මහා විද්‍යාඥ අයින්ස්ටයින් සියවසරකට පෙර කොළඹට ආ ගමන


ඉතිහාසයෙන් සැඟවුණු කතා 

ලෝක ප්‍රකට මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් තමන්ගේ සිතුම්-පැතුම්, ගමන්-බිමන් හා කියුම් කෙරුම් සටහන් කර තබා ගැනීම සඳහා අත් පොතක් පරිහරණය කිරීම සිරිතක් කර ගත්තේය. එවන් තොරතුරු සංක්ෂිප්තව සටහන් කර, ඉඩ ලැබෙන පරිදි වරින් වර ඒවා කියවා බලා, ඔහු මතකය අවුස්සා ගනිමින් තෘප්තියක් ලැබූ බව මෙම මහා ප්‍රාඥයා විසින් කිහිපවරක්ම පවසා ඇතැයි වාර්තා වේ. 

මෙම අත් පොතෙහි ඔහුගේ අත් අකුරින්ම සටහන් කරන ලද එක්තරා සිත් ඇදගන්නා සුලු සිද්ධියක් අනුව. මෙම විශිෂ්ට දාර්ශනිකයා අදින් හරියටම වසර සියයකට පෙර - එනම්, 1922 ඔක්තෝබර් මස 28 වැනි දින - ස්වකීය දෙවැනි භාර්යාව වූ එල්සා ලොවෙන්කාල් ද සමග අපේ කොළොම්පුරයට සේන්දු වී ඇත. ජපන් පොත් ප්‍රකාශකයෙකුගේ ආරාධනාවක් අනුව, අයින්ස්ටයින් යුවල කිටානෝ මාරු නමැති ධූම නෞකාවෙන් ජපානය බලා යාමට. 1922 ඔක්තෝබර් 8 වන දා ප්‍රංශයේ මාර් සෙල්ස් වරායෙන් පිටත් වූහ. සූවස් ඇළ හරහා ගමන් ගත් මෙම මගී නෞකාව, පෝට් සේඩ්, කොළඹ, සිංගප්පූරුව, හොංකොං සහ ෂැංහයි නගරවල නතර කරමින් ගමන්කර, ජපානයේ කෝබේ වරායෙන් ජපානයට ඇතුළුවීමට නියමිත ව තිබිණි. 


විද්‍යා ශිල්ප ශාස්ත්‍රයන් සම්භාරයකින් ලොව ජයගත් මෙම ප්‍රාඥායාගේ ලංකාගමනය ගැන අද මෙන් නොව, එදා හෝ ඉනික්බිතව හෝ සිලෝන් ලෙස ලොව දැන සිටි අප ලංකාව තුළ මෙන්ම අන් රටක වුව ද ප්‍රචාරයක් නොලැබීමට හේතු වූයේ, අදාළ තොරතුරු ඔහුගේ සටහන් පොතට පමණක් නතු වූ නිසා විය හැකිය. ඔහු කොළම්පුරයේ දී අත්දුටු සියල්ල නොසඟවා එහි විස්තර කර තිබුණූ අතර, එහි වෙසෙසින්ම සටහන්ව තිබූ විස්තරය නම්, කොළඹ වරාය අසල නවතා තිබූ රික්ෂෝ රථ දෙකකට ඔහු සහ ඔහුගේ බිරිඳ බලහත්කාරයෙන් මෙන් නංවා ගනු ලැබූ ආකාරයයි. එම සිද්ධිය කොයි කාට වුව ද විස්මය දනවනසුලු ය. ඒ පිළිබඳව අයින්ස්ටයින් සිය අත්පොතේ මෙසේ සටහන් කරයි.
‘‘එල්සාත්, මාත් ජැටියෙන් එළියට පැමිණි හැටියේම කටින් රතුපාට කෙළ පෙරාගත් අපිරිසිදු ඇඳුම් ඇඳගත් කෙට්ටු මිනිහෙක් මා ළඟට දුවගෙන ආවා. ඔහු බියක් සැකක් නැති ව මගේ අතින් අල්ලා ගෙන, ‘කම් කම්, ඕල් රවුන්ඩ් ටූ රුපී’ කියමින් ඔහුගේ රික්ෂෝව ළඟට මාව ඇදගෙන ගියා. ඒ අතරේ ඒ වගේ ම තවත් මිනිහෙක් එල්සා ළඟට ගිහින් එයාව අතින් අල්ලාගෙන ඒ මනුස්සයාගේ රික්ෂෝ එක ළඟට ආවා. මට තරමක බියක් දැනුණා. මොකක් ද මේ වෙන්න යන්නේ කියලා. මම කෑ ගැසුවා ‘ස්ටොප් ස්ටොප්’, කියලා එතැන සිටි නැව් සමාගමේ නිලධාරියෙකුට ඇඟිල්ල දික් කරලා මම විරෝධය පෑවා. මම ඔහුට කීවා. ‘මේ ඔබේ වැරැද්ද, ඇයි ඔබ මේ මිනිස්සු නතර කළේ නැත්තේ’ කියලා, ඔහු මට කීවේ මෙහෙමයි. ‘එක්ස්කියුස්මී සර්, වට් යූ සෙඩ් ඉස් ට්‍රෲ. බට් යූ ආර් නව් ඉන් ඇන් ඒෂියන් කන්ට්‍රි’, ඔහු මට කරුණූ පැහැදිලි කළාට පස්සේ මම තේරුම් ගත්තා. මේ එක්ක ම මිනිස්සු දෙන්නා අප වරික්ෂෝ දෙකක පටවාගෙන දුවන්න පටන් ගත්තා. 

 


‘‘මේ මිනිස්සුන්ගේ ඇඟපත කෙට්ටු වුණාට හොඳ සවි ශක්තිය තිබෙනවා. මේ රැකියාව ඔවුන්ට හොඳට පුරුදුයි. පාරේ යන එන සිය ගණන් මිනිස්සු, රථවාහන, මේ වගේ තවත් දුසිම් ගණන් රික්ෂෝ අතරින් අප දෙදෙනාත් රැගෙන මේ දෙන්නා ප්‍රවේශමෙන්, හරි දක්ෂ විධියට තමන්ගේ වාහන දෙක හසුරවන්නේ, මහ පාරවල්, අතුරු පාරවල් ඔස්සේ, විශාල ගොඩනැගිලි කඩ සාප්පු පසු කරමින් මොවුන් අප සමග රික්ෂෝව ඇදගෙන දුවනවා. ඉදිරියෙන් යන රික්ෂෝවේ සිටින එල්සා සිනාසෙමින් වරින් වර හැරී හැරී මා දිහා බලනවා. මා ඇයට අත වනනවා. මට ටිකක් බය දැනුණාට, ඇයට මේක හරි විනෝදයක් වගේ.


‘‘පැය භාගයකට පමණ පස්සේ අප නැවතත් වරායේ ජැටිය ළඟ. නැව් සමාගමේ නිලධාරියා අප එනතුරු බලා සිටියා. රික්ෂෝවෙන් බැසගත් එල්සා මා ළඟට දිව විත් මගේ අතේ එල්ලුණා. රික්ෂෝකරුවන් දෙදෙනා ද හති දමමින් වුවත් යටහත් පහත් ලෙස සිනාසෙමින් අප ළඟට පැමිණියා. අහිංසක මිනිස්සු! අසරණ මිනිස්සු! කොච්චර මහන්සි වෙනවාද එදිනෙදා ජීවිතය ගැට ගහගන්න! මම මගේ මුදල් පසුම්බිය දිග හැරලා ඔවුන්ට මුදල් නෝට්ටු දෙක බැගින් දුන්නා. ඔවුන් සිය නළලට අත් තබා අපට ආචාර කළා. ‘සර්, දැට් ඉස් ටූ මච්’ නැව් සමාගමේ නිලධාරියා කීවා. ‘නෙවර් මයින්ඩ්, මයි ෆ්‍රෙන්ඩ්, දේ ආර් යුවර් පීපල්, පුවර් පීපල්, නොට් ලයික් යු ඇන්ඩ් අයි, ‘මා ඔහුට පිළිතුරු දුන්නා’’, අයින්ස්ටයින් නම් වූ මේ මානව හිතවාදියාගේ අත් පොතේ මෙසේ සටහන් වී තිබිණි. 


‘‘ලංකාවේ කොළඹ නගරයේ දී. කෙට්ටු වුවත් යෝධ ශක්තියක් ඇති, හැල්මේ දිවයන අහිංසක මිනිසුන් දෙදෙනෙකු විසින්, මාත්, එල්සාත් බලහත්කාරයෙන් මෙන් තමන්ගේ රික්ෂෝ රථ දෙකට නංවා ගනු ලැබූවා. මා ඊට විරුද්ධ වුවත්, ඒ වන විටත් ඔවුන් දෙදෙනා අප රික්ෂෝ ආසනවල අසුන් ගන්වා හමාර යි. පුදුම හපන්කමක් ! අප වැනි ම මනුෂ්‍යයන් දෙදෙනෙකු සිය කායික ශක්තිය වැය කරමින්, තවත් මනුෂ්‍යයින් දෙදෙනෙකු වන අපව කරපින්නාගෙන අඩ පැයක් පමණ වෙහෙස මහන්සිවීමේ පිළිකුල් සහගත කාර්යයයේ කොටස්කරුවෙකු වීම ගැන මා අතිශයින් ලජ්ජා වනවා. ඒත් මට එයින් මිදීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. එල්සාගේ මතය වූයේ, ඒ මිනිසුන්ගේ ජීවිතය ගෙන යාමට අපගේ අනුග්‍රහය අවශ්‍ය බව යි. එක් අතකික් ඇය නිවැරදි යි, ඒත් මා සිතන්නේ මනුෂ්‍යත්වය පැත්තෙන්. 


‘‘කොළඹ නගරයේ මා දුටු මිනිස්සු දිළිඳු සරල ජීවිත ගතකරන අය. පිරිපුන් සිරුරෙන් යුක්ත යි. පෝට් සේඩ්හි ජනයාට වඩා උදාර යි. සාමකාමී යි, ප්‍රසන්න යි, යටහත් පහත්. අනුන්ට ගරු සරු දක්වනවා. කොළඹ වරාය කාර්ය බහුල යි. බඩු බාන්නෝ, පටවන්නෝ, එහි මෙහි රැගෙන යන්නෝ මනා කාර්ය ශූරත්වයකින් යුක්තයි. ඔවුන් මෙසේ දිවා රෑ වෙහෙස වන්නේ තමන්ගේ දිවිපැවැත්මට වුවත්, එයින් වැඩි ප්‍රයෝජන ලබන්නේ ධනවතුන් නොවේ ද?


‘‘මා නමට කේබල්ග්‍රෑම් සහිත කවරයක් රැගෙන පැමිණි සුදු රැවුලක් වවාගත් මිනිසෙකු එය මා අතට දී නික්ම ගියේ නැහැ. ස්වල්ප වේලාවක් ඔහු මා දෙස බලා සිටියා. ‘සෑර්, ඉස්මෝල් ටිප් පිලීස්.. කීවා. එය නොතේරුණූ මා ඔහු දෙස බලා සිටියා. ඔහු නැවතත් එයම කීවා. මට ඒත් තේරුණේ නැහැ. ඔහු අතේ ඇඟිළි එක්කොට දිගු කළා. එවිට යි මට කාරණය වැටහුණේ. මා වහාම ඔහුට මුදල් කාසි අහුරක් දුන්නා. ඔහු නළලට අත තබා මට ආචාර කළේ පුදුම සන්තෝසයකින්, මේ රටවල අහිංසක දුප්පත් මිනිසුන්ගෙන් අපට කොයි තරම් දේවල් ඉගෙන ගන්න තියෙනව ද?’’


එවකට ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත් පතේ වාර්තාකරුවෙකු මහාචාර්ය අයින්ටයින් සමග සාකච්ඡාවක් පවත්වා ඇත. මනා විද්‍යාත්මක දැනුමක් ලබා සිටි වාර්තාකරු එම දිනවල සිදු වූ විශේෂ සිද්ධියක් ගැන ඔහුගෙන් විමසා තිබේ. එනම්, 1922 සැප්තැම්බර් 21 දින ක්‍රිස්මස් අයිලන්ඩ් හී දක්නට ලැබුණු පූර්ණ සූර්යග්‍රහණය හා අදාළව සිදු කරන ලද පර්ෙ‌ය්ෂණය අනුව, අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා න්‍යාය බලපානේනේ කෙසේ ද යන්න යි, සූර්යග්‍රහණය සිදු වූ අවස්ථාවේ පැවැති අහිතකර කාලගුණික තත්ත්වය නිසා පර්ෙ‌ය්ෂකයන්ට බාධා ඇති වූ හෙයින්, සම්පූර්ණ වාර්තාවක් සකස් කර ගත නොහැකි වූ බවත්, එම පර්ෙ‌ය්ෂණය ම සඳහා ඕස්ට්‍රේලියාවට ගිය අයගේ වාර්තාව අපේක්ෂාවෙන් තමන් පසුවන බවත් මහාචාර්යවරයා වාර්තාකරුට පවසා තිබේ. තවදුරටත් ප්‍රශ්න කළ වාර්තාකරු, 1921 සඳහා භෞතික විද්‍යා වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ගැන බලාපොරොත්තු තබා සිටින්නේදැයි ඇසූ පැණයට කිසිවක් නොපවසා, මඳ සිනාවකින් පමණක් ඔහු පිළිතුරු දී ඇත. ඉහත කී පර්ෙ‌ය්ෂණය හා විද්‍යාව සම්බන්ධයෙන් ද, තමන් විසින් සොයාගනු ලැබු සාපේක්ෂතා න්‍යාය හා අදාළ ව ද වාර්තාකරු දැක් වූ දැනුම හා උනන්දුව වෙනුවෙන් මහාචාර්යවරයා සිය ප්‍රසාදය පළකර, විද්‍යාව පිළිබඳ පුස්තකයක් ද ඔහුට පරිත්‍යාග කර තිබේ. 


ලංකාවෙන් පිටත් ව සිය සාගර තරණය නැවත ඇරඹූ අයින්ස්ටයින් යුවල 1922 නොවැම්බර් 13 දින ෂැංහයි නුවරට පැමිණි අවස්ථාවේ, එරට ස්වීඩන් කොන්සල් ජෙනරාල්වරයා මහාචාර්ය ඇල්බට් අයින්ස්ටයින් වෙත පැමිණ ටැලිග්‍රෑමයක් පිරිනැමීය. එහි සඳහන් වූයේ 1921 භෞතික විද්‍යාව වෙනුවෙන් නියමිත නොබෙල් ත්‍යාගය ඔහුට පිරිනැමෙන බව යි. නොබෙල් ත්‍යාග පිළිබඳ ඉතිහාසඥයන් පළ කර ඇති පරිදි, මෙම ශ්‍රේෂ්ඨ විද්‍යාඥයාට නොබෙල් ත්‍යාග ලැබීමේ අවස්ථාව එය පිරිනමන ආයතනය විසින් එකොළොස් වතාවක්ම අහිමි කර ඇත. ඊට හේතුව, ප්‍රකාශයට පත් නො වුව ද, ඇල්බට් අයින්ස්ටයින් ජන්මයෙන්ම ජර්මන් යුදෙව්වකු වීම බවත්, නොබෙල් ත්‍යාගය පාලනය කරන බටහිර ජාතීන්ට මෙය නොරුස්නා සාධකයක් වූ බවත් ප්‍රසිද්ධ රහසක් වූයේය. 1921 දී වුවද, ප්‍රථම හා එකම නොබෙල් ත්‍යාගය ලෙස එය අයින්ස්ටයින්ට පිරිනමනු ලැබ ඇත්තේ, ඔහුට එය අහිමි කිරීමට එදිරිව ලෝක ජනමතයක් ගොඩ නැගෙමින් තිබු නිසා බව ද වාර්තා වේ. ඔහුට එය පිරි නමනු ලැබ ඇත්තේ ද සකල විද්‍යා ක්ෂේත්‍රයටම පහන් ටැඹක් ලෙස සැළකෙන සාපේක්ෂතා න්‍යාය වෙනුවෙන් නොවේ. ඔහු විසින්ම සොයාගනු ලැබූ ප්‍රකාශ විද්‍යුත් බලපෑම පිළිබඳ විශ්ලේෂණය වෙනුවෙනි. සාපේක්ෂතා න්‍යාය වෙනුවෙන් එදා මෙදා තුර ඔහුට නොබෙල් ත්‍යාගයක් පිරිනමනු ලැබුයේම නැත.

 

 සටහන :
ලාල් හේවාපතිරණ