මුම්බායි මලබාර් කන්දේ එල්ලෙන උද්‍යානය


ලෝකයේ පුදුම හතෙන් එකක් ලෙස බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය සුප්‍රසිද්ධය. එමෙන්ම බොම්බාය නොහොත් මුම්බායි හිද එල්ලෙන උද්‍යානයක් ඇතැයි කිවහොත් ඔබ තරමක් විමතියට පත්වනු ඇත.

මුම්බායි හි කොටුවට (fort) ගිය විට (ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරාල් කාර්යාලය පිහිටා ඇත්තේද මුම්බායි කොටුවේය.) එය ඉපැරණි ගොඩනැගිලිවලින් යුතු ප්‍රදේශයක් ලෙස ඔබේ නෙත් සිත් පැහැරගනු ඇත.

1769 දී ඉදිකරන ලද ජෝර්ජ් බලකොටුව වර්තමාන මුම්බායි කොටුවේම කොටසකි. මුම්බායි ගුවන් තොටුපොළේ සිට කොටුවට යාම සඳහා A/C බස් රථයට රුපියල් 125ක් පමණ වැය වේ.

බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම විසින් 1769 දී ඉදිකරන ලද ජෝර්ජ් බළකොටුවද මුම්බායි බළකොටුවේම කොටසකි.

මුම්බායි කොටුවට ගිය විට ඔබට ඉපැරණි ඉන්දියා ගේට්වේ දැකගත හැකිය. එය 1924 දී නිම කරන ලද්දකි. ඒ අසලින්ම සුප්‍රසිද්ධ ටාජ් මහල් පැලස් හෝටලය දිස්වෙයි. ත්‍රස්ත ප්‍රහාරයක් නිසා පසුගිය කාලයේ පැරණි ටාජ් මහල් පැලස් හෝටලය වඩාත් ප්‍රසිද්ධියට පත්විය.

ඒ සමඟ දිවයන්නේ මරීන් ඩ්‍රයිව් නොහොත් සමුද්‍ර මාර්ගයයි. ශ්‍රී ලංකාවේ කොළඹ මරින් ඩ්‍රයිව් ඉන්දීය සාගරයට සමාන්තරව කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා දිවයයි.

එහෙත් බොම්බායේ මරීන් ඩ්‍රයිව් අරාබි මුහුදට සමාන්තරව දිවයයි. 

අපූරු සපත්තු ගොඩනැගිල්ල

මුම්බායි සමුද්‍ර මාර්ගයට ඔස්සේ ගිය විට ඔබට එල්ලෙන උද්‍යානය කරා ළඟා විය හැකිය.

මුම්බායි මරීන් ඩ්‍රයිව් කිලෝමීටර තුනහමාරක් පමණ දුරක් ඉංග්‍රීසි ‘සී’ අකුරේ හැඩයට දිවයන්නකි.

රාත්‍රී කාලයේ විදුලි එළිය වැටුණු විට එය මැණික් වලින් බැබළෙන මාලයක් සේ දිස්වෙයි. එනිසා එය හැඳින්වෙන්නේ රැජිනගේ මාලය ලෙසය.

මුම්බායි සමුද්‍ර මාර්ගය දිගේ තරමක් දුර වාහනයකින් යන විට එල්ලෙන උද්‍යානයට ළඟා විය හැකිය. හැන්ගින් ගාර්ඩ්න් ලෙස එය බොහෝ ප්‍රසිද්ධ නිසා සොයා ගැනීම අපහසු නැත.

මල්බර තුරුලිය හාත්පස දිස්වන උයන ඇත්තෙන්ම සුන්දරය. මුම්බායි වැනි අතිශය ජනාකීර්ණ නගරයක සිට සමුද්‍රාසන්න මාවත දිගේ පැමිණ කන්ද නැග එල්ලෙන උද්‍යානයට ඇතුළු වූ විට දැනෙන්නේ සුවයකි.

එල්ලෙන උද්‍යානය ලෙස අපූරු නමක් ලැබුණු එම උද්‍යානය නැරඹීමේදී අප තුළ කුතුහලය එයට ඇතුළු වූ විටවත් ඉවත්ව යන්නේ නැත. අපට එක්වරම හිතේ මැවෙන්නේ දම්වැල් හතරකින් හතර පැත්තේ එල්ලා ඇති බිම්කඩකි. එහෙත් එය එසේ නොවේ.

නම කෙසේ වුවද බොහෝ තරුණ තරුණියෝ, ළමා ළපටි උද්‍යානයේ මහත් සතුටින් කල්ගත කරමින් සිටියහ.

අප වාහනයෙන් බැස මඳ දුරක් ඇවිද ආවේ මලබාර් කන්ද මුදුනටය. උයන පිහිටා ඇත්තේ මලබාර් කන්ද මුදුනේය.

එහි තුරුලිය වවා තිබුණේ පේළි පේළි පරිදිය. එය හරියටම පඩිපෙළක් මෙනි. මෙහි ගස් සිටුවා ඇත්තේ ටෙරසයක් මෙනි. එනිසා එය ටෙරස් ගාර්ඩ්න් ලෙස හැඳින්වෙයි. පඩිපෙළක් මෙන් තට්ටුවෙන් තට්ටුවට තුරුලිය වවා ඇති නිසා එල්ලෙන උද්‍යානය යන නම ලැබී ඇතැයි කියැවේ. එල්ලෙන උද්‍යානය නමින් ප්‍රචලිත වුවද මෙහි නිල නාමය වන්නේ පෙරොස් ෂා මෙහෙතා උද්‍යානයයි. මුම්බායි හි සුප්‍රසිද්ධ දේශපාලකයකු හා නීතිඥවරයකු වන ශ්‍රීමත් පෙරොස් ෂා හතර වරක් මුම්බායි නගර සභාවේ කොමසාරිස්වරයා ලෙස තේරී පත්ව ඇත. ඔහු හැඳින්වෙන්නේ බොම්බායේ සිංහයා යනුවෙනි. මුම්බායි නාගරික සංවර්ධනයට ඉමහත් සේවයක් කළ පෙරොස් ෂා ට ගෞරවයක් ලෙස උද්‍යානය පෙරොස් ෂා මෙහෙතා උයන ලෙස 1915 දී නම් කළ බව කියැවේ. එමෙන්ම ඔහු ඉන්දීය කොන්ග්‍රසයේ ආරම්භක සාමාජිකයෙක් විය.

පර්සියන් සම්භවයක් ඇති ඉන්දියානුවකු වූ ඔහු නීතිඥයකු ලෙස කළ සේවය නිසා නයිට් නාමයකින්ද පිදුම් ලැබීය. ඔහු 1915 දී මියගිය පසු මේ නම උද්‍යානයට තබන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මෙම උද්‍යානයේ ඇති විශේෂත්වය වන්නේ ගහකොළ විවිධ සතුන්ගේ හැඩයට සකස් කර තිබීමයි. උද්‍යාන අලංකරණය ඉතාමත් ඉහළ මට්ටමක පවතී. අක්කර 3.5ක් පුරා පැතිර ඇති එල්ලෙන උද්‍යානයේ තවත් විශේෂත්වයක් වන්නේ එහි ඉහළ සිට අරාබි මුහුදෙන් ඉර බැස යන අයුරුත්, අඳුර වැටුණු පසු මරින් ඩ්‍රයිව් නොහොත් රැජිනගේ මාලය ද මලබාර් කඳු මුදුනේ සිට දැකගත හැකි වීමයි.

මලබාර් ජනතාව වාසය කරන්නේ කේරළයේ කැලිකට් නොහොත් කෝෂිකෝව් මුහුදු තීරයේය. ඔවුහු මුහුදු වෙළෙන්දන් ලෙසද වරෙක මුහුදු ප්‍රහාරකයන් ලෙසද කටයුතු කර ඇත.

රැජිනගේ මාලය

මෙම කඳු ගැටයට එම නම ලැබී ඇත්තේද මලබාර් ජනතාව මෙහි පැමිණීම නිසා බව කියැවෙයි.

මෙම උද්‍යානය ඉදිකිරීමට මූලික හේතුව වී ඇත්තේ මුම්බායි නගරයේ බටහිර පෙදෙසේ ජනතාවට පානීය ජලය සපයන විශාල ජල තටාකයක් කඳු මුදුනේ තිබීමයි. ජලය අපිරිසිදු වීම වළක්වා ගැනීම සඳහා මලබාර් කඳු මුදුනේ ගස්වැල් සිටුවා, එම ජල තටාකය රැකගත් බව කියැවේ. දැනුදු උද්‍යානයට යටින් එම ජල තටාකය ඇති අතර තවමත් බොම්බායේ බටහිර පෙදෙසට පානීය ජලය සැපයෙන බව කියැවෙයි.

එල්ලෙන උද්‍යානයට මායිම්ව තවත් උද්‍යානයක් වෙයි. එය කමලා නේරු උද්‍යානයයි. කමලා නේරු උද්‍යානය හා එල්ලෙන උද්‍යානය එකම උද්‍යානය නොවුණද එය එකිනෙකට යාබදව පිහිටා ඇති නිසා බොහෝ පිරිස් මේ උද්‍යාන දෙකම එක්වර නැරඹීමට යති. මේ උද්‍යාන දෙකම පිහිටා ඇත්තේ මලබාර් කන්ද මුදුනේය. කමලා නේරු උද්‍යානයේ ප්‍රමාණය අක්කර හතරකි.

මෙහි සිටද රැජිනගේ මාලය නොහොත් මුම්බායි මරින් ඩ්‍රයිව් නැරඹිය හැකිය.

එසේම සපත්තුවක හැඩය ගත් ගොඩනැගිල්ලද බොහෝ නරඹන්නන්ගේ සිත් ඇදගත්තකි. සපත්තුවක ජීවත් වූ මහලු කත නමැති බිලිඳු ගීතය ඇසුරෙන් නිර්මාණය වූ මේ අපූරු සපත්තු ගොඩනැගිල්ලේ බොහෝ ළමා පිරිස් කෙළිදෙලෙන් පසුවෙති. මලබාර් කන්ද පොහොසතුන්ගේ මන්දිර පිහිටා ඇති ප්‍රදේශයකි. ඊට හේතුව එහි සිට පහළ බැලූවිට දැකිය හැකි දර්ශනයත් එම වටපිටාවේ ඇති නිස්කලංක ස්වභාවයත්ය.

සුප්‍රසිද්ධ බොලිවුඩ් චිත්‍රපට නළු නිළියන්ට අධ්‍යක්ෂවරුන්ට අයත් සුඛෝපභෝගී නිවාස පිහිටා ඇත. අභිෂේක් භච්චන් හා අයිෂ්වර්යා රායිට අයත් විශාල මන්දිරය මලබාර් කඳු ප්‍රදේශයේ පිහිටා ඇති බව අන්තර්ජාල තොරතුරුවල දැක්වෙයි. මලබාර් ප්‍රදේශය ධනවතුන්ගේ පාරාදීසයකි.

මෙයට කමලා නේරු උද්‍යානය ලෙස නම් ලබා ඇත්තේ ඉන්දියාවට නිදහස ලබා දීමට ඇප කැප වූ කමලා නේරු නොහොත් ඉන්දියාවේ ප්‍රථම අගමැති ජවහර්ලාල් නේරුගේ බිරිඳට කෙරෙන ගෞරවයක් වශයෙනි. 

මලබාර් කන්දේ එල්ලෙන උද්‍යානයේ හා කමලා නේරු උයනේ සිට අරාබි මුහුදෙන් ඉර බැස යන අයුරු දැක ගැනීමට බොහෝ දෙනා රැස්වෙති.

රොඩ්නි විදානපතිරණ

සතුන්ගේ හැඩයට නිමකළ තුරුලතා

උයන් දොරටුව