ලලිත් ඇතුළත්මුදලි රෝහලේදී දියණිය සමග
පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඉකුත් 18 වැනිදාට වසර 38ක් පිරිණි.
ඉන්දු - ලංකා ගිවිසුම 1987 වසරේ ජුලි මාසයේ 29 වැනිදා අත්සන් කිරීමෙන් පසු ආණ්ඩු පක්ෂයේ ප්‍රථම රැස්වීම ආරම්භ වූයේ එම වසරේ අගෝස්තු මස 18 වෙනිදා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කාමරයක් තුළ දීය.
මෙම රැස්වීම ආරම්භ කිරීමට මත්තෙන් ඊට සතියකට පමණ ඉහත දී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ බව කියන කණ්ඩායමක් විසින් තංගල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජිනදාස වීරසිංහ ඝාතනය කර තිබූ අතර, ඔහු සිහිකිරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ රැස්වීම ආරම්භ වී තිබේ.
ඉන්දු ලංකා ගිවිසුම ගැන මෙන්ම එම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු රට පුරා උද්ගතව තිබූ දැඩි නොසන්සුන්කාරී තත්ත්වය ගැන කතාබහ කිරීමට කැඳවා තිබූ ආණ්ඩු පක්ෂයේ මෙම රැස්වීමට මැති ඇමතිවරු එකසිය විසිදෙනක් පමණ සහභාගී වී සිටියහ.
ආණ්ඩු පක්ෂ ලේකම් තනතුරේ වැඩ බැලූ නෝබට් සේනාරත්න අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස ළඟට වී යමක් ප්‍රකාශ කරමින් සිටි අවස්ථාවේ බෝම්බ පිපිරුම් හඬවල් දෙකක් ඇසුණේ - මුළු පාර්ලිමේන්තුවම දෙදුරුම් කවමිනි.
ඒ පිපිරුම් හඬවල් දෙකත් සමග ආණ්ඩු පක්ෂයේ රැස්වීම පැවති කාමරය විශාල දුමාරයකින් වැසී ගියේය.
ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන හා අගමැති ආර්. ප්‍රේමදාස අසල එම බෝම්බ දෙක පතිත වී පෙරළී ගොස් පිපිරී තිබුණේ ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුළත්මුදලි සහ මාතර දිස්ත්‍රික් අමාත්‍ය කීර්ති අබේවික්‍රම යන දෙදෙනා වාඩි වී සිටි පුටු ආසන්නයේ ය.
මෙම බෝම්බ පිපිරීමෙන් කීර්ති අබේවික්‍රම කොළඹ ජාතික රෝහලට රැගෙන යන අතර වාරයේ මියගිය අතර, ආණ්ඩු පක්ෂ ලේකම් තනතුරේ වැඩ බැලූ නෝබට් සේනාරත්න මිය ගියේ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ය.
මෙම බෝම්බ පිපිරීමෙන් ලලිත් ඇතුළත්මුදලි බරපතළ තුවාල ලැබූ අතර, ඊ. එල්. බී. හුරුල්ලේ, මොන්ටේගු ජයක්‍රම යන ඇමතිවරුන් ඇතුළු දාසය දෙනෙක් ද තුවාල ලැබූහ. සමහර මැති ඇමතිවරුන් බෝම්බ පිපිරීමෙන් පසු භ්‍රාන්තියට පත්ව කාමරයෙන් එළියට පැන ගෙන ඇත්තේ රැස්වීම පැවැති කාමරයේ දොර ජනෙල් ද කඩා බිඳ දමමිනි.
කෙසේ වෙතත් බෝම්බ පිපිරීම හේතුවෙන් ජනාධිපතිවරයා හැඳසිටි කමීසය පුරාවට ලේ පැල්ලම් විසිරී තිබුණත් එතුමාට කිසිදු හානියක් සිදු නොවී තිබූ අතර, අගමැතිවරයා ට නම් සුළු තුවාල සිදුවී තිබිණි.
මෙම බෝම්බ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා සිටි ලලිත් ඇතුළත්මුදලි ජීවිතය බේරා ගත්තේ මාස ගණනාවක් රෝහල් ගතව ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුවය.
පාර්ලිමේන්තු බෝම්බ පිපිරවීම සැලවූ වහාම - එවක රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පති ෆ්‍රෑන්ක් සිල්වා, රහස් පොලිසියේ පොලිස් අධිකාරී ටිරල් ගුණතිලක සහ සහකාර පොලිස් අධිකාරී මිල්රෝයි කෲස් යන නිලධාරීන් ඇතුළු විශේෂ රහස් පොලිස් කණ්ඩායම් කිහිපයක් පැමිණ පරීක්ෂණ ආරම්භ කරනු ලැබිණ. රහස් පොලිසියට තිබුණු ලොකුම අභියෝගය වී තිබුණේ බෝම්බ ප්‍රහාරය එල්ල කළේ කවුරුන් දැයි සොයාගැනීමට ය. රැස්වීමට සහභාගී වී සිටි මැති ඇමතිවරුන් බෝම්බ ප්‍රහාරයත් සමග භ්‍රාන්තියෙන් කඩිමුඩියේ පලා ගොස් තිබූ නිසා, බෝම්බ ප්‍රහාරය එල්ල කළ අය ගැන විපරම් කර බැලීමකට යොමුව තිබුණේ නැත. ඒ නිසා පරීක්ෂණ කණ්ඩායම් වලට කිසියම් හෝඩුවාවක් හෝ ඹවුන් වෙතින් ලබාගැනීමට හැකි වූයේ නැත. නමුත් බෝම්බ විශේෂඥයින් විසින් කරන ලද විමර්ශනවලදී හෙළි වූයේ එල්ල කර ඇත්තේ අත්බෝම්බ දෙකක් බවය.
පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් රහස් පොලීසිය චෝදනා එල්ල කර තිබුණේ එවකට ක්‍රියාත්මක වූ “දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය” වෙතය. අත් බෝම්බ දෙක දා ගෙන පැමිණ ඇත්තේ පාර්ලිමේන්තුවට අයත් ලිපිගොනුවකින් ඉරාගත් කොළයකින් වන අතර, එම කොළ කැබැල්ල ද විමර්ශකයන් විසින් සොයා ගනු ලැබීය. එම කොළ කැබැල්ල පොඩිවී ගොස් තිබුණේ, බෝම්බ දෙක ඔතාගෙන පැමිණි නිසා බවට පරීක්ෂණ කණ්ඩායම්වල නිගමනය විය.
මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කළ අය ගැන කිසියම් හෝ හෝඩුවාවක් ලබා ගැනීමට රහස් පොලිස් කණ්ඩායම් පාර්ලිමේන්තු සංකීර්ණයේ සති ගණනක් රැඳී සිටිමින්, විවිධ පැතිකඩ ඔස්සේ විමර්ශන පවත්වනු ලැබූහ.
එහෙත් කිසිදු හෝඩුවාවක් හොයා ගැනීමට නොහැකි විය. ගම්පහ මූලස්ථාන පොලිසියේ එවක ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණි ද සිල්වා ය. දිනක් හඳුනන අයෙක් ඔහු හමුවීමට පැමිණියේ යක්කල නගරයේ දී තමා අහුලා ගත් සැක කටයුතු වර්ගයේ ලිපියක් භාර දීමට ය. රතුතීන්ත පෑනකින් ලියා තිබූ එම ලිපිය පොලිස් පරීක්ෂකවරයා ඉතා ඕනෑකමින් කියවා බැලුවේ ය.
“ඔයා මට මෙහෙම කළේ ඇයි? මේ ප්‍රේම සම්බන්ධය නතර කළේ ඔයා මාව අතහැර දැම්ම නිසා. මම අජිත් අයිය ලා වැලිවේරියේ දී පවත්වපු පන්තිය ගැන කියනවා.”
තරුණියක විසින් මම හසුන ලියා තිබුණේ ඇය පෙම් කළ තරුණයාට ය.
ලිපිය අවසානයේ ඇයගේ නම ද සඳහන් කර තිබුණා ය.
රතුතීන්ත පෑනකින් මෙම ලිපිය ලියා තිබූ නිසා පොලිස් පරීක්ෂකවරයා ඒ ගැන විශේෂ අවධානයක් යොමු කර, එවක සිය පොලිසියේ රාජකාරි කළ පොලිස් පරීක්ෂක ලන්ත්‍රාට - අදාළ තරුණිය සොයා කඩිනමින් තමා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නැයි පවරා තිබේ.
පොලිස් පරීක්ෂක ලන්ත්‍රා (පසුව සහකාර පොලිස් අධිකාරි නිලයට උසස් වීම් ලැබීය.) ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් රතු තීන්ත පෑනකින් යථෝක්ත ලිපිය ලියා තිබූ තරුණිය සොයා සිය ප්‍රධානියා හමුවට ඉදිරිපත් කරනු ලැබූහ. එම තරුණිය සමග ඇයගේ මව ද පොලිසියට පැමිණ සිටියා ය.
රතුපස්වල පැවති ජනතා විමුක්ති පෙරමුණේ පන්තියකට සහභාගී වීමට මෙම තරුණිය ගොස් ඇති අතර, ඇය හොඳින් දන්නා හඳුනන තරුණයින් පස් දෙනෙකු ද එම පන්තියට සහභාගී වී ඇත. ඉන් එක් අයෙකු සමග ඇය පෙම් සබඳතාවක් පවත්වා ගෙන ගොස් ඇති අතර, පසුව ඔහු ඇයව අතහැර දමා තිබේ. රතු පෑනකින් පෙම්වතාට ලිපිය ලියා ඇත්තේ තර්ජනය කිරීමකට වන අතර, පොලිස් ප්‍රශ්න කිරීම් වල දී එම තොරතුරු ඈ හෙළි කරනු ලැබුවා ය.
අදාළ ලිපිය තරුණයාට තැපැල් කිරීමට යන අතර වාරයේ, ඇය අතින් එය ගිලිහී බිම වැටී අස්ථානගතව ඇත. තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු තරුණිය සැකපිට අත්අඩංගුවට ගෙන, පසුව රතුපස්වල පැවති දේශපාලන පන්තියට සහභාගි වූ යේ යැයි කී තරුණයෙන් සිව් දෙනෙක් ද අත්අඩංගුවට ගත්හ. ඒ පිරිසෙහි තරුණියගේ පෙම්වතා ද විය.
අජිත් නම් වූ අනෙක් තැනැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඔහුගේ නිවස වටනු ලැබුවත්, හෙතෙම ඒ වෙන විටත් සිය බිරිඳ සහ දරුවා ද සමග ප්‍රදේශය අතහැර පලා ගොස් තිබුණි. පසුව කරන ලද සොයා බැලීම්වලදී පොලිසියට දැන ගැනීමට හැකි වූයේ උපාධිධාරියකු වන ඔහු පාර්ලිමේන්තු සේවකයකු බව ය.
පාර්ලිමේන්තු බෝම්බ සිද්ධිය පසුපස අතුරුදන්ව සිටින මෙම තැනැත්තාගේ කිසියම් සබඳතාවක් ඇති බව පැහැදිලිවම පෙනී ගිය නිසා ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී ද සිල්වා ඔහු හෙළි කරගත් මේ තොරතුරු හා අත්අඩංගුවට ගැනීම් ගැන සිය උසස් පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇත.
පාර්ලිමේන්තු බෝම්බ පිපිරීමේ සිද්ධියට අදාල වැදගත් තොරතුරු ගනනාවක් පොලිසිය විසින් හෙළි කරගෙන ඇති බව එවක අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහට ද දැන ගැනීමට ලැබී තිබේ. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට දුරකථනයෙන් කරන ලද දැනුම් දීමක් මත ඔහු අධ්‍යාපන අමාත්‍යවරයා හමුවීමට ගොස් තිබේ. පසුව ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණි ද සිල්වා ව ජනාධිපති ජේ. ජයවර්ධන හමුවට කැඳවා ගෙන ගොස් ඇත.
එම හමුවේ දී, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා - තමා හා තම කණ්ඩායම හෙළි කරගත් කරුණු හා අත්අඩංගුවට ගැනීම් පිළිබඳ තොරතුරු ජනාධිපතිවරයාට සැලකර සිටි අතර, පාර්ලිමේන්තු බෝම්බ පිපිරවීම සම්බන්ධව පරීක්ෂණ පවත්වන රහස් පොලිස් කණ්ඩායමට ගාමිණි ද සිල්වා ද ඇතුළත් කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි එවක ආරක්ෂක ලේකම් සේපාල ආටිගල වෙත ජනාධිපතිවරයා ඒ මොහොතේම නියෝග කර තිබේ.
රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බෙනට් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් යුතු පොලිස් කණ්ඩායමක් ගම්පහ මූලස්ථාන පොලිසියට පැමිණ සැකපිට අත්අඩංගුවට ගෙන සිටි තරුණිය සහ තරුණයින් සිව් දෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා රහස් පොලිස් මූලස්ථානයට රැගෙන යනු ලැබූහ.
පාර්ලිමේන්තු බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන උපාධිධාරී පාර්ලිමේන්තු සේවකයා ද - බෝම්බ පිපිරීම සිදුවූ දිනයේ රහස් පොලිසිය ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු මුදා හැර තිබුණු අයෙකි. ඒ 1988 වසරේ අප්‍රේල් මාසයේ දිනකි.
මාතලේ නාඋල පොලිසියේ නිලධාරී කණ්ඩායමක් ප්‍රදේශයේ රහසිගතව පවත්වා ගෙන ගිය කසිප්පු තිප්පොළක් වැටලීමට යමින් සිටි අවස්ථාවේ සැක කටයුතු පුද්ගලයින් සිව් දෙනකු අත් අඩංගුවට ගනු ලැබුවේ 1988 වසරේ අප්‍රේල් මාසයේ දිනක ය. ඒ අතරේ පාර්ලිමේන්තු බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි උපාධිධාරී පාර්ලිමේන්තු සේවකයා වූ අජිත් සහ ගුණවර්ධන නමැත්තෙක් ද විය. එම පුද්ගලයා ද පාර්ලිමේන්තු බෝම්බ සිද්ධියට අවශ්‍යව සිටි අයෙකි. නාඋල පොලිසියේ නිලධාරී කණ්ඩායම විසින් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද මෙම පාර්ලිමේන්තු සේවකයා සහ අනිත් පුද්ගලයා වැඩිදුර පරීක්ෂණ සඳහා භාර දුන්නේ රහස් පොලීසිය වෙතය.
පාර්ලිමේන්තු බෝම්බ පිපිරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේ දී - 1990 වසරේ ඔක්තෝබර් මස 12 වැනිදා කොළඹ මහාධිකරණය ලබා දුන් තීන්දුව අනුව මොවුන් දෙදෙනාම නිදහස් කරනු ලැබ ඇත්තේ, ප්‍රමාණවත් සාක්කි නොමැති බව කියමිනි. මෙම තීන්දුවට එරෙහිව එවක නීතිපතිවරයා විසින් අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබූ අතර, එයින් ද මොවුන් දෙදෙනා නිදහස් වී ඇත.
පාර්ලිමේන්තු බෝම්බ පිපිරවීමේ සිද්ධියේ සුල මුල අනාවරණය කර ගැනීමට මග පාදා දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී ද සිල්වා පසුව අනුක්‍රමයෙන් උසස්වීම් ලබා - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලයෙන් විශ්‍රාම යන අවස්ථාවේ උතුරු පළාත භාරව රාජකාරි කරමින් සිටියේය. පසුකාලීනව ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් සිටි හෙතෙම - අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඉකුත් වසරේ දිවියෙන් සමු ගත්තේය.
/