බිහිරි අයට දැනෙන්න අලුත් විදියට උගන්වන සුලීශා ටීචර්


සැප්තැම්බර් මස 23 වැනි දින ජගත් සංඥා භාෂා දිනය වේ. සංඥා භාෂාව, විශේෂයෙන්ම ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට සහ වෙනත් සන්නිවේදන දුබලතා ඇති අයට බෙහෙවින් උපකාරී වෙන ප්‍රධාන මාධ්‍යයකි. එය ඔවුන්ට සමාජය සමග සම්බන්ධ වීමට, අධ්‍යාපනය ලැබීමට සහ අයිතිවාසිකම් භුක්ති විඳීමට අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස ක්‍රියා කරයි. පසුගියදා සංඥා භාෂාව පිළිගත් භාෂාවක් ලෙස ස්ථාපිත කිරීම සඳහා වූ සංඥා භාෂා පනත් කෙටුම්පත සඳහා පාර්ලිමේන්තුවෙන් ප්‍රතිපත්තිමය අනුමැතිය හිමි විය. මෙසේ වත්මන් රජය විසින් ආබාධිත ප්‍රජාවගේ සුබසිද්ධිය වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග ගැනීම පැසසිය යුතු කරුණකි.

ඒ අනුව, සංඥා භාෂාව පිළිබඳව පර්‌යේෂණාත්මක හා නව නිර්මාණකරණයේ යෙදෙන සුලීශා පෙරේරා විසින් බිහිරි, ශ්‍රවණ ඌනතා, බුද්ධිමය ඌනතා, අධික්‍රියාශීලි හා ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන දරුවන් වෙනුවෙන් නව සංඥා භාෂා සංකල්පයක් හඳුන්වා දී ඇත. සුලීශා පෙරේරා සංඥා භාෂාව වෙනස් හැඩයක් ඔස්සේ භාවිත කරන ගුරුවරියකි. “සංඥා භාෂා නර්තන අර්ථ නිරූපණය” යනුවෙන් එම සංකල්පය හඳුන්වන අතර එමගින් ආබාධ සහිත දරුවන්ගේ රසවින්දනය සහ නිර්මාණාත්මක හැකියාව වර්ධනය කිරීමට උපකාරි වී ඇත. ඒ අනුව මෙතෙක් භාවිත කළ සාම්ප්‍රදායික සංඥා භාෂාව සුලීශා පෙරේරා විසින් නව මඟකට යොමු කර ඇත. 

මනෝ චිකිත්සක, ආබාධිතතා විශේෂඥවරියක හා සංඥා භාෂා අර්ථ නිරූපණයේ නිර්මාතෘ ලෙස කටයුතු කරන සුලීශා පෙරේරා තම සංකල්පය පිළිබඳව අදහස් දැක්වීමට ඉරිදා ලංකාදීපය සමග එක් වූවාය.

“මම ජාතික අධ්‍යාපන ආයතනයෙන් සංඥා භාෂාව පිළිබඳව පුහුණු ඩිප්ලෝමාධාරිනියක් ලෙස 2018 වර්ෂයේ දී අධ්‍යාපන කටයුතු අවසන් කළා. දැනට වෘත්තියෙන් ආබාධිතතා විශේෂඥවරියක් ලෙස කටයුතු කරනවා. ඊට අමතරව මට තියෙන්නේ පුළුල් විෂය ක්ෂේත්‍රයක්. ඒ අනුව මම මනෝ චිකිත්සකවරියක ලෙසත්, රංග චිකිත්සාව, නර්තන චලන චිකිත්සාව හා විශේෂ අධ්‍යාපන ගුරුවරියක ලෙසත් කටයුතු කරනවා. ජාතික අධ්‍යාපන ආයතනයේ සංඥා භාෂාව පිළිබඳව අධ්‍යාපනයෙන් බිහිකරනු ලබන්නේ සංඥා භාෂා පරිවර්තකවරු, විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සමග කටයුතු කරද්දී විශේෂ අධ්‍යාපන විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දැනුමක් ලබා ගත යුතු බව මම තේරුම් ගත්තා. ඒ නිසා මම මේ සෑම විෂය ක්ෂේත්‍රයක් පිළිබඳව දැනුම ලබාගත්තා. සංඥා භාෂාව ඉගෙන ගන්නා විට හා එය ප්‍රායෝගික භාවිතයේ දී මම පරීක්ෂණ සිදු කළා. එම පරීක්ෂණවලදී සංඥා භාෂාවේ අඩුපාඩු තිබෙන තැන් ඇති බව මට තේරුණා. ඒ ඔස්සේ ළමයින්ට කලාව කියන විෂය ක්ෂේත්‍රය සංඥා භාෂාවේ පරිවර්තනය වෙන්නේ නැති බව මට තේරුණා. ඒ අනුව තමයි සංඥා භාෂා නර්තන අර්ථ නිරූපණය නමින් මගේම සංකල්පයක් සංඥා භාෂාවේ විෂය ක්ෂේත්‍රයට ඇතුළත් කළේ.”

“සංකූලතා ඇති දරුවන්ටත් සාමාන්‍ය දරුවන්ට වගේම ආසා තිබෙනවා. ඔවුන්ටත් නටන්න පුළුවන්, සතුටු වෙන්න පුළුවන්, සාදවලට සහභාගි වෙලා ගීතවලට අත්පුඩි ගසන්න පුළුවන්. නමුත් ඔවුන්ට තාලයක් රිද්මයක් එහෙම දන්නේ නැහැ. තමන්ට දැනෙන තාලය මුල් කරගෙන එයා ක්‍රියාකාරකමේ යෙදෙනවා.”

 

“මෙය සාමාන්‍ය සංඥා භාෂා පරිවර්තනය නොවේ. සංඥා භාෂා නර්තන අර්ථ නිරූපණය කියන්නේ, පාද හසුරුවමින් සංගීතය නැටුම් වගේ දේවල් පිළිබඳව බිහිරි ප්‍රජාවට සංඥා භාෂාව යොදා ගෙන නර්තනයෙන් අර්ථ නිරූපණයක් කිරීමයි. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. ඒ අනුව සංගීතය සෑම පුද්ගලයෙකුටම රස විඳින්න හැකියාව තිබිය යුතුයි. සංඥා භාෂාවෙන් ප්‍රවෘත්ති පරිවර්තනය කරන අය, වචන පරිවර්තනය කරන අය ඉන්නවා. නමුත් සංගීතය, නර්තනය හා නාට්‍ය කලාව වගේ දෘශ්‍ය මාධ්‍ය සංඥා භාෂාවෙන් පරිවර්තනය වෙනවා අඩුයි.”

 

“මම නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තා. ඒ අනුව උඩරට, පහතරට, භරත හා සබරගමු වගේ නර්තන ශෛලීන් ඉගෙන ගෙන තිබෙනවා. ඒ නර්තනවලදී මුද්‍රා පාවිච්චි කරනවා. සංඥා භාෂාවේ එන මුද්‍රා භරත නාට්‍යම්, උඩරට, පහත රට, සබරගමු ශෛලීන්වලදී පාවිච්චි කරනවා. මේ සඳහා සංඥා භාෂාව අර්ථාන්විතව යොදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් නර්තනයේ දී පාදය මූලික කරගෙන තමයි නර්තනයේ යෙදෙන්නෙ. සංඥා භාෂාව සිදු කරන්නේ හස්ත මුද්‍රාවෙන්. පසුකාලීනව මම හිතුවා උඩරට, පහතරට, භරත නාට්‍යම්වල වගේ පාද මූලික කරගෙන සංඥා භාෂාව දියුණු කරන්න, එහි ප්‍රතිඵලයක් ලෙස තමයි සංඥා භාෂා නර්තන අර්ථ නිරූපණය සංකල්පය ගොඩනැගෙන්නෙ. මේ වෙන විට මම ජාතික අධ්‍යාපන ආයතනය හා සමාජ සේවා දෙපාර්තමේන්තුව යන ආයතන දෙක සමඟ එකතුවෙලා සංඥා භාෂා නර්තන අර්ථ නිරූපණය සංකල්පය යොදා ගෙන ළමා ගී පෙළක් කරලා තිබෙනවා.”

ආබාධිත දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ ක්ෂේත්‍රය අද වෙන විට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පාදක ප්‍රවේශයක් ලෙස සලකනු ලබන අතර, කිසිදු දරුවෙකුව අධ්‍යාපනයෙන් බැහැර නොකරන සමාජයක් නිර්මාණය කිරීම මෙහි අවසාන අරමුණයි. මෙවැනි දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ වන්නේ, දරුවන්ට සමාජයේ පූර්ණ හා සමාන සහභාගිත්වයක් සඳහා අවස්ථාව ලබා දීමය. 

“සාමාන්‍ය දරුවෙක් ඉගෙන ගන්නා විෂය මාලාවම තමයි විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ටත් තිබෙන්නෙ. නිදසුනක් වශයෙන් උසස් පෙළට නාට්‍ය හා රංග කලාවේ විෂය මාලාවේ විකෘති නාට්‍ය තිබෙනවා නම්, ඒ විෂය මාලාවම තමයි උසස් පෙළ කරන බිහිරි දරුවාට තිබෙන්නෙත්. වන්නම් 18 න් සාමාන්‍ය දරුවෙකුට තුරඟා වන්නම, මයුරා වන්නම වැනි වන්නම් තිබෙනවා නම්, බිහිරි දරුවන්ටත් ඒ වන්නම් ටික තමයි තිබෙන්නෙ. හැබැයි මේ ළමයි ඒ වන්නම් කියන්නේ මොකක් ද? ගීතය කියන්නේ මොකක් ද? රසවින්දනය, රසාස්වාදය, තාලය, හැඩය හා චලනය වගේ දේ ගැන බිහිරි දරුවන්ට දැනුමක් නැහැ. සංඥා භාෂා නර්තන අර්ථ නිරූපණය සංකල්පය යොදා ගෙන නාට්‍ය නැටුම් වගේ දේවල් සංඥා භාෂාවෙන් නියම විදිහට පරිවර්තනය කරන්න පුළුවන්. සංඥා භාෂා නර්තන අර්ථ නිරූපණය සංකල්පය යොදා ගෙන අපි කරලා තිබෙන ළමා ගී පෙළ පාසල්වලත් උගන්වනවා.” 

මිහිඳු සෙත් මැදුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය යනු ශ්‍රී ලංකාවේ යුද්ධයේ දී බරපතළ ලෙස ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් අත්තිඩියේ පිහිටුවා ඇති සුවතා නිකේතනයකි. රණවිරුවන් ගේ ශාරීරික, මානසික හා ආධ්‍යාත්මික සුවතාව වෙනුවෙන් මෙහි වෛද්‍ය පහසුකම්, ව්‍යායාම පහසුකම් සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් සපයා ඇත. 

“මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආබාධිතතා විශේෂඥවරියක ලෙසත්, මනෝ චිකිත්සකවරියක ලෙසත්, මම සේවය කරනවා. ඊට අමතරව රංග චිකිත්සාව, නර්තන චලන චිකිත්සාව, චර්යා චිකිත්සාව යන මනෝ විද්‍යාත්මක ක්‍රමවේද මනෝ චිකිත්සන උපදේශනයට මම භාවිතා කරනවා.”

එසේම නාරාහේන්පිට පිහිටුවා ඇති ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙනෙහස විශේෂ අවශ්‍යතා පාසලේ ද මනෝ චිකිත්සන උපදේශිකාවක ලෙස ද ඇය සේවය කරයි.

“සෙනෙහස විශේෂ අවශ්‍යතා පාසලේ ඉන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ රණවිරුවන් ගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්. එතන විවිධ සංකූලතා තිබෙන ආබාධ තිබෙන දරුවන් ඉන්නවා.”

“සංඥා භාෂාව කියන්නේ, දෘශ්‍ය භාෂාවක්. Visual Language එකක්. බලන් ඉඳලා තමයි අවබෝධ කර ගන්න පුළුවන්. අපි හිතමු බිහිරි හා ඇස් නොපෙනෙන දරුවෙකුට සංඥා භාෂාව අවබෝධ කර ගන්න හඳුනා ගන්න බැහැ. එවැනි දරුවන්ට තිබෙනවා ස්පර්ශ සංඥා. ඇඟට ස්පර්ශ කරලා සංඥා භාවිතා කරන ක්‍රමවේදයක් තිබෙනවා. එතකොට අත් නැති අයට පාද භාවිතා කරමින් කරන ක්‍රමවේදයක් තිබෙනවා. ඊට අමතරව බිහිරි දරුවෙක් යම්කිසි විදිහකින් ඌනතාවක් තිබුණොත් මේ දරුවාට සංඥා භාෂාව භාවිතය අපහසු වෙනවා. එතකොට තමයි රසවින්දනය, රසාස්වාදය, ගීත කලාව හරහා සංඥා භාෂා අර්ථ නිරූපණය උගන්වන්නෙ. ඒ අනුව සංඥා භාෂාව භාවිත කරන්නේ බිහිරි හා ශ්‍රවණ ඌනතා ඇති දරුවන් පමණයි කියලා නැහැ. සමහර ඔටිසම් තත්වයන් සහිත දරුවන්ට වචන උච්චාරණය කරන්න බැහැ. Speach Therophy (කථක තෙරපි) වලිනුත් ඒ දරුවන් වචන උච්චාරණය කරන්න බැහැ. ඒ අය සංඥා භාෂාවට ප්‍රතිචාර දක්වනවා සහ සංඥා භාෂාව භාවිතා කරනවා. පංති කාමර තුළ ඉන්නවා ඌන අවධානයක් සහිත දරුවන්. ඔවුන් ගුරුවරයාට අවධානය දෙන්නේ නැහැ. පාඩමට අවධානය දෙන්නේ නැහැ. ඒ වගේම අධි ක්‍රියාශීලි දරුවන් ඉන්නවා. ඔවුන් ද ගුරුවරයාට අවධානය දෙන්නේ නැහැ. එහෙම දරුවන්ගේ අවධානය ලබා ගන්න ක්‍රමවේදයක් ලෙසත් මම සංඥා භාෂාව භාවිත කරනවා.”

සියුම් චාලක කුසලතා දරුවන්ගේ වර්ධනයේ වැදගත් අංගයක් ලෙස සලකනු ලැබේ. සියුම් චාලක කුසලතා යනු ශරීරයේ කුඩා මාංශ පේශි, විශේෂයෙන්ම අත්, ඇඟිලි හා මැණික් කටුවෙහි මාංශ පේශි භාවිතා කරමින්, ඇස්වල සම්බන්ධීකරණය සමග ඉතා නිරවද්‍යව, කුඩා චලන සිදු කිරීමේ හැකියාවයි.

“මෙයට ඇඟිලි තුඩු ව්‍යායාමය කියලත් කියනවා. දරුවන් කුඩා කාලයේ දී කරන ඇඟිලි තුඩුවලින් රූපයට මුං ඇට ඇලවීම, පරිප්පු ඇට ඇලවීම වගේ ක්‍රියාකාරකම් දරුවන්ගේ මොළයේ ස්නායු වර්ධනයට ඉතා වැදගත්. සංකල්ප සාධනයට, මතක ශක්තියට අපේ ස්නායුවල බලපෑමට ඇඟිලි තුඩු ව්‍යායාමය ඉතා වැදගත්. ඒ සඳහා සංඥා භාෂාව හරහා දරුවන්ට ව්‍යායාමයත්, සරල සංයම අභ්‍යාසයන් වලින් දරුවන් ග්‍රහණය කර ගන්න පුළුවන්. මෙය ව්‍යායාමයක් විදිහට වගේම මානසික ප්‍රතිකාරයක් විදිහටත් භාවිතා කරනවා.”

“සංකූලතා ඇති දරුවන්ටත් සාමාන්‍ය දරුවන්ට වගේම ආසා තිබෙනවා. ඔවුන්ටත් නටන්න පුළුවන්, සතුටු වෙන්න පුළුවන්, සාදවලට සහභාගි වෙලා ගීතවලට අත්පුඩි ගසන්න පුළුවන්. නමුත් ඔවුන්ට තාලයක් රිද්මයක් එහෙම දන්නේ නැහැ. තමන්ට දැනෙන තාලය මුල් කරගෙන එයා ක්‍රියාකාරකමේ යෙදෙනවා.”

ආබාධිත ප්‍රජාවන්ගේ අනාගතය අභියෝග රැසක් මැද, සවිබල ගැන්වීම සහ පූර්ණ ඇතුළත් කිරීම වෙත ගමන් කරන ගමනකි. තාක්ෂණයේ දියුණුව, ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ සමාජ ආකල්පවල පරිවර්තනය ඔස්සේ මෙම අනාගතය හැඩගැසෙමින් පවතී. ආබාධිත ප්‍රජාවේ අනාගතය වඩාත් ප්‍රවේශ විය හැකි, ස්වාධීන සහ ඇතුළත් එකක් වනු ඇත. ඔවුන්ගේ අයිතිවාසිකම් සහ නායකත්වය පිළිගැනීමෙන් වඩාත් සාධාරණ සහ මානව හිතවාදී ලෝකයක් ගොඩනැගීමට අවස්ථාව ලැබෙනු ඇත.

“ශ්‍රී ලංකාවේ සිටින විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් ඉදිරියේ දී සිදු කළයුතු වැඩපිළිවෙළවල් කීපයක්ම අපි කරන්නට බලාපොරොත්තු වෙනවා. දැනට අලු‍ත් වැඩක් විදිහට පාසල් විෂය නිර්දේශයේ තිබෙන මනමේ, සිංහබාහු වගේ වේදිකා නාට්‍ය ගීත පළමු වතාවට දරුවන් වෙනුවෙන් සංඥා භාෂාවෙන් නර්තන අර්ථනිරූපණය කළා. බිහිරි, ශ්‍රවණ ඌනතා, බුද්ධිමය ඌනතා දරුවන්, අධික්‍රියාශීලි හා ඔටිසම් තත්ත්වයේ දරුවන්ට මෙමඟින් ගීතයේ අරුත තේරුම් ගන්න පුළුවන්. ගීතයෙන් දෙන පණිවිඩය මොකක්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. මෙම නව සංකල්පය ගැන ඒ දරුවන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබුණා. ඒ ගැන මට ගොඩක් සතුටුයි.” 

“අධ්‍යාපන ක්ෂේත්‍රයට, ඒ වගේම විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රයට, විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ භාෂාවක් වන සංඥා භාෂාව ශ්‍රී ලංකාව තුළ යම් තැනකට ගෙනයන්න පුරෝගාමී මෙහෙවරක් මට කරන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මේ තරම් කාලයකට සංඥා භාෂාවට හෝ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ හඬක් නැඟුණේ නැහැ. මේ වෙන විට සංඥා භාෂාව පිළිබඳව පාර්ලිමේන්තුව තුළ ද විවාදාත්මකව කතාබහක් ඇතිවෙලා තිබෙනවා. මගේ සංකල්පයක් වන සංඥා භාෂා නර්තන අර්ථ නිරූපණය හරහා මිනිස්සුන්ට මම දුන් පණිවිඩ, ගීත නිර්මාණ වැලඳගෙන, නිර්මාණාත්මක සන්නිවේදනය පිළිබඳව වටහා ගෙන තිබීම ගැන මම සතුටු වෙනවා. ඒ වගේම ඒ හරහා මේ වෙනකොට පුළුල් රැකියා අවස්ථා උදා වෙලා තිබෙනවා. නව උපක්‍රමවලින් සංඥා භාෂාවෙන් පරිවර්තනය කරන පරිවර්තකවරුන්ටත් ලංකාවෙහි නිසි තැනක් ලැබිලා තිබෙනවා. මේ අනුව සංඥා භාෂාවෙහි වෙනසක් ඇති කිරීමට හැකි වීම ගැනත් මම නිහතමානීව සතුටු වෙනවා.”

එම්. තාරික්

නිරූපණය අනුව සංඥා හදාරමින්

 සංඥා බසින් සංවාදයක්