තේ මණ්ඩලේ අධ්‍යක්ෂ ජනරාල් මෙදා ඇසළ පෙරහරේ වෙස් බැඳන් නටලා


හෙළයේ මහා කලා මංගල්‍යය ලෙස අද දවසේ ද වන්දනීය වන්නේ මහනුවර ඇසළ පෙරහරයි. මහනුවර ඓතිහාසික දළදා මාලිගාව මූලික කොට ගෙන සතරමහා දේවලවල ඇසළ පෙරහර පිළිබඳව අපේ රටේ පමණක් නොව - මුළු මහත් ලෝකයේම ගෞරවයට පාත්‍ර වන්නේ, ශ්‍රී ලංකාවට ආවේනික සංස්කෘතිකාංග වලින් සපිරුණු සුවිශේෂ අනන්‍යතාවක් පෙන්නුම් කරන බැවිනි.

මහනුවර ඇසළ පෙරහරේ මුඛ්‍ය අරමුණ වනුවේ ශ්‍රී දළදා වහන්සේට පූජෝපහාර දැක්වීම හා රටට සෞභාග්‍යය උදා කරදීම බව පැරැන්නන්ගේ අදහසයි. මෙහි ආරම්භය අනුරපුර යුගය ලෙස සැලකෙන අතර, කිත්සිරිමෙවන් රාජ්‍ය පාලන සමය තුළ ආරම්භ වූ බව පැරණි පත පොතෙහි සඳහන්ය. ඇසළ පෙරහර පසුකාලීනව පොලොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, කෝට්ටේ යුගවලදී ද පැවැත්වුණු බව ඉතිහාසය පරිශීලනයේ දී පැහැදිලි වන කාරණාවකි. මුල් කාලයේ දළදා පෙරහර යන නාමයෙන් හැඳින්වූ අතර පසුකාලීනව එය ඇසළ පෙරහර බවට පරිවර්තනය වූ බව බොහෝ විද්වතුන් පවසන කාරණාවකි.

ඉපැරණි සම්ප්‍රදායන්ට මුල් තැන දෙමින් අද දවසේ ද උත්කර්ෂවත්ව පවත්වනු ලබන ඇසළ පෙරහරේ, දනන් සිත් ඇඳ බැඳ ගනුයේ නර්තනාංග බව නොරහසකි. උඩරට සම්ප්‍රදාය හා අනුගත විවිධ නර්තනාංගවලින් සමන්විතවන පෙරහර වඩාත් වර්ණවත් කරන්නට සමත් වන්නේ වෙස් නර්තනය බව බොහෝ දෙනකු ගේ අදහසයි.

මහනුවර ඇසළ පෙරහරේ ආරම්භක සමය තුළ වෙස් නර්තනය දක්නට නොලැබුණු අතර, පෙරහරට වෙස් නර්තනය එක් කරනු ලබන්නේ 1919 වර්ෂයේ දී ය. ඒ පුංචි බණ්ඩා නුගවෙල දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා වශයෙන් රාජකාරි ඉටුකරන කාල සීමාවේය. එම පළමු වෙස් නර්තන කණ්ඩායම වූයේ නිත්තවෙල සුරඹා, ගල්ලෑල්ලේ සුරඹා, ඇඹුල්පේරුවේ සින්දුවා යන ගුරුන්නාන්සේලාය. මෙම කණ්ඩායමට බෙර වැයුමෙන් සහභාගි වී ඇත්තේ සිවුරංගා ගණිතසාර ගුරුන්නාන්සේ බව අතීත පොතපත තුළ සඳහන් වන කාරණාවකි. අද දවසේ ද භක්තිමත්ව ඇසළ පෙරහරට නර්තනයෙන් දායකත්වය ලබාදෙන්නේ ද ඒ පරපුරවලින් පැවත එන සාමාජිකයන් වීමද විශේෂත්වයකි.

එවන් වූ සුවිශේෂි නර්තන කණ්ඩායම් හා නර්තන ශිල්පීන් ගෙන් සමන්විත වූ මහනුවර ඇසළ පෙරහර තුළ අද දවසේ ද පහතරට නර්තන ශිල්පියකුට නටන්නට අවස්ථාවක් හිමිවේ නම් ඒ අපූර්වතම සිදුවීමකි. මෙවර එවන් අවස්ථාවක් හිමි වූයේ ද සුවිශේෂී පුද්ගලයකුට වීම ද සුවිශේෂීය. වෙස් තට්ටුව බැඳ පේ වී රන්දෝලි මහ පෙරහරේ නර්තනයට එක්වූ ඔහු ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ය. නමින් ලීලානාත් වික්‍රමආරච්චි ය.

  • විශ්වවිද්‍යාලයේ දි හැදෑරුවේ පුරාවිද්‍යාව

 

මැණික් උපදින රත්නපුරයේ පැල්මඩුල්ලේ සාමාන්‍ය පවුලක උපත ලද ලීලානාත් පවුලේ බඩපිස්සා වී අයියලා තිදෙනකු ගේත් අක්කලා දෙදෙනකු ගේත් ආදරය, රැකවරණය මැද හැදී වැඩෙන්නේ ඔහු ඉපදී වසර එක හමාරකින් පමණ මවගේ අහිමිවීමත් සමගය. දරුවන් හය දෙනකුගේ පවුල ලීලානාත් ගේ පියා පෝෂණය කරන්නේ ගොවිතැන් බතෙනි.

“මම ඉපදෙන්නෙ බොහොම සුන්දර පරිසරයක් තියෙන ගම් පළාතක. මුලන්ම පාසල් ගියේ පැල්මඩුල්ලේ මහින්ද විදුහලට. ශිෂ්‍යත්වය පාස් වෙලා තමයි පැල්මඩුල්ල මධ්‍ය මහා විදුහලයට එන්නේ. ඒ කාලෙ හයේ පන්තියේ ඉඳලා අපිට තියෙනවානෙ සෞන්දර්ය විෂයක් තෝරා ගන්න. ඉතින් මම තෝරා ගත්තේ නර්තනය. ඒ විෂයට මම පුංචි කාලේ ඉඳලම ආසයි. ඉස්සර ගමේ පෙරහර එහෙම බලලා ඇවිත් ඔළුවට රෙදි පටියක් ගැට ගහගෙන මම නටනවා. ඒ දවස්වල මට මතකයි නැටුම් මිස් නැති දවසට ඉහළ පන්තිවල අයටත් බෙර ගහලා නටන්න කියාදෙනවා.”

නර්තන විෂයට මහත් ආශාවක් දැක්වූ ලීලානාත් හත ශ්‍රේණියේ අධ්‍යාපනය ලබද් දී සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලියට ඒකල අංශයෙන් එක් වී දෙවන ස්ථානය දිනා ගන්නේය. එම තරගයේ පළමු තැන හිමිවන්නේ මහනුවර ධර්මරාජයේ සිසුවකුයට ය.

“මම ඊට පස්සෙ පළාත් තරග වලට ගිහින් ජය ලැබුවත් ජාතික ජයක් හිමි කරගන්න බැරි වුණා. ඒකට හේතු වුණේ තරග නීතියක්. ඒ නීතිය තමයි නර්තනය කරන ළමයට බෙර වාදනය කරන්නත් ඕන ඒ ළමයාගේ පාසලේ කෙනෙක් කියන එක. මම හත වසරෙදි තරගයට ඉදිරිපත් වෙකොට මම වෙනුවෙන් බෙර ගැහුවෙ වෙනත් පාසලක දෙන්නෙක්. ඊට පස්සෙ මට පැවරුණේ අපේ පාසලෙන් නර්තන තරග වලට යන අයට බෙර ගහන්න. මොකද මට හොඳට බෙර ගහන්න පුළුවන්. අනෙක අපිට හිටියෙ නැටුම් ගුරුවරියක්. කතාවට කියනවනේ ගෑනු අය බෙර ගැහුවට හයිය මදි කියලා.”

සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත්වන ලීලානාත් උසස් පෙළට තෝරාගන්නේ ද නර්තනය යි. එම කඩඉම ද ජයගන්නා ඔහු උසස් අධ්‍යාපනයට යොමුවන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ටය. විශ්වවිද්‍යාලය තුළ දී ඔහු තීරණය කරන්නේ මෙතෙක් කාලයක් හැදෑරූ නර්තනය අතහරින්නට ය. එතැනින් මිදී ඔහු තෝරා ගන්නේ පුරාවිද්‍යාවය.

“මට එහෙම හිතුණා. නැටුම් දැන් ඇති කියලා. ඒ නිසා තමයි පුරාවිද්‍යාව තෝරා ගත්තේ. හිතේ පොඩි සාංකාවකුත් නොතිබුණා නෙමෙයි. ඒත් මම අතහැරියා. පළමු අවුරුද්දෙ විභාගය ලියලා ප්‍රතිඵල ආවාම මට ඒක සතුටු වෙන්න තරම් දෙයක් තිබුණේ නැහැ. මොකද පුරාවිද්‍යාව වෙනම විෂයක් නෙ. ඒත් හිත හදා ගෙන වැඩ කරලා දෙවැනි සමාසිකයේ විභාගයටත් ලියුවා. ඒ ප්‍රතිඵලත් එච්චර සාර්ථක නෑ. මොකද මම කවදාවත් මගේ ජීවිතයේ එවැනි ප්‍රතිඵල විභාග වලින් අරගෙන නැහැනෙ. අන්තිමට මම හිතුවා නැටුම්වල පොඩි කොටසක් හෝ විෂයක් හැටියට තෝරා ගත යුතුයි කියලා. එහෙම හදාරද්දි ඔක්කොම හරි ගියා. මම පුරාවිද්‍යා විශේෂවේදී උපාධිය හැදෑරුවෙ. අන්තිමට විශ්වවිද්‍යාලයෙන් පිට වෙන්නේ පළමු පන්තියේ සාමාර්ථයක් හා පදක්කමකුත් එක්ක. මට අවබෝධ වූ දේ තමයි අපි කැමති දේවල්වලට ඉඩ දිය යුතුයි කියා.”

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු මධ්‍යම සංස්කෘතික අරමුදලේ රාජකාරියට එක්වන ලීලානාත් 2009 වසරේදී රාජ්‍ය පරිපාලන සේවා විභාගයට පෙනී සිට සීමාවාසික පුහුණුව සඳහා යොමු වන්නේ යාපනය දිස්ත්‍රික්කයටය. ඒ සන්දිලිප්පායි සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසය. ලංකාවේ ප්‍රදේශ ගණනාවක විවිධ තනතුරු දරමින් කටයුතු කරන ලීලානාත් ගේ ජීවිතයේ සුන්දරම අවදිය ගෙවෙන්නේ නැගෙනහිර පළාත් සංස්කෘතික ලේකම්වරයා ලෙස කටයුතු කරන කාලයේ ය. ඒ එම ප්‍රදේශයටම අනන්‍ය වූ දෙමළ, මුස්ලිම් නර්තන සම්ප්‍රදායන් හා කටයුතු කිරීමට ඉඩ ලැබීම නිසාය. පසුව විදෙස් ශිෂ්‍යත්වයක් ලැබ ඕස්ට්‍රේලියාවට යන ඔහු එම කටයුතු සාර්ථකව නිම කළ පසු යළිත් තම මවු රටට පැමිණෙන්නේ උපන් රටට සේවය කිරීමේ අරමුණෙනි. ඉන් පසු වැවිලි අමාත්‍යාංශයේ වසර කිහිපයක් රාජකාරි කරන ලීලානාත් මේ වනවිට ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරයි.

  • මැරෙන්න කලින් එක වතාවක් හරි ඇසළ පෙරහරේ නටන්න ඕන කියා සටහනක් දැම්මා

 

“මොන රාජකාරිය කළත්, අවිවේකී වුණත් මගේ හිතෙයි ගතෙයි දෙකේම තිබුණෙ නර්තනය. නර්තනය ගැන අවබෝධයෙන් වැඩ කරන කාලෙ හිතුණු දෙයක් තමයි මැරෙන්න කලින් එක වතාවක් හෝ මහනුවර ඇසළ පෙරහරේ නටන්න තිබුණා නම් කියන හැඟීම. හැබැයි ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි කියලත් මම අවබෝධයෙන් හිටියෙ. මොකද අපි රත්නපුරේ නිසා. එහෙම හීනෙ තිබුණු අතරේ තමයි ගිය වසරේ මම මගේ මුහුණු පොතේ දැම්මේ මේ අදහස. ඒත් ඒක ඉටු වුණේ නැහැ. ඒත් මම ඒ අදහස මේ වසරෙත් දැම්මා. ඒ වෙලාවෙ තමයි සංස්කෘතික අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කරන කසුන් සෙනවිරත්න මහත්තයා මට උදව් කරන්න එකතු වුණේ. ඔහුගේ අමාත්‍යංශයේ වැඩ කරන අසංක කියලා මල්ලි කෙනෙක් ඒ වෙද්දිත් මහනුවර නාථ දේවාලයේ හේවිසි කණ්ඩායමේ හිටියා. ඒ හරහා තමයි මට අවස්ථාව ලැබුණේ. ඇත්තටම මට ඇඳුමක්වත් තිබුණේ නැහැ. අසංක තමයි අඳින කලිසම පවා සොයා දුන්නේ. මගේ හීනය හැබෑ කරගන්න ඒ හයිය මහමෙරක් වුණා. මම කොහොමහරි මේ සැරේ මගේ හීනය සැබෑකරගත්තා. මෙදා ඇසළ රන්දෝලි පෙරහරේ වෙස් බැඳලා නැටුවා.”

ලීලානාත් ගේ ආදරණීය බිරිය ගෝතමී සෙනවිරත්ත කොළඹ රාජකීය විදුහලේ ඉංග්‍රීසි ගුරුවරියකි. පුතා ද එම විදුහලේම පහ ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අතර, තාත්තාගේ අඩිපාරේම යන්නට පෙර මං තනන්නට සැරසෙන්නේය. ආදරණීය දියණියට තවමක් වසස අවුරුදු තුනහමාරකි.

“මට අදටත් ඒ අවස්ථාව හීනයක් වගේ. ඒ හැඟීම වචනයකින් කියාගන්න බෑ. මුළු මහනුවරම ලයිට්වැල්වලින් බැබළෙනවා. වෙස් ඇඳුම් ඇඳගෙන පත්තිරිප්පුව යට හිටගනිද්දි හරියට රටක් රාජ්‍යයක් ලැබුණා වගේ. ඒක විස්තර කරන්න බැරි හැඟීමක්. මම කවුද කියලා මාත් එක්ක නටපු කවුරුවත් දැනගෙන හිටියෙ නැහැ. ඒක අදාළත් නැහැ. අපි හැමෝම එක පැදුරේ වාඩිවෙලා ගනුදෙනුකළේ. නර්තනය කියන්නේ අදටත් මගේ ජීවිතය. මම නර්තනය ඉගෙන ගත්තේ කෑගල්ලෙ ගලපිටමඩ ගුණසේකර ගමගේ ගුරුතුමා යටතේ. මට වෙස් පැලැන්දුවෙ පැල්මඩුල්ලෙ සරත්ලාල් පනාවල ගුරුතුමා. ඒ වගේම තමයි එදා පැල්මඩුල්ල මධ්‍ය විද්‍යාලයේ නැටුම් ගුරුවරිය ලෙස කටයුතු කළ දයා පනාවල ගුරුතුමියත් සිහියට නැගෙනවා. මගේ හීනයට යන්න ඉඩදුන්න හැම කෙනෙකුටම මගේ ගෞරවාදරය පුදදෙනවා.”

හීන ඇත්තේ සැබෑ කරගන්නටය. ඒ සඳහා අරමුණක් මෙන්ම අධිෂ්ඨානය ද තිබිය යුතුය. ජීවිතයේ විඳිය යුතු, අරමුණක් ඇති හීන මුහුණු පොතින් ද සැබෑවන වග ලීලානාත් ගේ කතාවෙන් පසක් වන වග අවබෝධයෙන් යුතුව වටහාගත යුතුය.

සුජිත් ප්‍රසංග