෙන ගන්නෙ නෑ, එඩිටින් ඉගෙන ගන්නෙ නෑ” කියලා, අපි කැන්සල් වෙනවා. ඒක තමයි නොනවතින අධ්‍යාපනය කියන්නෙ. අපි ඒ ශක්‍යතාවන්, හැකියාවන් නැවත ගොඩනඟා ගන්න ඕනි. අපි විශ්වවිද්‍යාලයෙ ගිහින් ගත්ත දැනුම ඇති, මාස්ටර්ස් කරලා ගත්ත දැනුම ඇති කියලා ඉඳලා හරියන්නෙ නෑ. මම හිතන විදිහට හැමෝටම ඒ අවස්ථාව ඕනි.
දැන් මේ දවස්වල ඇමරිකන් තීරු බද්ද ගැන නිතර කතාවෙනවා. හැබැයි මොකක්ද තීරු බදු? හැමෝම කැමතියි මේ ගැන දැනගන්න. නැවතිලා අහගෙන ඉඳියි. ටෙලිවිෂන් නිවුස්වල පැය 1/2 ය හෝ පත්තරේ නිවුස් ස්පේස් එක හරි ඕක පැහැදිලි කරන්න සම්පූර්ණයෙන් වෙන්කරන්න බැහැනෙ. මොකද විකාශය කරන්න හෝ පලකරන්න නිවුස් ගොඩක් තියෙනවනෙ. එහෙමනම් අපට තියෙන්නෙ ඒකට ඉඩ හදාගන්න පුළුවන් දෙයක් දිහා බලන්න. අපිට රූ 7.00ට නිවුස් එක සම්පූර්ණයෙන් තේරුම් ගන්න බැරි වෙන්න ඉඩ තිබෙනවා. නමුත් ‘%පැතිකඩ’ වැඩසටහනේ අධ්‍යාපනික ප්‍රෙව්ශය තුළින් ඔය දේ පැහැදිලි කරගන්න අපට පුළුවන් වෙනවා. උදාහරණයක් ලෙස ලංකාවේ අලුත් අවුරුදු කාලෙට අනාරක්ෂිත ලෙස රතිඤ්ඤා දැල්වීම නිසා අනතුරු විශාල ලෙස සිදුවෙනවා. නමුත් මාධ්‍ය හරහා මේක කරන්න එපා, එපා කියන දේ පුවත්පතේ පල කරලා, ටෙලිවිෂනයෙන් පෙන්වලා දැන් ඒ තත්ත්වය පැහැදිලිවම අඩුවෙලා තියෙනවා කියලා වෛද්‍යවරු පවසනවා. දැන් මිනිස්සු පරිස්සම්. ඔබ ඒ ගැන දැනුවත් නිසා ඔබ ඔබේ දරුවාට අනාරක්ෂිත ලෙස ඒ කටයුත්ත කරන්න ඉඩ දෙන්නේ නෑ. මාධ්‍ය තමයි ඒක කළේ.
ඒ වගේම පහුගිය දවසක රඹුටන් ගස්වලින් වැටුණු 17දෙනෙක් කොළඹ ජාතික රෝහලේ ICU එකේ ප්‍රතිකාර ලබා තිබුණා. මෙහෙම වෙන්නේ ඇයි කියලා අපි ජාතික රෝහලේ අධ්‍යෂකවරයා සමග සංවාදයක් කළා රඹුටන් අනතුරු ඇයි කියලා. රඹුටන් මිල ඉහළ ගොස් තිබෙන නිසා පලදාව ආරක්ෂා කර ගන්න දැන් වයර් ඇදලා විදුලිය යොදනවා. උදේට ඕක අමතක වෙලා ගහට නැග්ගහම කරන්ට් වැදිලා පිච්චිලා වැටෙනවා. සමහරු 80%ක් පිලිස්සුම් තුවාල ලබනවා. අන්න ඒක තමයි අපි ලබාදෙන අධ්‍යාපනය. ඒ වගේ ලොකු රේන්ජ් එකක ඉන්ටවිව්ස් අපි කරනවා අධ්‍යාපනික වටිනාකමකුත් එක්ක.
Q ටෙලිවිෂන් වැඩසටහන් තුළ එක නාලිකාවක් කරන ජනප්‍රිය ආරේ වැඩසටහන් සෙසු නාළිකාත් පසුව නිර්මාණය කිරීම බහුලව දක්නට ලැබුණත් අධ්‍යාපනික වැඩසටහන් සඳහා එවැනි තත්ත්වයක් දක්නට නෑ නේද?
අධ්‍යාපනික වටිනාකම් තිබෙන වැඩසටහන් තිබෙනවා. නමුත් ඒක ඇහැට වැටිලා නැතුව ඇති. නමුත් ඒක අධ්‍යාපනික වටිනාකම් තියෙන එකක් ලෙස හඳුනා ගත්තම තවත් ඒවා මතුවෙයි.
දැන් පැතිකඩ වැඩසටහන අපි කරන්නේ අධ්‍යාපනික වැඩසටහනක් ලෙස කාලීන වැඩසටහනක් ලෙස තමයි කරන්නෙ.
ලංකාවේ පොත් විකිණෙනවා කිව්වත් වැඩියෙන්ම විකිණෙන්නේ පාඨ ග්‍රන්ථ හෙවත් ටෙක්ස්ට් බුක්නෙ. ඒකනෙ ඇත්ත. පත්තරවලත්, රේඩියෝවලත්, ටීවීවලත් පිළිබිඹු වෙන්නෙ ඒකම තමයි. පත්තරේක 5 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයක් දැම්ම දවසට සේල් එකේ නැග්මක් තිබෙනවා. ඒක තමයි බැලූ බැල්මට බිම තිබෙන යථාර්ථය.
අධ්‍යාපනික අනුහුරුවක් තිබෙන ලිපි විශේෂාංග පිටුවේ හෝ ව්‍යාපාරික පිටුවේ ගියාට හඳුනා ගැනීමට ලක්වෙනව ද? මේ වැඩසටහනේ තිබෙන වැදගත්කම වෙන්නේ මේ වෙලාවෙ එහි ඇති අධ්‍යාපනික වටිනාකම හඳුනාගෙන තිබීමයි. උදාහරණයක් විදිහට Daily FT පුවත්පතෙහි අතැම් ලිපි අධ්‍යාපනික අතින් ඉතා ඉහළ තැනක තිබෙනවා. මම සමහර විෂයන් ඉගෙනගෙන තිබෙන්නෙ Daily FTහි ලිපි තුළිනුයි. නමුත් ඒ ලිපි අධ්‍යාපනික වටිනාකම ඇගයීමට ලක්වෙන්නේ නෑ.
නමුත් පැතිකඩ කියන්නේ අධ්‍යාපනික වශයෙන් වැදගත් යැයි මේ වනවිට හඳුනාගෙන තිබෙන වැඩසටහනක්. එය තව පුළුල්වීමේ අවකාශය තිබෙනවා.
Q අපේ ප්‍රේක්ෂකාගාරය තුළින් ඔය කියන පිළිගැනීම ලැබෙනව ද?
සමාජයක් විදිහට ගත්තම ලංකාවේ වර්ෂ1900 පමණ සිට රටක් ලෙස, පවුල් ලෙස, කුටුම්බ ලෙස අධ්‍යාපනයට ආයෝජනය කරලා තියෙනවා. ඒකට ලංකාවේ සියලුම කුටුම්බ ඉහළම ප්‍රමුඛතාවක් දෙනවා. කොච්චර අමාරු වුනත් පොත් ටිකක්, කවකටු පෙට්ටියක් අරන් දෙනවා, කොච්චර අමාරු වුනත් සිතියම් පොතක් අරන් දෙනවා. අධ්‍යාපනයට ලොකූ වටිනාකමක් දෙනවා සහ එවැනි වටිනාකමක් දෙන්න එකඟයි.
ඒකෙම යටිපෙළනෙ අධ්‍යාපනයට අදාළ දෙයක් ලියලා තියෙනවා දැක්කොත්, ඇහැව්වොත්, ප්‍රතිචාර දැක්වීම. උදාහරණයක් ලෙස විදුසර පත්තර එකතු කරපු අය මට හමුවෙලා තිබෙනවා. දැන් ඒ අය ලංකාවේ ඉහළම වෘත්තීන්වල සිටින වෘත්තීයවේදීන්. සමහර අවස්ථාවල යම් තැනක හමුවුනොත් අවුරුදු 30 -35ක් දන්න කෙනෙක් වගේ තමයි කතා කරන්නෙ. ඔයා විදුසර පත්තරේට ලිව්වා නේද? තාමත් පත්තර ටික එකතු කරලා තියපුවා ගෙදර තියෙනවා කියලා ඔහුන් මට කියනවා. ඒ අර අධ්‍යාපනික වටිනාකම නිසයි.
ඒ නිසා මම කොයි වෙලාවකවත් බය වෙන්නේ නෑ, සැක කරන්නෙ නෑ. අධ්‍යාපනයට සම්බන්ධ දෙයක් කොතැන තිබුණත් මිනිස්සු ගන්නවා කියන දේ සම්බන්ධව. ඒක සමහර විට අවුරුදු 5කින්, 10කින්, 30කින් ඔහුන්ට ප්‍රයෝජනවත් වේවි. හැබැයි ඒක ඔහුගෙ දැනුම පද්ධතිය පුළුල් කරනවා. ලංකාවෙ මිනිස්සු අධ්‍යාපනයේ වටිනාකම දන්නවා.
ටෙලිවිෂන් එක ඇතුළෙ මේකට ලොකු වටිනාකමක් තියෙනවා. මොකද උදේ වරුවෙ එහෙම දෙයක් ඔළුවට දාගන්න පුළුවන්නෙ. ඒ නිසා ධනාත්මකව මේ කටයුත්ත සිදුවෙනවා කියලා තමයි මට හිතෙන්නෙ. යූ ටියුබය තුළ විශාල ප්‍රතිචාරයක් හිමිව තිබෙනවා. ඒ වගෙම් රිවයින් ටෙලිවිෂන් පහසුකම නිසා වෙලාව කියන දේ අද ටෙලිවිෂනයට අදාළ නෑ.
සමහරු ඉතා ගොන් කතාවක් කියනවා පත්තර බලන පිරිස අඩුවෙලා කියලා. මගේ දැක්මෙ හැටියට ලංකාවෙ පත්තර බලන පිරිස වැඩිම මේ මොහෙතේයි. ඒ වගේම හැම පත්තරයක් ගැනම ඇඩ්වටයිසින් වැඩක් යනවා උදේට සියලු ටෙලිවිෂන් චැනලයකම. ඒ අනුව පත්තර කියවන පිරිස වැඩිවෙලා. පත්තරේ භෞතික කොපියක් ගන්නවද නැද්ද කියන එක වෙන කතන්දරයක්. අවසාන ඵලය විය යුත්තෙ මිනිස්සු අතරට යනවද නැද්ද කියන එකනෙ.
ටීවී සම්බන්ධ කාරණයත් එබඳුමයි. මොකද ටෙලිවිෂනයේ යන වැඩසටහන් යූ ටියුබයෙන් බලන්න පුළුවන්. අනික් පැත්තට වැඩසටහන් රිවයින් කරලා බලන්න පුළුවන්. පැතිකඩ වැඩසටහන යළි සංස්කරණය කරලා අඩු කාලයක් තුළ පහසුවෙන් නැරඹිය හැකි ලෙස තමයි යූ. ටියුබ් සඳහා එක්කර තිබෙන්නෙ.
නිරෝෂාන් ප්‍රේමරත්න