රහස් සැඟවුණු අයිස් කුට්ටිය


වසර මිලියන 1.5 කට වඩා පැරණි අයිස් කුට්ටියක් මේ වන විට බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් සතුව පවතී. පෘථිවියේ රහස් රැසක් එම අයිස් කුට්ටියෙන් අනාවරණය කර ගැනීමට විද්‍යාඥයෝ සූදානම් වෙති. විද්‍යාඥයන්ට අනුව මේ අයිස් කුට්ටිය මිහි මත පැරණිම අයිස් කුට්ටියයි. විද්‍යාඥයන් ඇන්ටාක්ටිකාවේ ඉතා ගැඹුරට කළ කැණීමකින් මෙම අයිස් කුට්ටිය ලබා ගෙන ඇත. සිලින්ඩරයකට රැස් කරගත් එම අයිස් කුට්ටියේ සාම්පලයක් බ්‍රිතාන්‍යයට රැගෙනවිත් ඇති අතර, දැන් විද්‍යාඥයන් සූදානම් වන්නේ එය දියකිරීමට ය. මෙම අයිස් කුට්ටියෙන් වසර මිලියන ගණනක් අතීතයේ රහස්, විශේෂයෙන් ගෝලීය උණුසුම ඉහළ යෑම සහ දේශගුණික විපර්යාස සම්බන්ධ රහස් අනාවරණය කර ගැනීමට විද්‍යාඥයන්ට හැකි වනු ඇති බව විශ්වාස කෙරේ.

අයිස් කුට්ටිය ගබඩා කර ඇත්තේ කේම්බ්‍රිජ් නුවර පිහිටි බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණ ආයතනයේ ගබඩා කාමරයේ ය. මෙම ගබඩා කාමරය ශීතකරණයක් වැනිය. එහි උෂ්ණත්වය පවතින්නේ සෙල්සියස් අංශක ඝෘණ 23 ක් ලෙසය.  

“පෘථිවි ඉතිහාසයේ අප සම්පූර්ණයෙන්ම නොදන්නා කාල පරිච්ඡේදයක් ගැන තොරතුරු අනාවරණය කර දීමට මෙම අයිස් කුට්ටියට හැකි වේවි යැයි අප විශ්වාස කරනවා. ඒක ඇත්තෙන්ම හරි අපූරු දෙයක් වේවි” යැයි මෙම පර් යේෂණයට සම්බන්ධ වී සිටින බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණ ආයතනයේ අයිස් පර් යේෂණ අංශයේ ප්‍රධානී ආචාර්ය ලිස් තෝමස් පැහැදිලි කරයි.

අයිස් ගබඩාව භූගත උමගක් වැනිය. එයට බාහිර පුද්ගලයන්ට යෑමට කිසිසේත් අවසර නැත. එසේ වුවත් බීබීසී පුවත් සේවයේ මාධ්‍යවේදීන්ට සහ කැමරා ශිල්පීන්ට පසුගිය දා ඒ සඳහා විශේෂ අවසරයක් ලැබුණි. නීතිරීති වලට අනුව ගබඩා කාමරයට ඇතුළු වී එහි රැඳී සිටීමට බීබීසී කණ්ඩායමට මිනිත්තු 15 ක් කාලය හිමිවිය. කණ්ඩායම ගබඩා කාමරයට ඇතුළු වූයේ ද දැඩි සීතලෙන් ආරක්ෂා වීමට ඝන ඇඳුම් බූට් සපත්තු තොප්පි සහ අත්වැසුම් පැලඳ ගෙනය. ඇතුළට ගිය මාධ්‍ය කණ්ඩායමටල වසර මිලියන1.5ක් පැරණි විය හැකි යැයි දැනට හඳුනා ගෙන ඇති පැරණිතම අයිස් කුට්ටිය පෙන්වීම කළේ ආචාර්ය ලිස් තෝමස් ය. 

ඇන්ටාක්ටිකාවේ සිට රැගෙන ආ වසර මිලියන1.5ක් පැරණි මෙම අයිස් කුට්ටිය සති හතක් පුරා සෙමින් සෙමින් දිය කිරීමට නියමිත බව ලිස් තෝමස් පැහැදිලි කළේය. අයිස් සෙමින් දිය කරද්දී අයිස් අතරේ සිරවුණු පුරාණ දූවිලි අංශු, ගිනි කඳු අළු සහ කුඩා සාගර ඇල්ගී වර්ග පවා නිදහස් වෙන බවත්, ඒවා පරීක්ෂා කිරීමට හැකි වනු ඇති බවත්, ලිස් තෝමස් මාධ්‍ය කණ්ඩායම හමුවේ පෙන්වා දුන්නේය. 

වසර මිලියනයකට පෙර පැවති සුළං රටා, උෂ්ණත්වය සහ මුහුදු මට්ටම් පිළිබඳ දත්ත රැස් කර ගැනීමට හැකිවනු ඇති බව විද්‍යාඥවරියක් පැවැසුවාය. දිය කර ගන්නා අයිස් වතුර යාබද රසායනාගාරයක ඇති විශේෂිත යන්ත්‍ර වෙත යොමු කෙරේ. අයිස් සම්බන්ධයෙන් මෙවැනි පර් යේෂණයක් කළ හැකි ලෝකයේ ඇති එකම පර් යේෂණාගාරය ඇත්තේ ද මෙම බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණ ආයතනය සතුවය.

ඇන්ටාක්ටිකාවෙන් මේ ආකාරයට ඉපැරණි අයිස් කුට්ටි සාම්පල ලබාගැනීම - බහුජාතික ආයතන කීපයක් එක්ව ඩොලර් මිලියන ගණනක් වැය කොට සිදු කළ දැවැන්ත මෙහෙයුමක ප්‍රතිඵලයකි. ජර්මන් සහ ස්විස් විද්‍යා ආයතන දෙකක් ද මෙම පර් යේෂණයට දායකත්වය ලබා දී ඇත. අයිස් මීටරයක ප්‍රමාණයේ කොටස් වලට කපා මුලින් නැව් මගින් ද පසුව ශීතකරණ සහිත ට්‍රක් රථවලින් ද කේම්බ්‍රිජ් පර් යේෂණාගාරය වෙත රැගෙන ඒම සිදු කෙරුණි. මෙම ඉපැරණි අයිස් කුට්ටිය හාරා ලබාගැනීම සිදු වී ඇත්තේ නැගෙනහිර ඇන්ටාක්ටිකාවේ කොන්කෝඩියා කඳවුර ආසන්නයේදී ය. එම කටයුත්තට දායක වූ එක් අයකු වන්නේ ඉංජිනේරු ජේම්ස් වීල් ය. 

ආචාර්ය ලිස් තෝමස් පවසන පරිදි වසර 800000 කට පෙර කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ස්වාභාවිකවම වර්තමානයේ පවතින තත්ත්වයට වඩා ඉහළ මට්ටමක පැවති කාල පරිච්ඡේදයක් පිළිබඳ සාක්ෂි ලබාගැනීමට ද මෙම අයිස් කුට්ටි මගින් හැකිවනු ඇතැයි පැවසෙයි. 

අද වන විට ගෝලීය උණුසුම ඉහළ ගොස් ලොව පුරා විපරිත කාලගුණ පෙරළි දකින්න ලැබෙන බවත්, ගෝලීය උණුසුම ඉහළ යෑමට හේතු වන වායුගෝලයට එක් වන අහිතකර වායු සම්බන්ධයෙන් පෘථිවිය අතීතයේ ප්‍රතිචාර දැක්වූ ආකාරය වටහා ගනිමින් අනාගතනයට පිළියම් සෙවීමට හැකි වනු ඇති බවත්, ආචාර්ය ලිස් තෝමස් පැහැදිලි කර ඇත.  

“අපගේ දේශගුණික පද්ධතිය විවිධ වෙනස්කම් රාශියක් හරහා ගොස් ඇති නිසා - එම විවිධ ක්‍රියාවලීන් සහ සන්ධිස්ථාන තේරුම්ගැනීමට අපට අතීතයට යාමට හැකිවීම අත්‍යවශ්‍යයි. මෙම අයිස් කුට්ටිය අප අතීතයට රැගෙන යාවි” යැයි ලිස් තෝමස් වැඩිදුරටත් පෙන්වා දෙයි.

ගෝලීය උණුසුම ඉහළ යෑම යනු පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය දිගින් දිගටම වැඩිවීමය. මේ තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ හරිතාගාර වායු නමැති වායු වර්ග කිහිපයකි. හරිතාගාර ආචරණය යනු පෘථිවියේ වායුගෝලයේ ස්වාභාවිකව සිදුවන ක්‍රියාවලියයි. සූර්යයාගේ තාපය පෘථිවියට ලැබුණු පසු ඒ තාපයෙන් කොටසක් නැවත අභ්‍යවකාශයට පරාවර්තනය වෙයි. හරිතාගාර වායු මේ තාපය වායු ගෝලයේ රඳවා ගැනීමක් කරයි. මේ හේතුව නිසා පෘථිවිය ජීවයට සුදුසු උෂ්ණත්වයක පවතී. මෙය ස්වාභාවික ක්‍රියාවලියක් වුවත්, මිනිස් ක්‍රියාකාරකම් නිසා වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු ප්‍රමාණය වැඩි වීමෙන් අද වන විට මේ ස්වාභාවික සමතුලිතතාව බිඳ වැටී ඇත. ගෝලීය උණුසුම ඉහළ යෑමට දායක වන ප්‍රධාන හරිතාගාර වායුවර්ගවලින් ප්‍රධාන තැනක් ගන්නේ කාබන් ඩයොක්සයිඩ් ය. මෙය ගෝලීය උණුසුමට වැඩිපුරම බලපාන වායුවය. “ෆොසිල ඉන්ධන: ගල් අඟුරු, තෙල් හා ස්වාභාවික ගෑස්” දහනය කිරීමෙන්, කර්මාන්ත ශාලා වලින්, රථවාහනවලින් සහ වනාන්තර විනාශ කිරීමෙන් විශාල වශයෙන් කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට එකතු වෙයි. මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් සහ ෆ්ලෝරිනීකෘත වායු වර්ග ද ගෝලීය උණුසුම ඉහළ යෑමට හේතු වන වායු ගෝලයට එක් වන අහිතකර වායූන්ය.

ලුසිත ජයමාන්න
බීබීසි ඇසුරිනි