
ශ්‍රී ලාංකේය භික්ෂු ශාසනය සියවස් ගණනාවක් පුරා සුරක්ෂිතව පවත්වාගෙන පැමිණ තිබේ. විවිධ යුගවල අනේකවිධ අභියෝග හට ගත්තේය. පසුගිය කාලයේද යම් යම් ගැටලු හටගෙන තිබේ. ගිහි සමාජයේ හා සමානව භික්ෂු සමාජයේ ද සැලකිය යුතු පිරිහීමක් දක්නට ලැබේ. භික්ෂු ශාසනය ආරක්ෂා කරගැනීම උදෙසා අනුගමනය කළ ක්‍රියාමාර්ග ඉතිහාසයේ දැක්වේ. ශාසනික ක්‍රියාමාර්ග පමණක් නොව පාලකයන්ගේ මැදිහත්වීම්වලින්ද විශාල මෙහෙවරක් සිදු වී ඇත.
බුදුන්, දහම සහ සංඝ තුනුරුවන සේ මහත් ගෞරවාදරයට ලක් ව ඇත. ශාසනික පිරිහීමක් හා එයට හේතුවන කරුණු බුදුන් වහන්සේ ජීවමානව සිටිය දී ම පැහැදිලි කර ඇත. මෙරටින් වාර්තා වූ මෑතකාලීන ඇතැම් සිද්ධි සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇති වී තිබේ. මෙම ප්‍රවණතා පිළිබඳව මැදහත්ව සලකා බැලීමට හා තීරණ ගැනීම කාලෝචිතය.
දහම සම්බන්ධ ගැටලු පැන නැඟුණ සෑම අවස්ථාවකම සංශෝධන සිදුකරගෙන තිබේ. එය සිදුකරන ක්‍රමවේද ඇත. බුදු දහම පෝෂණය හා ආරක්ෂා කිරීම රාජ්‍යයේ වගකීමක් බව අමතක නොකළ යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් එය තහවුරු කර තිබේ. ව්‍යවස්ථාවේ නව වැනි වගන්තියට අනුව “ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය පිරිනමන්නේය” බව පැහැදිලිව දක්වයි. සෑම ආගමකටම තිබිය යුතු අයිතිවාසිකම් සුරක්ෂිත කරදෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය යන්න එහි අවධාරණය කොට තිබේ. මෙම සුරක්ෂිත කිරීම හෝ පෝෂණය කෙබඳු ද යන්න පැහැදිලි කර නැත. එහි ප්‍රතිපලයක් වශයෙන් සිද්ධි සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි පිළිවෙළ ගැන නොයෙක් මතභේද පවතින බව පෙනේ. ව්‍යවස්ථාවේ සඳහන් කරන වගන්තිය සම්බන්ධ නිර්වචනයක් අවශ්‍ය කෙරේ. එම නිර්වචනය මඟින් කළ හැකි හා මැදිහත් විය හැකි පැති ගැන නිශ්චිත තීරණවලට එළැඹිය හැකිය.
සමස්තයක් වශයෙන් මෙරට භික්ෂු සමාජය අපකීර්තියට පත්වන අවස්ථාවල දී පමණක් නොව ශාසනික මෙහෙවර සඳහා ද වගකීම් පැවැරෙන, බලය පැවැරෙන ආකාරය ස්ථිර වශයෙන්ම එකඟතාවකට පැමිණීම සුදුසුය. මෙහි දී ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නැත. අලුත් නීති කෙටුම්පත් කර සංශෝධනය වැනි පියවර ද ප්‍රායෝගික නැති බව සඳහන් කළ හැකිය. ව්‍යවස්ථාවේ දක්වන වගන්තිය නිර්වචනය කරන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සෑම පාර්ශ්වයකම එකඟතාව ඇති කරගත හැකිවේ. ශාසනික කටයුතුවල දී බුද්ධාගම පෝෂණය කර ආරක්ෂා කිරීම සඳහා රාජ්‍ය සතු වගකීම පැහැදිලි කරන වගන්ති සම්මත කරගැනීම ප්‍රමාණවත්ය.
බුදු දහම හා බෞද්ධ ජනතාව අතර පවතින බැඳීම, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිවලින් පනවන සීමා ඉක්ම යන පැත්තක් ද පවතින බව ද මෙහි දී සඳහන් කළ යුතුවේ. එය චිරාගත කාලයක් ආරක්ෂා කරගෙන පැමිණි සම්ප්‍රදායෙන්, වතාවත්වලින් ආවරණය වී ඇත.
ලංකාව යටත් කරගැනීමේ දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීහු මෙම සම්ප්‍රදාය, අනන්‍යතාව සහ සංස්කෘතිය, අධ්‍යයනය කළහ. එම පසුබිම ආරක්ෂාකරගත හැකි පරිදි යටත් විජිත කොන්දේසි සකස් කර තිබේ. මහනුවර දී අත්සන් කරන ලද ගිවිසුම අනුව විහාරය හා ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කර රුක බලාගන්නා බව උඩරට ගිවිසුමෙහි දක්වා තිබේ. දළදා පෙරහැර පැවැත්වීමත්, විශේෂ අවස්ථාවල යටත් විජිතයේ ප්‍රධානීන් ශාසනික උත්සවවලට සහභාගී විය යුතු බවටත් එකඟතාවක් ඇතුළත් කර තිබුණි. අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබාගැනීමෙන් පසු එම පැවරැම එම ආකාරයටම පවත්වාගෙන යෑම හැර අනන්‍ය ක්‍රමවේදයක් නිර්මාණය කරගන්නට මෙරට පාලකයන් හෝ සංඝ සමාජය ක්‍රියා කොට නැත. මෙම අවස්ථාවේ දී ශාසනය ආරක්ෂා කරගැනීමටත් එහි විෂමතා ගැන තීරණ ගැනීමටත් පාලකයන්ට වගකීමක් තිබේ.
රට තුළ පවතින සම්ප්‍රදායයන් බැහැර කළ නොහැක. ශ්‍රී ලංකාවේ නීතිය ද බලපවත්වන්නට අවශ්‍යය. ශාසනික කටයුතු හා රජයේ නීති සම්බන්ධ යම් යම් වෙනස්කම් කර ඇති බව පිළිගත හැකිය. ඒවා තව දුරටත් කාලෝචිතව සකස් කරගත යුතුව තිබේ. එය සිදුකරගැනීම සඳහා පුළුල් සාකච්ඡාවක් අපට අවශ්‍යය. වසර දහස් ගණනක් ලංකාවේ ජාතික, ආගමික හා සංස්කෘතික කටයුතු පවත්වාගෙන පැමිණි ආකාරය අධ්‍ය්‍යනය කර මෙම තීරණ ගත යුතුව තිබේ.
ලෝකයේ අනෙක් ථේරවාදී බෞද්ධ රටවල් ක්‍රියා කරන ආකාරය ද මෙහි දී සලකා බැලිය හැකිය. තායිලන්තයේ සංඝ රාජ තනතුරක් පවතින අතර තායිලන්තයේ රජතුමා විසින් පත් කරන විශේෂ බලතල සහිත සංඝ කමිටුවක් එදිනෙදා කටයුතු හා සංඝ විනය සම්බන්ධව තීරණ ගනී. මෙම කමිටුව විසි දෙනෙකුගෙන් සමන්විතය. බුරුමයේ ද මෙය හා සමාන ඉහළ පෙළේ සංඝ කමිටුවක් ඇත. එහි නියෝජනය හතළිස් හත් නමකි. එරට නිකාය නවයක ඉහළම නියෝජනය එයට ලැබී තිබේ. ඝංඝ විනය ගැටලුවල දී මෙම කමිටු විසින් පළමු තීරණය ප්‍රකාශයට පත් කෙරේ.
සංඝයා වහන්සේලා සම්බන්ධ චෝදනාවක් ඇතොත් අධිකරණයක නඩු කටයුත්තකට කලින් කමිටුව ඉදිරියට පමුණුවා සිද්ධිය විමර්ශනය කෙරේ. ප්‍රශ්නයක් ඇත්නම් චීවරය අත්හැර ගිහිභාවයට පත්වන සේ නියෝග කරනු ඇත. අනතුරුව අධිකරණ කටයුතු ක්‍රියාත්මක වේ. භික්ෂුභාවයෙන් ඉවත් කිරීම හේතු කොටගෙන සංඝයා වහන්සේ නමක් අත් අඩංගුවට ගැනීමක් හෝ සිරදඬුවම් නියමවීමක් නැත. චීවරය තිබිය දී ගිහි නීතිය බල නොපැවැත්වීම මෙම සම්ප්‍රදාය මගින් ආරක්ෂා කර ඇත. මෙවැනි ක්‍රම රටට ගැලපෙනවා ද යන්න ඉඳුරා කිව නොහැකිය. එහෙත් රටට ගැළපෙන ව්‍යුහයක් සකස් කරගැනීම සියලුම නිකායවල මහා නායක හිමිපාණන් වහන්සේලා ඇතුළු උගත් හිමිපාණන්ගේ මැදිහත්වීම අවශ්‍යය. එම මැදිහත්වීම මත රජය තීරණ ගත යුතුව තිබේ. එවැනි පියවර මෙරට බුදු දහම ආරක්ෂා කර පෝෂණය කිරීමකි.
ඉතිහාසයට අනුව ශ්‍රී ලංකාවට ද සංඝ රාජ තනතුරක් තිබුණි. ඉතිහාසය උපුටා දක්වන පරිදි කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමාගේ (1747-82) යුගයේ දී වැලිවිට ශ්‍රී සරණංකර හිමිපාණන් වෙත සඟ රජ පදවිය පිරිනමා ඇත. රජතුමා පාලි හා සංස්කෘත කෘති සිංහල භාෂාවට පරිවර්තනය කර දහම ප්‍රචලිත කරන කටයුතු සලකා ඇතැයි සඳහන්ය. රාජ්‍යය හා ශාසනය අතර තිබිය යුතු සබඳතාව සංකේතවත් කරවන සෝලියස් මෙන්දිස් චිත්‍රශිල්පියා විසින් අඳින ලද සිතුවමක් කැලණිය රජ මහා විහාරයේ තිබේ.
ලෞකිකත්වයෙන් ඈත් වී පැවිදි ජීවිතයට ඇතුළුවන සංඝයා වහන්සේලා තුළ විශාල කැපවීමක් කරන බව අවිවාදිතය. රටට මඟදක්වන ආදර්ශවත් චරිතයක් විය යුතුය. ශාසනික පැවැත්ම උදෙසා සුවිශේෂ කැපවීම් කර රට, ජාතිය හා ජනතාව වෙනුවෙන් තීරණ ගත් සංඝ පීතෘවරැන් අපට හමු වී ඇත. එවැනි යුගයක් සඳහා පසුබිම සකස් කර පහසුකම් සැපැයීම රජයේ වගකීමකි. අනෙක් දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, සිවිල් නායකයන් මෙම යථාර්ථය අවබෝධ කරගෙන කටයුතු කිරීම වටී. දැනට තිබෙන ප්‍රශ්න අතර ඇතැම් විහාරස්ථානවල සම්පත් බහුලය. දායක සම්බන්ධතාව මැනැවින් තිබේ. තවත් සමහර දුෂ්කර ප්‍රදේශවල දානවේල පවා ලැබෙන්නේ නැත. මේවා ද අවධානයට ගත යුතුවේ. පවතින ආකල්ප හා ලිබරල් අදහස් අනුව ශාසනික විනය සම්බන්ධ ඇතැම් සිද්ධි විශාල ආන්දෝලන ඇති කර තිබේ. මේවායේ ඇත්ත හෝ නැත්ත හඳුනාගැනීම අපහසුය. ශාසනික අභ්‍යන්තර මැදිහත්වීමකින් හෝ නීතිවලින් කටයුතු කරගත හැකි ආකාරය ගැන තීරණය කළ යුතුවේ.
අප මුහුණ දී සිටින ගෝලීය සන්නිවේදන ව්‍යුහය ඉතාම තියුණුය. අන්තවාදී අදහස් රාශියක් තුළ මධ්‍යස්ථ හඬකට ප්‍රබල තැනක් ලැබෙන්නේ නැත. නමුත් සත්‍ය අනාවරණය කරගෙන නිසි පරිදි තීරණ ගත හැකි ව්‍යුහයක අවශ්‍යතාව සමාජ මාධ්‍ය සන්නිවේදනය අවධාරණය කරන කරුණකි. ඇතැම් සිද්ධි සංසන්දනය කරන පසු නිර්දෝෂී පුද්ගලයන්ට පවා විශාල හානියක් සිදුවීමෙන් පසු අධිකරණයේ දී නිර්දෝෂී වී තිබේ. වගකිව යුතු සමාජයක්, විනය ආරක්ෂා කරන සංඝ පරපුරක් මෙරට අනාගත පැවැත්ම උදෙසා ඉතාම තීරණාත්මකය. සියලු පැති සාකච්ඡා කර බලා, දැනට පවතින අධික්‍රියාකාරිත්වය වෙනුවට සන්සුන් සමාජ ක්‍රමයක් සඳහා සැලැස්මක් සකස් කිරීම අප සියලු දෙනාගේ ම වගකීමකි.

