මේ තරම් ලස්ස්නද ටෙස්ට් ක්‍රිකට්


ඉන්දියාව සහ එංගලන්තය අති විශිෂ්ට ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් නිමා කළහ. ක්‍රිකට් ක්‍රීඩාව ගැන උනන්දුවක් ඇති ඕනෑම අයෙකු මේ තරගාවලිය කෙසේ හෝ නරඹන්නට ඇත. එය නැරඹුවා කියා පාඩුවක් නැති අපූරු තරගාවලියකි. ත්‍රාසය, භීතිය, කුතුහලය රැගත් චිත්‍රපටයක් මෙන් අපූරු තරගාවලියක් වූ මේ තරගාවලියේ අවසන් තරගයේ අවසන් දිනය සමස්ත තරගාවලියම එක මිටට ගෙනාවා යැයි කියන්නට හැකි ආකාරයේ එකක් විය. ටෙස්ට් ක්‍රිකට් මැරෙන්නේ යැයි අතීතයේ කියූ බොහෝ දෙනාට විස්සයි 20 ක්‍රිකට් මොන කජ්ජක්දැයි අසන්නට තරම් මේ තරගාවලිය උද්වේගකර විය. අවසානයේ 2-2 ක් ලෙස තරගාවලිය නිමා වූයේ තරගාවලියේ සැබෑ ජයග්‍රාහකයා ටෙස්ට් ක්‍රිකට් බවට පත් කරමිනි. 

තරගාවලියට දින සකස්වෙද්දීම එංගලන්තයේ ක්‍රිකට් තරග වාරය ආරම්භයේ ඇති දින මග හරින්නට ඉන්දියාව කටයුතු කළේය. එය ක්‍රිකට් ක්‍රීඩාවේ ලෝක බලවතා වන ඉන්දියාවට සුළු දෙයකි. මේ නිසා හොඳ අව්වක් ඇති තණතිලි සම්පූර්ණයෙන්ම කොළ පැහැති නැති ජූනි අග සහ ජූලි මාසයේ තරගාවලිය පැවැත්වුණි. එහෙත් අමතක නොකළ යුත්තේ මේ නිසා තණතිලිවල වාසිය පනහට පනහ වූ බවයි. එසේ නොමැතිව ඉන්දියාවට විශේෂ වාසියක් මෙයින් ලැබුණේ නැත. එහි දී සිදු වූයේ එංගලන්තයට ලැබෙන වාසිය යම් ප්‍රමාණයකට අඩු වීමයි. 

තරගාවලිය පුරාම තිබුණේ එංගලන්තයේ “බෝල් බෑස්” ජය ගනී ද ඉන්දියාවේ අලුත් පරපුර ජයගනී ද යන ප්‍රශ්නයයි. මෙවර ඉන්දීය කණ්ඩායමේ වයස්ගතම ක්‍රීඩකයා වූයේ 36 හැවිරිදි රවීන්ද්‍ර ජඩේජා ය. ජ්‍යෙෂ්ඨයන් අතර දෙවැනියා 33 හැවිරිදි කේ.එල්. රාහුල් ය. බුම්රා සහ සිරාජ් 31 හැවිරිදි ය. මේ හැර අනෙක් සියලු දෙනා 30 ට අඩුය. මේ නිසා මේ තරුණ ඉන්දීය කණ්ඩායමක් ලෙස හැඳින් වූවාට වරදක් නැත. ඔවුහු තරුණ නායක ශුබ්මන් ගිල් යටතේ උපරිමයෙන් තරග වැදුණහ. එංගලන්තය තමන් මෙතෙක් බිහි කළ ‘’මැරුණත් සටහන අත් නොහරින’ බෙන් ස්ටොක් යටතේ තරග කළේය. ස්ටොක් අධිකව වෙහෙස වීම නිසා පස්වැනි ටෙස්ට් තරගයෙන් ඉවත්වීම එම තරගයේ එංගලන්තයේ පරාජයට හේතු වූ බව බැලූ බැල්මට පෙනෙයි. 

මේ තරගාවලිය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ගෙනාවේ තරගකාරීත්වයේ අපූර්වත්වයයි. බොහෝ දෙනා මේ තරගාවලියේ දී ජස්ප්‍රීට් බුම්රා ගැන අවධානයෙන් සිටිය ද ඉන්දියාව ජයගත් තරග දෙකේම බුම්රා ක්‍රීඩා කළේ නැත. දෙවැනි තරගයේ දී ආකාෂ් දීප් ඉදිරියට ආ අතර පස්වැනි තරගයේ දී මොහොමඩ් සිරාජ් තමන්ගේ උපරිමයටත් මඳක් වැඩියෙන් දී කණ්ඩායම ජයග්‍රහණය කරාගෙන ගියේය. තරගාවලිය පුරාම සිරාජ් වෙහෙස නැති අශ්වයෙකු මෙන් එකම කැපවීමකින් ක්‍රීඩා කළේය. සිව්වැනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය එංගලන්තයට පෙනි පෙනී තිබිය දී වොෂින්ටන් සුන්දාර් සහ රවි ජඩේජා එක්ව එම ජයග්‍රහණය නැති කර දැමුවේ ශතක දෙකක් රැස් කරමිනි. පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 373 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය එංගලන්තය කඩුලු 5 කින් ජයගත්ත ද පස්වැනි ටෙස්ට් තරගයේ දී ලකුණු 374 ක් හඹා ගිය ඔවුන් ලකුණු 6 කින් පරාජය වූහ. දෙවැනි ටෙස්ට් තරගයේ දී ඉන්දියාවට ජයගෙන එමින් ශුබ්මන් ගිල් පළමු ඉනිමේ ද්විත්ව ශතකයක් ද දෙවැනි ඉනිමේ ශතකයක් ද සමගින් ලකුණු 430 ක් රැස් කළේය. ඔහු නතර වූයේ ඉන්දීය ක්‍රීඩකයෙකු තරගාවලියක දී ලැබූ වැඩිම ලකුණු ගණන වන සුනිල් ගවස්කාර් කොදෙව් කණ්ඩායමට එරෙහිව 1971 දී ලැබූ ලකුණු 774 ලකුණු ප්‍රමාණයට ලකුණු 20 ක් පසුපසිනි. එංගලන්ත තරගාවලියෙන් පසුව ගවස්කාර් කීවේ තමන්ගේ වාර්තාවට වඩා ගිල්ගේ ලකුණු 754 සුවිශේෂ වන බවයි. 

තමන්ට ගැළපෙන තණතිලි හදාගෙන එම තණතිලිවලට ගැළපෙන පන්දු යවන්නන් යොදාගෙන තරග ජයග්‍රහණය කරන්නට බොහෝ රටවල් උත්සාහ කිරීම නිසා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව විනෝදයකින් තොර එකක් බව බොහෝ දෙනා කියූ කතා පුස්සක් කරමින් ඉන්දියාවත් එංගලන්තයත් අපූරු තරගාවලියක් ක්‍රිකට් ලෝකයට දුන්නේය. එහි කූඨප්‍රාප්තිය ඕවල්පිටියේ පස්වැනි ටෙස්ට් තරගයේ අවසන් භාගයයි. ලකුණු 195 ක සම්බන්ධතාවක් බිඳ දමා අවසන් කඩුලු 7 ලකුණු 66 කට බිඳ දමමින් එංගලන්තයේ දී ටෙස්ට් තරගයක් දිනා ගැනීමට ඉන්දියාව සමත් වෙන්නේ සටන අත් නොහැරීමේ බෙන් ස්ටෝක් ක්‍රමය සිරාජ්, ක්‍රිෂ්ණා සහ ආකාෂ් දීප් ආරෝපණය කර ගැනීමෙන් පසුවය.

මේ තරගාවලිය පුරා කේ.එල්. රාහුල් ආරම්භක පිතිකරුවෙකු ලෙස එංගලන්තයේ දී ක්‍රීඩා කළ යුත්තේ කෙසේ දැයි ලෝකයේ අනෙක් ආරම්භක පිතිකරුවන්ට පෙන්වා දුන්නේය. රවීන්ද්‍ර ජඩේජා අත්දැකීම් බහුල මැද පෙළ පිතිකරුවෙකු තීරණාත්මක අවස්ථාවල දී ක්‍රීඩා කළ යුත්තේ කෙසේදැයි පෙන්වා දුන්නේය. මේ දෙදෙනාම තරගාවලියේ ලකුණු 500 සීමාව ඉක්මවා යෑමට සමත් වූහ. අනෙක් අතින් එංගලන්තය ද තමන්ගේ සංචාරකයන්ට නොදෙවෙනි අයුරින් ක්‍රීඩා කළහ. ඔවුන් අත්දැකීම් බහුල කණ්ඩායමක් විය. පෙර කී ලෙසම පළමු තරග හතරේ දී බෙන් ස්ටොක් තමන්ගේ උපරිමය දුන්නේය. පිතිකරුවෙකු ලෙස පළමු තරග තුනේ දී  අසාර්ථක වුවද නායකයෙකු, පන්දු යවන්නෙකු සහ පන්දු රකින්නෙකු ලෙස ඔහු උපරිමය දුන්නේය. තෙවැනි තරගයේ දී ඔහුට පන්දු යවන්නට එපා යැයි පණිවුඩ යැවීමට කණ්ඩායමේ පුහුණුකරුට සිදුවිය. එහෙත් ජයග්‍රහණය ලැබෙන තුරු ඔහු සටන අත් හැරියේ නැත. ජෝ රූට් ශතක තුනක් සමග ලකුණු 537 ක් තරගාවලිය පුරා රැස් කළේය. හැරී බෲක් තරග වෙනස් කළ හැකි ඉනිම් කිහිපයක් ක්‍රීඩා කළේය. පස් වැනි තරගයේ දෙවැනි ඉණිමේ බෲක් දැවී යන විට ඉන්දියාව සිටියේ තරගය සම්පූර්ණයෙන්ම අත්හැර දමාය. බෲක්ගේ දැවීයාමත් සමග සියල්ල වෙනස් විය. 

සමස්ත තරගාවලිය දෙස බලන විට මෙය පිතිකරුවන්ගේ තරගාවලියක් ලෙස දැක්විය හැකිය. තරග 5 නිමා වෙද්දී පන්දු යවන්නෝ පන්දු ඕවර 1860 ක් යවා තිබුණි. එය වර්තමාන ටෙස්ට් ක්‍රිකට් අනුව ඉතා ඉහළ පන්දු ඕවර ප්‍රමාණයකි. මෙයින් පන්දු ඕවර 1052 ක් යවා තිබුණේ එංගලන්ත පන්දු යවන්නන්ය. එයින් පෙනෙන්නේ කොතරම් හොඳින් ඉන්දීය පිතිකරුවන් ක්‍රීඩා කර තිබුණේ ද යන්නයි. එංගලන්තය මුහුණ දී තිබුණේ අඩු පන්දු ඕවර ප්‍රමාණයකට වුවත් ඔවුන්ගේ ලකුණු රැස් කිරීමේ වේගය ඉහළ අගයක තිබුණි. එංගලන්තය තමන්ගේ හඳුනාගැනීමේ ලක්ෂණය වන “බෝල් බෑස්” ක්‍රමය අත් නොහරින්නට වග බලා ගත්හ. ඔවුන් යම් පසුබෑමක් පෙන්වූයේ ලෝඩ්ස් හි පැවති තෙවැනි තරගයේ දී පමණි. ඒ හැරෙන්නට ඔවුහු වේගයෙන් ලකුණු රැස් කිරීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන ගියහ. එහෙත් තරගාවලිය පුරා උඩ පන්දු 41 ක් අත් හරිමින් කණ්ඩායම් දෙකම තමන්ගේ පන්දු යවන්නන්ට පීඩනයක් දුන්නේය. මේ තරගාවලියේ එකම දුර්වලතාව එයයි.  

තරගාවලිය පුරාම දැඩි ආන්දෝලනාත්මක සිදුවීම් වාර්තා විය. ශ්‍රී ලංකාවේ විනිසුරු කුමාර් ධර්මසේන එංගලන්තයට රිවීව් අවස්ථාවක් ඉතිරි කර ගැනීමට පස්වැනි ටෙස්ට් තරගයේ දී උදව් වූයේය යැයි ද චෝදනාවක් විය. එහෙත් එවැනිම උදව්වක් ඊට පසු දිනයේ දී ඉන්දියාවට වෙද්දී චෝදනා බොරු විය. 5 වැනි ටෙස්ට් තරගයට පෙර ඉන්දීය පුහුණුකරු  ගෞතම් ගම්භීර් ඕවල් පිටියේ පිටිය සකසන්නා සමග ආරෝවක් ඇති කරගත්තේය. මෙය බොහෝ සෙයින් ගම්භීර්ට බලපාන කරුණක් වන්නට තිබුණේ පස්වැනි තරගය ඉන්දියාව පරාජය වූවා නම්ය. එහෙත් ගම්භීර් එයින් බේරුණේය. සිව්වැනි තරගයේ දී පාදයේ අස්ථියක් බිඳී තිබිය දී රිෂාබ් පාන්ට් කණ්ඩායම වෙනුවෙන් පිටියට පිවිසීම බොහෝ දෙනාගේ කතාබහට ලක්විය. පස්වැනි තරගයේ දී එංගලන්ත කණ්ඩායම පරාජයෙන් බේරා ගැනීමට ක්‍රිස් වෝක්ස් උරහිසේ ආබාධයක් සහිතව පිටියට පිවිසියේ තනි අතින් පන්දුවට පරහ දීමට සූදානමනි. එකම පන්දුවකට හෝ මුහුණ නොදුන්න ද ගස් ඇට්කින්සන් සමග අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 10 ක සම්බන්ධතාවක් පැවැත්වීමට වෝක්ස් සමත් වූයේ ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි බොහෝ දෙනාගේ පැසසුමට පාත්‍ර වෙමිනි. 

තමන්ට ගැළපෙන තණතිලි හදාගෙන එම තණතිලිවලට ගැළපෙන පන්දු යවන්නන් යොදාගෙන තරග ජයග්‍රහණය කරන්නට බොහෝ රටවල් උත්සාහ කිරීම නිසා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව විනෝදයකින් තොර එකක් බව බොහෝ දෙනා කියූ කතා පුස්සක් කරමින් ඉන්දියාවත් එංගලන්තයත් අපූරු තරගාවලියක් ක්‍රිකට් ලෝකයට දුන්නේය. එහි කූඨප්‍රාප්තිය ඕවල්පිටියේ පස්වැනි ටෙස්ට් තරගයේ අවසන් භාගයයි. ලකුණු 195 ක සම්බන්ධතාවක් බිඳ දමා අවසන් කඩුලු 7 ලකුණු 66 කට බිඳ දමමින් එංගලන්තයේ දී ටෙස්ට් තරගයක් දිනාගැනීමට ඉන්දියාව සමත් වෙන්නේ සටන අත් නොහැරීමේ බෙන් ස්ටෝක් ක්‍රමය සිරාජ්, ක්‍රිෂ්ණා සහ ආකාෂ් දීප් ආරෝපණය කර ගැනීමෙන් පසුවය. එම අවසන් ඕවර 22 ක කාලයකින් අපි දුටු සුවිශේෂ ටෙස්ට් ක්‍රිකට් කාල පරිච්ඡේදයකි. එය නිමා වූයේ ක්‍රිකට් ක්‍රීඩාවේ උපරිම රසය ටෙස්ට් ක්‍රිකට් බව යළිත් මතක් කරමිනි. 

- කාංචන දසනායක