පෙර භවයේ බිරියට ප්‍රතකු වී යළි උපන් දරුවෙක්


• තාත්තාට අමතා තිබෙන්නේ පෙර භවයේ නමින්
• ඉන්දියාවේදී වකුගඩුව දුන් දෙමළ කතක් පින්තූරයකින් හඳුනාගෙන.

 

මොරටුවේ පදිංචිව සිටි ඉන්ද්‍රසිරි සහ දයානි වසර කීපයක් ආදර සබඳතාවයකින් ඇසුරු කිරීමෙන් පසු විවාහ ජීවිතයට ඇතුළත් වූ පෙම් යුවළකි. වසර පහළොවක් යන තුරුත් බිරියට දරුවෙකු පිළිසිඳ ගැනීමක් සිදු නොවිණි. ඒ අතර සැමියා වකුගඩු රෝගයකට ගොදුරු විය. රෝගය උත්සන්නවීම නිසා වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි  වෛද්‍ය නිර්දේශය විය. ඒ සඳහා ඔහු ඉන්දියාවේ රෝහලක් වෙත ගියේය. ඔහුට වකුගඩුවක් ලබාදීමට මාරි අම්මා නම් 26 හැවිරිදි තරුණියක් ඉදිරිපත් වූවාය. 1992 අගෝස්තු මාසයේදී රෝහලට ඇතුළත් වූ ඔහු සැප්තැම්බර් 25 වැනිදා වකුගඩු බද්ධ කිරීම සිදුකැරිණි.

ලක්ෂ පහක පමණ මුදලක් ඒ සඳහා වැය වී තිබුණි. සැත්කමෙන් පසු සුවය ලැබූ ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහුගේ ප්‍රතිකාර කිරීම්වලට බිරිය සහ සැමියාගේ සොහොයුරා මූලික වී කටයුතු කරමින් ඔහු රැකබලා ගත්හ. වසරක් ගතවිණි. නැවතත් ඔහු රෝගාතුර විය. ඉතා අධික මිල ගණන්වලින් යුතු ඖෂධ වර්ග ඔහුට ලබා දුන් නමුත් සතුටුදායක ප්‍රතිඵලයක් නොලැබිණි. අවසානයේ ඔහු සුවපත් කිරීම අපහසු බැව් වෛද්‍යවරු ප්‍රකාශ කළහ. ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර සිටි ඔහු නිවෙසට රැගෙන එනු ලැබීය. නිවසේදී ඔහුට උපස්ථාන සිදුකරනු ලැබුවේ ඔහුගේ බිරිය වූ දයානි සහ එකම සොහොයුරා වූ ජයසිරිය. ඉතාමත් අසාධ්‍යව සිටියදී දිනක් ඔහු සිය බිරියට සහ සොහොයුරාට කතා කළේය.

‘ඔය දෙන්නම මගේ අත් අල්ලගන්න’ යැයි ඔහු පැවැසීය. ඔවුන් දෙදෙනාම ඔහුට ළංවී අත් අල්ලා ගත්හ. ඔහු තම සොහොයුරා ඇමතීය.

‘මගේ සුදු මල්ලී ඔයා අක්කාව බලා ගන්නවා නේද?’ යැයි තම සොහොයුරාගෙන් විමසීය. ‘ඔව් අයියේ මම බලාගන්නම්’ දැරිය නොහැකි ශෝකයෙන් කඳුළු පිරි දෙනතින් යුතුව ජයසිරි පැවැසීය.

ගතවූයේ තත්ත්පර කීපයකි. ඔහු අල්ලා සිටි අත් පහතට කඩා වැටුණි. ක්ෂණයෙන් ඔහු මෙලොව අතහැර ගියේය. බිරිය සහ සොහොයුරා ඇතුළු ඥාති මිත්‍රයන් එකතු වී ඔහුගේ අවසන් කටයුතු සිදුකළහ. වසරක් ගතවිය මහත් දුකෙන් සිටි බිරිය සැමියා වෙනුවෙන් දානමය පින්කමක් සූදානම් කළාය.

ඉන්ද්‍රසිරි සහ දයානි විවාහ වූදා

 

1949 ජූලි 11 වැනිදා මෙලොව එළිය දැක තිබූ ඉන්ද්‍රසිරි මරණයට පත්වූයේ 1996 මාර්තු 16 වැනිදාය. අවුරුද්දේ පින්කම සිදුකරන විට බිරිය තීරණයක් ගෙන තිබිණි. එනම් සිල් මාතාවක් ලෙස ජීවත්වීමටය. ඇය ඒ බැව් ඥාතීන්ට දැනුම් දුන්නාය. ඇගේ එම අදහස ශ්‍රවණය කළ ඥාතීහු වැඩි පිරිසක් ඇයට යෝජනාවක් ඉදිරිපත් කළහ.

එනම් මියගිය සැමියාගේ මල්ලී සමග විවාහ වී නැවත විවාහ ජීවිතයක් ගත කරන ලෙසය. සොහොයුරාද ඉන්ද්‍රසිරිට පණ මෙන් ආදරය කළ බැව් ඇය දනී. ඒ නිසා සැමියාට පින් පිණිස පින්කම් සිදුකිරීමට වුවත් ජයසිරිගෙන් කිසිදු බාධාවක් නොවන බැවින් එයට එකඟවීමට ඇය තීරණය කළාය. එලෙසම තම මියගිය සොහොයුරා අවසන් වරට ඔහුගෙන් කරන ලද අවසාන ඉල්ලීම සිහිපත් කළ සොහොයුරු ජයසිරිද ඒ පිළිබඳ කැමැත්ත පළ කළේය. ඔවුන් දෙදෙනාම ගත් තීරණය අනුව දයානි දෙවන විවාහයේ සහකරු ලෙස ඉන්ද්‍රසිරිගේ මල්ලී සමග විවාහ ජීවිතයට ඇතුළත් වූවාය.

නව යුවල යුගදිවිය අරඹා වසරක් ගතවීමත් සමග ඇය දරුවෙකු පිළිසිඳ ගැනීමක් සිදුවී තිබිණි. ඇයට ඒ බැව් අදහාගත නොහැකි තරම් කරුණක් වී තිබුණි. ඇය ඒ බැව් තහවුරු කර ගැනීමට වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටියාය. වෛද්‍ය තීරණය වූයේ නියත වශයෙන්ම ඇය දරුවෙකු පිළිසිඳගෙන ඇති බවය.

මේ අතර ඇය සිහිනයක් දුටුවාය. රෝස පැහැති ඇඳුමකින් සැරසුණු රුවක් ඇය වෙත පැමිණ ඇයට බිහිවන දරුවාට භාග්‍ය දෙව්මිණ යනුවෙන් නම තබන ලෙසය. එම දරුවාගේ පැහැදිලි උපන් ලපයක් දක්නට ලැබෙන බවත් කීවේය. කතා කළ පුද්ගලයා කව්දැයි ඇයට දක්නට නොලැබිණි. මව් කුසට මාස හයක් පමණ වන තුරුත් කුස තුළ සිටින දරුවාගේ චලනයවීමක් හෝ ඇයට දක්නට නොලැබිණි. සැමියා සමගද ඒ බැව් පැවසූ ඇය එහිදී ස්කෑන් පරීක්ෂණයක් සිදුකළ වෛද්‍යවරයා ඒ මගින් පිළිසිඳගෙන සිටින දරුවාව දැකගැනීමටද ඇයට සලස්වනු ලැබීය. එහෙත් තවත් දින කීපයක් ගත විය. කිසිදු චලනය වීමක් දරු ගැබ තුළත් ඇයට නොදැනුණි.

මේ අතර දිනක් රූපවාහිනියෙන් ධර්මදේශනාවක් ශ්‍රවණය කරමින් සිටි ඇය මව් කුස එහි තිරයේ ස්පර්ශ වන අයුරින් තබාගත්තාය. ටික වේලාවක් ගතවිය. දරුව මව් කුස තුළ චලනයවීමක් ආරම්භ කළේය. මහත් වූ සතුටින් ඇය සැනසිලි සුසුම් හෙළුවාය. තවත් මාස දෙකක පමණ ගත විය. 2001 ජනවාරි 17 වනදා ඇය සිසේරියන් සැත්කමක් මගින් පිරිමි දරුවකු මෙලොවට බිහි කළාය. සිහිනෙන් ලබා දී තිබූ නම සිහිපත් කළ ඇය තම පුත්‍රයාට ‘දෙව්මිණ’ යනුවෙන් නම් තැබුවාය. එහෙත් උපන් ලපයක් ගැන ඇයට සිහිපත් නොවීය. එහෙත් පියාට එය සිහිපත් වී තිබුණි.

පියා තම පුත්‍රයාගේ සිරුර පරීක්ෂා කළේය. ඔහුගේ සිරුරේ පැහැදිලි උපන් ලපයක් දක්නට ලැබිණි. එක් වරම ඔහුට සිහිපත් වූයේ තම මියගිය සොහොයුරාගේද සිරුරේ එවැනිම ලපයක් තිබූ බවය. ඒ බවක් ඔහු බිරිය සමග හෝ කතා නොකළේය. මාස කීපයක් ගතවන විට දෙව්මිණ බහ තෝරන්නට විය. මියගිය ඉන්ද්‍රසිරිගේ ඡායාරූපය සමග වෙනත් ඥාතීන් රැසකගේ ඡායාරූප නිවසේ තබා තිබුණි. පුංචි දෙවිමිණ දෙමාපියන් වඩාගෙන යන අවස්ථාවලදී ඡායාරූප ඇති ස්ථානයේදී එක් ඡායාරූපයක් දෙසට අත දිගු කරන්නටත් කිසියම් දෙයක් කියන්නට උත්සාහ ගන්නා බවක් මව්පියන්ට දක්නට ලැබුණි. එහෙත් ඒ පිළිබඳව මාපියෝ කිසියම් අවධානයක් යොමු නොකළහ.

දෙව්මිණගේ පුනර්භව පර්‌යේෂණයට පැමිණි ජපන් ජාතික ආචාර්යවරියක්

 

තවත් සති කීපයක් ගත විය. දිනක් මව අතේ වඩාගෙන සිටි දෙව්මිණ එක් ඡායාරූපයක් දෙසට අතඟිල්ල දිගුකරමින් ‘%මේ මම’ මේ මම’ යැයි කීවේය. මවට ඒ පිළිබඳවව සැකයක් මතු වුවත් ඇය කිසිවක් නොවිමසුවාය. මේ අතර දිනක් රෝගී පුද්ගලයෙක් පැමිණ කිසියම් ආධාරයක් දෙන ලෙස ඉල්ලා සිටියේය. ආධාර දෙන අයගේ නම් ලියාගැනීමට එම පුද්ගලයා අත කඩදාසියක් තිබුණි. දරුවාගේ මව අතට එයදී නම ලියාදෙන ලෙස එම පුද්ගලයා ඉල්ලා සිටියේය. ඉන්ද්‍රසිරිට පින් පිණිස යැයි ලියාගන්නා ලෙස ඇය එම පුද්ගලයාට පැවසුවාය.

වහා ඒ අසලට දුව පැමිණි කුඩා දෙව්මිණ දරුවා ‘එපා, %එපා ඉන්ද්‍රසිරිට පින් පිණිස කියල ලියන්න එපා.’ මම තමයි ඉන්ද්‍රසිරි දෙව්මිණිට දීර්ඝායු කියල ලියාගන්න’ යැයි පැවැසීය. මව මවිතයට පත්වූවාය. ඒ බැව් තම සැමියාට ද ඇය දැනුම් දුන්නාය. මේ වන විට දෙව්මිණ දරුවාට හොඳින් කතාකිරීමේ හැකියාව ලැබි තිබුණි. ඔහු තුළින් මතුවූ තවත් විශේෂයක් විය. එනම් ඔහු පියාට ‘%සුදු මල්ලී’ යනුවෙන් ඇමතීමය! ඒ අයුරින් පියාට අමතනු ඇසුණු විටෙක ‘%තාත්තාට මල්ලි කියන්න එපා ඒ ඔයාගේ තාත්තා’ යැයි දරුවාට පැවසුවද ඔහු පියාට හැම විටම අමතන්නට වූවේ ‘%මල්ලී’ යනුවෙනි. මේ වන විට තම පුත්‍රයා මියගිය සොහොයුරා ලෙස ඉපදී ඇතැයි යන මතය පියාට පැහැදිලි වි තිබුණි. එහෙත් ඒ පිළිබඳව පැහැදිලිව තොරතුරු විමර්ශනය කර ගැනීමට ඔහුට අවශ්‍ය විය. එතැන් සිට පුත්‍රයාගේ ප්‍රකාශ පිළිබඳව උනන්දු වන ලෙස ඔහු බිරියට ද සැලකර සිටියේය.

මේ වන විට දෙව්මිණ පෙර භව පුද්ගල නම් කීපයක්ද අනාවරණය කර තිබුණි. තවත් දවසක් පියා ඇමතූ දෙව්මිණ ‘“අපි ඉස්සර වෙසක් එකට තොරණ හදනවා. දවසක් අපි මුචලින්ද නාග දරණ හැදුවා” යැයි කියමින් ඒ වන විට ඉන්ද්‍රසිරි ළඟින්ම ඇසුරු කළ පුද්ගලයෙකුගේ නමක් හෙළි කළේය. කුලරත්න කියලා මගේ යාළුවෙක් හිටියා.  අපි එයා බලන්න යමු යැයි කීවේය. පුත්‍රයාගේ ප්‍රකාශ පිළිබඳව පරීක්ෂණයක් කිරීමට එය හොඳම අවස්ථාව ලෙස සැලකූ දෙව්මිණිගේ පියා දිනක් කිසිවක් ප්‍රකාශ නොකර ත්‍රිරෝදයක නංවාගෙන කුලරත්න ගේ නිවෙස අසලට ගියේය. රථය නැවැත්වූ සැනින් ඉන් බැසගත් දෙව්මිණ වහා එම නිවස අසල ගේට්ටුව වෙත ගොස් ‘“කුලරත්න අයියේ, කුලරත්න අයියේ” යැයි හඬ නඟා කතා කරන්නට විය.

නිවසින් පිටතට පැමිණ කුලරත්න දුටු සැණින් දෙව්මිණ ඔහු ඇමතුවේය. ‘“ඔයාට මතක නැද්ද අපේ මුචලින්ද නාගයාට ඔයා ලයිට් දැම්මා” යැයි කීවේ ඔහු පුදුමයට පත් කරවමිනි.

තවත් දිනක් ඔහු සමග රෝහලට ගිය දෙව්මිණ එහිදී හමුවූ පුද්ගලයෙකු දෙස ඇසිපිය නොහෙළා ටික වේලාවක් බලා සිටියේය. මවද දරුවාගේ එම හැසිරීම දෙස බලා සිටියේය. මොහොතක් එක එල්ලේ ඔහු දෙස බලා සිටි දෙව්මිණ ඔහු ඇමතුවේය. ‘“ඔයා නේද අර අපි ඉස්කෝලෙ යන කාලේ තැපැල් පෙට්ටියට ගලක් දාල මාව අහුකළේ” යැයි කීවේය. ඒ පිළිබඳව කළ විමසීමේදී තහවුරු වූයේ ඉන්ද්‍රසිරි සමග එකට පාසල් ජිවිතය ගත කළ ශිෂ්‍යයෙකු වූ ඔහු හඳුනාගත් පුද්ගලයා තැපැල් පෙට්ටියක් තුළට ගලක් දැමීමේ සිද්ධියකදී ඉන්ද්‍රසිරි හසු වී අන් අය බේරී ඇති බවය.

දෙව්මිණ සිය පියාගේ දේහය අසල මව සමග පසුගිය මැයි මාසයේදී

 

මෙම සිදුවීම් මාලාවට අමතරව නිවසේ භාණ්ඩ රැසක්ද දෙව්මිණ හඳුනාගෙන ඒවා තමා සිටි අවදියේ  නිවසේ තිබූ භාණ්ඩ බවත් ඒවා ගෙනා හැටිත් පැහැදිළිව ප්‍රකාශ කළේය. මේ වන විට තම පුත්‍රයාගේ පුනර්භව ජිවිතය සනාථ වන බැව් මව්පියන්ට පැහැදිලිව දක්නට ලැබිණි. එහෙත් එය ඉතා රහසිගතව තබා ගැනීමට ඔවුහු උත්සාහ කළහ.

පසුව දෙව්මිණ දරුවාගේ පෙරභව ජීවිත තොරතුරු විමර්ශනය කිරීමට ඔවුහු මට අවස්ථාව ලබා දුන්හ. ඒ අනුව දෙව්මිණ දරුවා හමුවී ඔහුගෙන් තොරතුරු විමසීමට අපට අවස්ථාව ලැබුණි. එදා ප්‍රථම වරට දෙව්මිණට ඉදිරිපත් කළ ප්‍රශ්නත් ඔහු ඒවාට ලබා දුන් පිළිතුරුත් ඒ අයුරින්ම මෙසේය.

ප්‍රශ්නය:- දැන් ඔයාගේ නම  මොකක් ද?
පිළිතුර:-
දෙව්මිණ

ප්‍රශ්නය:- ඉස්සර නම මොකක් ද?
පිළිතුර:-
ඉන්ද්‍රසිරි

ප්‍රශ්නය:- ඉන්ද්‍රසිරිගෙ නෝන කව්ද?
පිළිතුර:-
දයානි. දැන් මගේ අම්මා

ප්‍රශ්නය:- ඔයාගේ තාත්තගෙ නම මොකක් ද?
පිළිතුර:-
ජයසිරි ඒ මගේ ඉස්සර මල්ලී

ප්‍රශ්නය:- ඔයාට එහෙදි මොකද වුණේ?
පිළිතුර:-
වකුගඩු ලෙඩ වුණා.

ප්‍රශ්නය:- බෙහෙත් කළේ කව්ද?
පිළිතුර:-
ඉන්දියාවෙ ඉස්පිරිතාලෙකදි.

ප්‍රශ්නය:- මොනවද කරපු බෙහෙත්
පිළිතුර:-
වකුගඩුවක් දැම්මා.

ප්‍රශ්නය:- වකුගඩුව කොහෙන්ද?
පිළිතුර:-
මාරි අම්මාගෙන්

ප්‍රශ්නය:- මාරි අම්මා මොන වගේ ද?
පිළිතුර:-
‘“මම පෙන්වන්නම්” යනුවෙන් පිළිතුරු දුන් දෙව්මිණ නිවසේ තිබූ ඡායාරූප ඇල්බමයක් මවගෙන් ඉල්ලාගෙන මා වෙත පැමිණියේය. අනතුරුව එහි තිබූ තරුණියකගේ ඡායාරූපයක් මට ඉදිරිපත් කළේය. වකුගඩුව දුන් මාරි අම්මාගේ ඡායාරූපය එය විය. මා ඉදිරිපිටදීද පියාට ඔහු ඇමතුවේ මල්ලී යනුවෙන් වීම විශේෂත්වයක් විය. මීට අමතරව ඉන්ද්‍රසිරිගේත් දයානිගේත් මංගල ඡායාරූපය පෙන්වමින් ‘“මේ අපේ මඟුල් පින්තූරෙ” යැයි දෙව්මිණ පවසන්නට වී ඇත්තේ වයස අවුරුදු තුනේ පමණ සිටය. මින් අනතුරුව මෙම පුනර්භව පර්‌යේෂණයේදී ඉන්ද්‍රසිරිගේ මල්ලී වූ ජයසිරිගෙන්ද ඒ පිළිබඳව විමසීමට අපට අවස්ථාව ලැබිණි. එහිදී ජයසිරිට ඉදිරිපත් කළ ප්‍රශ්නත් ඔහු දුන් පිළිතුරුත් මෙසේය.

ඉන්ද්‍රසිරි සිය මල්ලී සමග

ප්‍රශ්නය:- ඔබේ සොහොයුරා ගැන මතකයේ තිබෙන්නේ මොනවා ද?

පිළිතුර:- එයා මැරුණු දවසෙ ඒ දුක වේදනාව විඳ දරාගන්න බැරිව අනේ අයියේ නැවත අප අතරට එන්න යැයි කියමින් මා හැඬූ අයුරු මට මතකයි.

ප්‍රශ්නය:- එවැනි ඉල්ලීමක් කළේ ඇයි?
පිළිතුර:-
දුක ඉවසාගන්නට බැරිව

ප්‍රශ්නය:- ඔබේ පුත්‍රයා මියගිය අයියා ලෙස ඉපදී ඇතැයි ඔබ පිළිගන්නවා ද?
පිළිතුර:-
ඔව්.

ප්‍රශ්නය:- එයට හේතු මොනවා ද?
පිළිතුර:-
මගේ පුතා කතා කරන්න පටන් ගත්ත දවසෙ ඉදන් මට මල්ලී කියල කතා කළා. එවැනි පුංචි දරුවෙක් තාත්තට මල්ලී කියල කතා කිරීමම මගේ පුදුමයට හේතුවුණා.

ප්‍රශ්නය:- වෙනත් කරුණු මොනවා ද?
පිළිතුර:-
මගේ අයියාට වකුගඩුව ලබා දුන් ද්‍රවිඩ තාත්තාව මා දැක තිබුණේ නෑ. මගේ බිරිඳත් අයියත් පමණයි එයාව දැකල තිබුණේ. ඒ තරුණියගේ ඡායාරූපය දැකල පුතා එක පාරටම එයාව අඳුනගෙන නම පවා ප්‍රකාශ කළා.

ප්‍රශ්නය:- වෙනත් හඳුනා ගැනීම් මොනවා ද?
පිළිතුර:-
අයියාගේ මිතුරන් කීප දෙනෙක්ම අඳුනාගෙන ඔවුන් සමග ගත කළ ජීවිත තොරතුරු නිවැරදිව හෙළි කළා. එක සිදුවීමක් මම පරීක්ෂා කරන්න මිතුරෙකුගේ නිවෙසක් අසලට රැගෙන ගියා. එකවරම එයාගේ නම කියල කතා කළා. ඒ විතරක් නෙවෙයි එයත් එක්ක වෙසක් උත්සවයකදී කරපු සැරසිල්ලක් ගැනක් හෙළි කළා. දෙව්මිණ දරුවා ඇගේ  පෙර සැමියා ලෙස පිළිගැනීමට ඇති සාක්කි මොනවාදැයි අප ඊළඟට දයානිගෙන් විමසීමක් කළෙමු. එහිදී ඇය දුන් පිළිතුරු මෙසේය.

‘“පුංචි කාලෙ ඉඳල තාත්තට මල්ලි කියපු එක ප්‍රධාන දෙයක්. එයා තාත්තට මල්ලි කියන කොට මම ඒක හරිගස්සන්න තාත්ත කියන්න කියල කිව්වත් එයා කතා කළේ මල්ලී කියල. මටත් එයා නෝනා කියන්න පටන් ගත්තා.  දවසක් මම එයත් එක්ක රෝහලකට ගිය වෙලාවෙ එතැන සිටි කෙනෙක් දිහා ටික වේලාවක් බොහොම කල්පනාවෙන්  වගේ බලා සිටියා. මම ඇහුවා ඇයි පුතා කියලා. එක පාරටම එයා ඒ පුද්ගලයා ළඟට ගිහින් එයාව අඳුනගෙන කතා කළා. එදා එයාට හමුවුණේ ඉන්ද්‍රසිරි එක්ක එකට පාසල් ගිය ශිෂ්‍යයෙක්. මේ සිදුවීම් සියල්ල නිසා මගේ පුතා ඉන්ද්‍රසිරි කියල මම පිළිගන්නවා” යැයි දයානි අප සමග පැවසුවාය.

දෙව්මිණ දෙමාපියන් සමග කුඩා කාලයේදී

පෙරභවයේ මල්ලීගේ පුත්‍රයෙකු ලෙස ජීවිත තොරතුරු හෙළි කළ දෙව්මිණ දැන් උපාධි අපේක්ෂකයෙකි. මීට සති කීපයකට උඩදී ඔහු මට නැවත හමුවූයේ සිය පියාගේ වියෝවෙන් පසුවය. දෙව්මිණ ඔහු මල්ලී ලෙස පියාට ඇමතීම පිළිබඳව ඔහුගේ මතකය පිළිබඳව ඔහුගෙන් නැවත විමසීමටද අවස්ථාව ලැබිණි. එහිදී දෙව්මිණට ඉදිරිපත් කළ ප්‍රශ්නවලට ඔහු දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය:- ඔබේ පියාට මල්ලී යනුවෙන් ඇමතීම ඔබට මතක ද?
පිළිතුර:-
ඔව්. බොහෝ කලක් යනතුරු මම තාත්තට මල්ලී කියල කතා කරන්න පුරුදුවෙලා සිටියා. එය පෙරභවයේ කතා කළ අයුරු මතකයේ තිබීම නිසයි. ස්ථීර ලෙසම මව පෙර භවයේදී තාත්තාගේ අයියා ලෙස බව මතකයේ තියෙනවා. කුඩා කල කරපු සියලු ප්‍රකාශ මට මතක නැහැ. ඒත් ඒ ගතකරපු ජීවිතයෙ ඇතැම් දේවල් මගේ මතකයට එනවා. යැයි දෙව්මිණ පැවසීය. දෙව්මිණගේ මම පුනර්භව කතා පුවත පිළිබඳව මීට වසර තුනකට පමණ පෙරදී ජපානයේ පුනර්භව පර්‌යේෂකවරියක්ද ශ්‍රී ලංකාවට පැමිණ පර්‌යේෂණයක නිරත විය. දෙව්මිණගේ පෙර භව මල්ලී ලෙස පිළිගනු ලැබූ ජයසිරි පසුගිය මැයි 26 වනදා අභාවප්‍රාප්ත විය. ඒ පිළිබඳ සිදුකරනු ලබන තෙමස් පූර්ණ පින්කම මේ මස 26 සහ 27 දිනවල සිදුකිරීමට නියමිත බව ද දෙව්මිණ පැවසීය. පුනර්භව පර්‌යේෂණවලට යොමුවී ඇති මෙවැනි පුනර්භව සාධක කීපයක් ඇතුළත් පර්‌යේෂණ ග්‍රන්ථ කීපයක්ම මේ වන විට ප්‍රකාශයට පත් වී තිබේ. එම සිදුවීම් Same Family Cases යනුවෙන් වාර්තාවලට ඇතුළත් කර ඇත.

තිස්ස ජයවර්ධන