
2026ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රීඩක වෙන්දේසිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට තීරණාත්මක මොහොතක් විණි. දෙසැම්බර් 16 වැනිදා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි එතිහාඩ් එරිනා හිදී පැවැති මෙම කුඩා ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අතළොස්සක් පමණක් කොන්ත්‍රාත්තු ලබා ගැනීමට සමත් වූ අතර, මෙරට වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අනෙක් සියල්ලන්ටම වඩා ඉහළින් නැගී සිටියේය. ඔහු මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේ දී - IPL ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේ මිල අධිකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්විණි.
කොල්කටා නයිට්රයිඩර්ස්, මතීෂ පතිරණට ලබාදුන් කැපී පෙනෙන මිල ක්‍රිකට් ලෝකය පුරා දැඩි කතාබහක් ඇති කළේ ඇසිල්ලකිනි. ඒ විශේෂයෙන්ම ලක්නව් සුපර් ජයන්ට්ස්(Lucknow Super Giants (LSG)) විසින් මිලදී ගත් වනිඳු හසරංගට ජාත්‍යන්තරව ද තරු පන්තියේ තුන්ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ඉහළ පිළිගැනීමක් හිමිව තිබිය දී - ඔහුට හිමිවූ වටිනාකම හා සසඳන විට මතීෂගේ වටිනාකම අතිවිශාල වටිනාකමක් වු නිසාවෙනි. මෙවර කුඩා ක්‍රීඩක වෙන්දේසියේ දී දක්ෂතාවය, හැකියාව මෙන්ම නූතනT20 ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාවේ දී දිනෙන් දින මතුවෙමින් යන, එසේත් නොමැතිනම් නූතනT20 ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාවේ පරිණාමය වන ප්‍රමුඛතා ද ඉස්මතු කළේය.
එහෙයින් මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේ දී අලෙවි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්, අලෙවි නොවූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් මෙන්ම මතීෂගේ අසාමාන්‍ය තක්සේරුව පිටුපස ඇති සාධක සහ ඔහුගේ මිල ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු දිල්ලි කැපිටල්ස් (Delhi Capitals (DC)) කණ්ඩායම මිලදීගත් පැතුම් නිශ්ශංක සහ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග පවා ඉක්මවා ගියේ මන්ද යන්න මෙම ලිපියෙන් විමසා බලමු.
IPL 2026 වෙන්දේසියේදී ශ්‍රී ලංකාවට සීමිත අවස්ථාවන්
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට පොහොසත් ක්‍රිකට් උරුමයක් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ස්ථාවර පැවැත්ම තිබියදීත්, IPL 2026 වෙන්දේසිය නැවතත් අවධාරණය කළේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සඳහා ඇති සීමිත ඉල්ලුමයි.
ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලියාපදිංචි වූ සියලුම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් අතරින්, ලංසු ආකර්ෂණය කර ගැනීමට, ලබාගැනීමට සමත් වූයේ ක්‍රීඩකයින් තිදෙනෙකු පමණි. ඒ අනුව මතීෂ පතිරණ ඉන්දියානු රුපියල් කෝටි (ඉ.රු.කෝ) 18ත්, පැතුම් නිශ්ශංක ඉ.රු.කෝ 4ත් සහ වනිදු හසරංග ඉ.රු.කෝ 2ත් වශයෙන් අලෙවි වූ මෙරට ක්‍රීඩකයින් තිදෙනා වෙති.
කෙසේ වෙතත් අනෙකුත් ක්‍රිකට් ක්‍රීඩා කරන ජාතීන් හා සසඳන විට ක්‍රීඩක සංඛ්‍යා සුළු ලෙස පෙනුණ ද, පතිරණගේ වාර්තාගත අලෙවියේ වැදගත්කම කියා නිම කළ නොහැක. ඔහුගේ මිල පමණක් පසුගිය IPL වාරවල ශ්‍රී ලංකා කණ්ඩායම් කිහිපයක ඒකාබද්ධ වටිනාකම ද ඉක්මවා ගියේය.
ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත් නොවූ රඳවා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්
2026 වාරය සඳහා IPLෆ්‍රැන්චයිස් කණ්ඩායම් විසින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් කිහිප දෙනෙකු තවදුරටත් රඳවාගත් නිසා ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත් නොවීය. ඒ - දුෂ්මන්ත චමීර (දිල්ලි කැපිටල්ස් (DC)) , නුවන් තුෂාර (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB)) , කමිඳු මෙන්ඩිස් (සන්රයිසස් හයිද්‍රාබාද් (SRH)) , සහ එෂාන් මාලිංග(සන්රයිසස් හයිද්‍රාබාද් (SRH)), යන ක්‍රීඩකයින්ය.
අලෙවි නොවූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්: කටුක යථාර්ථයක්
මේ අතර ජාත්‍යන්තරව ද පිළිගැනීමක් තිබෙන මෙරට ක්‍රීඩකයන් ගණනාවක් මෙවර ද ගැනුම්කරුවන් සොයාගැනීමට අපොහොසත් වුණ. එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය T20 වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය පිළිබඳව යළි යළිත් සිතා බලන්නට අපට මතක් කර දී තිබේ. මෙරව අලෙවි නොවූ ක්‍රීඩකයින් අතර මහේෂ් තීක්ෂණ, කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක, දසුන් ශානක, කුසල් මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ සහ බිනුර ප්‍රනාන්දු වැනි ප්‍රබල ක්‍රීඩකයින් ද ඇතුළත්ව සිටින බව අප අමතක නොකළ යුතුය.
මෙම ක්‍රීඩකයින් ශ්‍රී ලංකාව වෙනුවෙන් අති විශාල ජාත්‍යන්තර අත්දැකීම් ඇති අතර ජාතික කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දක්වා ඇති ක්‍රීඩකයෝ වෙති. කෙසේ වෙතත්, IPL වෙන්දේසිය තවදුරටත් හැකියාවට පමණක් අවස්ථාව ලබාදෙන වේදිකාවක් නොවන බවද පෙනේ. ඒ වෙනුවට එය නිශ්චිත උපායශීලී භූමිකාවන්, කණ්ඩායම් අවශ්‍යතා සහ දිගුකාලීන ෆ්‍රැන්චයිස් සැලසුම් කිරීම මගින් වැඩි වැඩියෙන් මෙහෙයවනු ලබන බවද පෙනෙන්නට තිබේ.
වටිනාකම පසුපස ප්‍රධාන සාධකය
මතීෂ පතිරණගේ අසාමාන්‍ය මිල පිටුපස ඇති එකම ප්‍රධානම සාධකය වූයේ සැබෑ ලෙසම අවසන් පන්දුවාර කිහිපයේ දී විශේෂඥ පන්දු යවන්නෙකු ලෙස ඔහුගේ හැකියාවද යන්න විමසිය යුත්තකි. නූතන පන්දුවාර විස්සයි20 තරග රටාවේදී, අවසන් පන්දුවාර හතර බොහෝ විට තරගයේ තීරණය වෙනස් කරන පන්දුවාර හතර වේ. එබැවින් පීඩනය යටතේ ඉහළ වේගයකින් නිවැරදිව යෝකර් පන්දු ක්‍රියාත්මක කළ හැකි පන්දු යවන්නන් අතිශයින් දුර්ලභ ය. එවැනි තත්ත්වයක් තුළ පිතිකරුවන් වඩාත් ආක්‍රමණශීලී වන විට නැවත නැවතත් තරග හැරවුම් පන්දුවාර යොමු කිරීම සඳහා පතිරණ ජාත්‍යන්තරව ද කීර්තියක් ගොඩනඟා ගෙන සිටි වේගපන්දු යවන්නෙකි. එහෙත් ගැටලුවක් ලෙස පෙනෙන්නට තිබෙන්නේ මතීෂ පතිරණ පසුගිය කාලයේ දී එම දක්ෂතාවන් අතර නොසිටීමයි.
පිතිකරුවන්ට අභියෝග කරන මතීෂගේ පන්දු යැවීමේ ඉරියව්ව
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් වන ලසිත් මාලිංග ගේ පන්දු යැවීම සිහිගන්වන මතීෂගේ අසාමාන්‍ය පන්දු යැවීමේ ඉරියව්ව ඔහුගේ වටිනාකම තව තවත් ඉහළ යෑමට හේතුවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මතීෂගේ පන්දුව මුදාහැරීමේ ස්ථානය මෙන්ම, පන්දුව යොමු කරන අවස්ථාවේ මැණික් කටුවේ පිහිටීම නිසා - පිතිකරුවන්ට පන්දුව කියවා ගැනීම අතිශයින් දුෂ්කර වේ. විශේෂයෙන්ම වැඩි පීඩනයක් තිබෙන අවසන් පන්දුවාර කිහිපයේ දී ඒ ස්වභාවය තීරණාත්මක වෙනු ඇත. වීඩියෝ සහ දත්ත හරහා පන්දු යවන්නන් විශ්ලේෂණය කිරීමට පිතිකරුවන් පැය ගණන් ගත කරන මෙවැනි තරඟාවලියක, මතීෂ එක් කරන අනපේක්ෂිත බව මතීෂට මිල කළ නොහැකි වටිනාකමක් එක්කර තිබේ ද?

පීඩනය හැසිරවීමේ ඔප්පු කළ හැකියාව
බොහෝ තරුණ වේගපන්දු යවන්නන් මෙන් නොව, මතීෂ දැනටමත් දැඩි පීඩනයක් සහිත පරිසරයන් තුළ, අවස්ථාවන් තුළ හොඳින් පන්දු යැවිය හැකි පන්දු යවන්නෙකු බව කීප අවස්ථාවකදීම පෙන්නුම් කර ඇත. අඩු ලකුණු ආරක්ෂා කිරීම හෝ නියමිත පිතිකරුවන්ට එරෙහිව අවසන් පන්දුවාර යැවීම, ඔහු තම වයසට වඩා සන්සුන් බවක් පෙන්නුම් කර ඇති බවද ජාත්‍යන්තර විචාරකයෝ සඳහන් කරති. ඒ එම ක්‍රීඩකයින්ගේ නිසි ශාරීරික යෝග්‍යතාවයක් නොමැති අවස්ථාවන් මෙන්ම නිරන්තරයෙන් නියමිත ස්ථානයන් හි පන්දුව පතිත කිරීමේ දුර්වලතාවන් පෙන්නුම් කරන අවස්ථාවන්වලදී පවාය. ඉන් හැගී යන්නේ ෆ්‍රැන්චයිස් හිමිකරුවන් සතුව සැඟවුණු ව්‍යාපාරික අරමුණු තිබෙන බව ද?
කෙසේ වෙතත් නැවත නැවතත් සඳහන් කරන්නේ පසුගිය කාලයේ දී මතීෂ සිය සුපුරුදු දක්ෂතා අතර නොසිටි බවත්, ඉදිරි තරගාවලියේ දී ඔහුට නියත වශයෙන්ම දක්ෂතා අතරට පැමිණීමට සිදුවන බවත්ය.
වෙන්දේසි ස්වභාවය සහ ෆ්‍රැන්චයිස් තරගය
මෙවර කුඩා ක්‍රීඩක වෙන්දේසියේ දී දැකගන්නට ලැබුණු තවත් තීරණාත්මක සාධකයක් වූයේ වෙන්දේසිය අතරතුර ඇති වූ ලංසු තැබීමේ යුද්ධයයි. කණ්ඩායම හිමිකරුවන් වෙන්දේසි සංග්රාම භූමියට පිවිසියේ පැහැදිලි අරමුණක් ඇතිවය. විශේෂයෙන්ම අවසන් පන්දුවාර කිහිපයේ දී පිතිකරුවන් පාලනය කළ හැකි විදේශීය වේග පන්දු යවන්නෙකු ලබාගැනීම අරමුණ ඇතිවය.
එවැනි වැඩි ඉල්ලුමකට සැපයුම සීමිත වූ නිසා, පතිරණගේ මිල වේගයෙන් ඉහළ ගියේය. වෙන්දේසිවල දී, වටිනාකම බොහෝ විට තීරණය වන්නේ කුසලතාවයෙන් පමණක් නොව කාලය, අවශ්‍යතාව සහ තරගකාරිත්වය අනුවය. මතීෂ මේ තුනෙන්ම ප්රතිලාභ ලැබීය. එය මතීෂගේ වාසනාවට සිදුවූ දෙයක් ද විය හැකිය.
වනිඳු හසරංගට වඩා පතිරණ ගේ මිල ඉහළ ගියේ ඇයි?
2026 IPL වෙන්දේසියේ දී මෙරට තුළ පමණක් නොව ජාත්‍යන්තරව ද වඩාත්ම විවාදයට ලක් වූ ප්‍රතිඵලය වූයේ පතිරණගේ ඉ.රු.කෝටි 18 ක තක්සේරුව සහ වනිඳු හසරංගගේ ඉ.රු. කෝටි 2 ක මිල අතර අති විශාල වෙනසයි. ගෝලීය T20 ලීගවල ගුණාත්මක තුන්ඉරියව් ක්‍රීඩකයින් සහ දඟපන්දු යවන්නන් සාපේක්ෂව බහුල වුව ද, අවසන් පන්දුවාරවල දී ප්‍රතිවාදී පිතිකරුවන්ට පීඩනයක් එල්ල කළ හැකි වේග පන්දු යවන්නන් එසේ නොවේ. සෑම කණ්ඩායමකටම පාහේ මැද පන්දුවාර වලදී පන්දු යැවිය හැකි දඟපන්දු යවන්නන් සිටින නමුත් තරග අඛණ්ඩව අවසන් කිරීමට හැකියාව ඇති වේගපන්දු යවන්නන් සිටින්නේ අතළොස්සක් පමණි.
තවද වනිඳු හසරංග යනු ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම සාර්ථක T20 තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන අතර, පිත්තෙන් සහ පන්දුවෙන් ආකර්ෂණීය වාර්තා තබා ඇති තුන්ඉරියව් ක්‍රීඩකයෙක් වුවත්, ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රියාත්මක වන්නේ වෙනස් තර්කයක් මතය.
කණ්ඩායම් සංයුතිය සහ වනිඳු සහ නිශ්ශංකගේ අවශ්‍යතාව
වනිඳු හසරංග කණ්ඩායමකට ඇතුළත් කර ගැනීමේ දී විදේශීය ක්‍රීඩකයෙකුගේ ස්ථානයක්, විශේෂඥ දඟ පන්දු යවන්නකුගේ භූමිකාවක් මෙන්ම මැදපෙළ පිතිකරුවකුගේ ස්ථානයක් ඔහුට ලබාදිය යුතුය. බොහෝ ෆ්‍රැන්චයිස් කණ්ඩායම් තුළ දැනටමත් ඒ හා සමාන තුන්ඉරියව් ක්‍රීඩකයින් සතුව සිටින බැවින් එවැනි ක්‍රීඩකයෙකුට තරගකාරී ලෙස ලංසු තැබීමේ අවශ්‍යතාව ය අඩුය.
එමෙන්ම පැතුම් නිශ්ශංක ෆ්‍රැන්චයිස් තරග බිමේ කැපී පෙනෙන පිතිකරුවෙක් ලෙස කරළියට පැමිණියේ ILT20 තරගාවලියේ දීය. පැතුම් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිරන්තරයෙන් දක්ෂතා අතර සිටියත්, ඔහු ගැන කතා වෙන්නට පටන් ගත්තේ, විශේෂයෙන්ම ෆ්‍රැන්චයිස් තරග බිමේ මෑත කාලයේ දීය. එබැවින් ඔහු ගැන විශ්ලේෂණය කරන්න, ඔහුව ඉලක්ක කරන්න, මෙන්ම ඔහු සමග තරගයක් සැලසුම් කරන්න ෆ්‍රැන්චයිස් කණ්ඩායම් තවමත් අවස්ථාවක් ලබාගෙන නොමැත. විශේෂයෙන්ම ඉන්දියාව වැනි රටක, එවැනි ඉදිරිපෙළ පිතිකරුවන් සිටින බවට ඔවුන් දැඩිව විශ්වාස කරන නිසාය. එබැවින් මෙවර තරගාවලියේ දී පැතුම්ට අවස්ථාවක් ලැබුණහොත් දක්ෂතා අතරට එන්නට ලබන වසරේ දී නියත වශයෙන්ම වැඩි මුදලකට අලෙවි විය හැකිය.
අනෙක් අතට මතීෂ පැහැදිලිවම ඔහු මිලදී ගත් කණ්ඩායමේ අවශ්‍යතාවට ඉතාමත් හොඳින් ගැළපේ. ඔවුන් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම වෙන්දේසියට පැමිණියේ ද මතීෂ මිලදී ගන්නා අරමුණින් යුතුව විය යුතුය. එබැවින් මතීෂ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම් අවශ්‍යතාව සම්පූර්ණ කළා විය හැකිය. ඒ වෙනුවෙන් ඕනෑම මිලක් ගෙවන්නට ඔවුන්ගේ හිමිකරු ශාරුක් ඛාන් පසුබට නොවූවා විය හැකිය.
වනිදුට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින්, මතීෂට සාපේක්ෂව වැඩි තරග ප්‍රමාණයක් ක්‍රීඩා කරන්නට තිබෙන අවස්ථාව ද ෆ්‍රැන්චයිස් තරග ප්‍රවේශයට බලපෑමක් ඇති කළා විය හැකිවාසේම, මතීෂ දිගුකාලීන ආයෝජනයක් ලෙස සලකුණු ලබන අතර, ඔහුගේ හොඳම වසර තවමත් ඉදිරියෙන් ඇති බවද කණ්ඩායම් හිමිකරුවන් මේවන විට විශ්වාස කරමින් සිටින බවද දැනගන්ට තිබේ.
IPL 2026වෙන්දේසිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අතිශය අභියෝගාත්මක සංසිද්ධික් විණි. බොහෝ දෙනෙකුට බලාපොරොත්තු සුන්වීමක් වුවද, මතීෂට ඓතිහාසික සාර්ථකත්වයක් ඇති කළේය. ඔහුගේ වාර්තාගත ගනුදෙනුව අහම්බයක් නොවේ. එය නූතන ලෝකය තුළ විකාශනය වන T20 ප්‍රමුඛතා, උපායමාර්ගික ෆ්‍රැන්චයිස් චින්තනය සහ දුර්ලභ කුසලතා මත තබා ඇති විශ්වාසයේ ප්රතිඵලයකි.
සීමිත ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සංඛ්‍යාවක් අලෙවි වීම තවමත් කනස්සල්ලට කරුණක් වුවද, මතීෂගේ වටිනාකම මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අනාගතය සඳහා සැලැස්මක් ඉදිරිපත් කරයි. ෆ්‍රැන්චයිස් ක්‍රිකට් යුගයේදී, අනුවර්තනය වන, විශේෂීකරණය කරන සහ පීඩනය යටතේ කණ්ඩායම් වෙත ලබා දෙන වටිනාකමට, ඉහළ වටිනාකමක් ලැබෙන බවක් පෙනේ.
දිනේෂ් කුමාර

