
විවේකී සති අන්තයක දුරබැහැර ගමනකට පිටත්වීම තරම් මාහට සතුටක් ගෙන දෙන තවත් දෙයක් නොමැති තරම්ය. අයස්කාන්ත ගමනාන්ත රාශියක් මේ සුන්දර දිවයිනේ තිබියදීත් සැමවිටම මගේ පළමු තෝරාගැනීම වෙන්නේ සීත දේශගුණයක් සහිත ප්‍රදේශය. ඒ සංසාරගත පුරුද්ද අනුව යමින් ගෙවී ගිය සති අන්තයේ මමත් මාගේ මිතුරු දිමුතුත් පූනාගල බලා පිටත් වීමු.
අපි බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියෙන් ගමන් ආරම්භ කර පසුදින උදෑසන 6.30 පමණ වෙනවිට බණ්ඩාරවෙල නගරයට ළඟා වීමු. ඒ වෙනවිට බණ්ඩාරවෙල නගරය කබකඩමින් සිටියේ ය. නගරයට ඉහළ කඳු පන්තිවලින් උදෑසන මීදුම පල්ලම් බසිමින් තිබිණි. අපි පූනාගල බලා පිටත් වෙන බස් රථය සොයමින් බස් නැවතුම්පොළෙහි ඔබ මොබ සැරිසැරුවෙමු. ඒ වෙනවිටත් උදෑසන 6.00 ට පිටත් වෙන බස් රථය නික්ම ගොස් තිබූ හෙයින් අපි තරමක් කම්පාවට පත් වීමු. අපට අවශ්‍ය වූයේ එම බසයේ ගමන් ගනිමින් අවට කඳු පන්තිවලින් හීන් සීරුවට පල්ලම් බසින උදෑසන මීදුමත් හිරු උදාවත් නැරඹීමට ය. එහෙත් හිත හදා ගත් අපි උදෑසන 7.30 ට පිටත්වීමට නියමිතව තිබූ බසයට ගොඩවීමු.
බණ්ඩාරවෙල දුම්රියපළට ඉහළ පාරෙන් ගමන් ඇරඹූ බස් රථය සෙමෙන් වංගු පසුකරමින් ඉදිරියට ඇදුණේ ය. පූනාගල සංචාරය කාලයක් පුරා මගේ සිතේ නිදන්ගතව තිබූ සිහිනයකි. එහෙයින් මම බසයේ කවුළු දොරෙන් ඕනෑකමින් අවට පරිසරය නැරඹුවෙමි. විටෙක රියැදුරු අසුන ආසන්නයට ගොස් ඉදිරිමග වීඩියෝ කළෙමි. කොළ පැහැති කඳු පන්ති වේගයෙන් මා පසු කර යන්නාක් මෙන් මට හැඟුණි. විටින් විට මිනිස්වාස ඒ දැකුම්කලු දර්ශනයට බාධා කළේ ය. යළිත් ජනාවාස පෙදෙස් පසු කළ විට කොළ පැහැති කඳුයායවල් දර්ශනය විය. කාලයකට පසු මගේ දෙනෙත්වලට සංතෘප්තියක් දැනෙන්නාක් මෙන් මට හැඟුණි. බසයේ සිටියේ අතේ ඇඟිලි දහයටත් වඩා අඩු පිරිසකි. මා දෙමළ භාෂාව නොදත් හෙයින් අපේ සන්නිවේදනය සිනහවකට පමණක් සීමා විය. ඒ මිනිස් මුහුණුවල ඇඳී තිබුණේ අව්‍යාජ සිනහවකි. මෙතැන් සිට මා කියන්නට යන පූනාගල කතාවේ මා හට මුණගැසුණු බොහෝ මුහුණුවල ඇඳී තිබුණු ඒ අව්‍යාජ සිනහව මට දැනුදු සිහි කළ හැකි ය.
මාපිටිය, අම්පිටිකන්ද වැනි ප්‍රදේශ පසු කරමින් බසය සෙමෙන් ඉදිරියට ඇදුණේ ය. මාපිටිය ඉතාමත් දැකුම්කලු කොළ පැහැති තැනි සහ කඳුවලින් බහුල ප්‍රදේශයකි. එහි ටෙලි නාට්‍ය රූගත කිරීම් ගණනාවක් කර ඇති බව දැනගන්නට ලැබුණෙන් මම ඒ ප්‍රදේශය දෙස මහත් ඕනෑකමින් බැලුවෙමි. එය අසත්‍යයක් නොවන බව තේරුම් යෑමට මගේ ඇස්වලට වැඩි වේලාවක් ගියේ නැත. බසය ගමන් ගන්නා තාර පාර වටකරගෙන තිබුණේ ලා කොළ පැහැති තැනිතලාය. තවත් ඈතට වෙන්නට උස මහත පයිනස් යායක් වැටී තිබිණි. හෝරාවකට අධික ගමනකින් පසු අපි පූනාගලට ළඟා වීමු. හාත්පස වටවී තිබුණේ කඳුපන්තිවලිනි. තේ වතු සමීප දර්ශනයක් සේ දිස් විය. උදෑසන අව් රශ්මිය මඳක් සීතල සුළං දහරා සමග වෙළී තිබුණි. පූනාගල යන නම සඳහන් සටහන් පුවරුව සහිත ස්ථානයෙන් බැසගත් පසු අබලන් වී ගිය පැරණි බස්නැවතුම්පළක් මාගේ නෙත ගැටිණි. එය අපූරු දෙමංසලකි. කෙළින් ම ගිය විට පූනාගල ගම්මානය මුණගැසේ. පහළ පාර කොස්ලන්දට ය. කොස්ලන්දට දුර කිලෝමීටර්වලින් 12 කි.
බසයේ දී අප සමග ආගන්තුකයෙක් කුළුපග විය. ඔහු ගුණා අයියා නම් විය. ගුණා අයියා කැඩිච්ච සිංහලෙන් පූනාගල ගැන වංහුං රාශියක් අපේ කනේ තිබ්බේ ය. ගුණා අයියාගේ දැනමුතුකම් නොවෙන්නට අපේ ගමන පූනාගලින් කෙළවරවීමට ඉඩ තිබුණි. අලි ගැවසෙන පහළ පූනාගල, මකල්දෙණිය උඩහේන සොයා අප නොයන්නට ඉඩ තිබිණි. ගුණා අයියා අපට කී පරිද්දෙන් පහළ කොස්ලන්ද පාරෙන් හැරී කිලෝමීටර් තුනක් පමණ ගිය පසු පිල්කින්ග්ටන් දැකුම් ස්ථානය මුණගැසේ. එය වූ කලී කතරගම, හම්බන්තොට, වැල්ලවාය ආදී ඉතා දුර බැහැර දර්ශනීය භූ දසුන් දුර සිට දැකගත හැකි ස්ථානයකි. එම ස්ථානයට යෑම පසෙක තබා තේ වතුත් මැයි මාර ගස්වලට සමාන තේ පැහැති මලින් සැරසුණු ගස් විශේෂයකුත් පාර දෙපැත්තේ සිට ගත් පූනාගල වත්ත දෙසට අපි පය එසවීමු.
ආගන්තුක අපට මේ මග දෙපස පරිසරය සුන්දර වුවත් එය මෙහි වෙසෙන ගම්මුන්ට එසේ නොවන බව දැනගැනීමට වැඩි වේලාවක් නොගියේ ය. කොතනත් තියෙන ජීවන අරගලය මෙහිත් එපරිදිම ය. ගුණා අයියා කී පරිද්දෙන් පූනාගල වෙසෙන බහුතර ජනතාවගේ ජීවිකාව තේ කර්මාන්තය වෙන අතර තවත් සමහරු කුලී වැඩ කරති. එළවළු වගාව ද අතරින් පතර දැකිය හැකිය. ජීවිකාව කුමක් වුවත් ඔවුන් ජීවත් වෙන්නේ අවම පහසුකම් යටතේ ය. කොතන ගියත් අපට මුණගැසෙන්නේ පරිසරයේ සුන්දරත්වය පමණි. මිනිස් ජීවිත සුවදායක වන තරමේ දියුණු ආර්ථිකයක් එම ප්‍රදේශවල නැති බව ඒ ලැයිම් නිවාස දුටු පමණින් කෙනෙකුට හැඟේ. ඒ යථාර්ථය සිහි තබා ගෙන අපි පූනාගල වත්ත දෙසට පියවර තැබීමු.
උදෑසන හිරු දහරින් පූනාගල ගම්වැසියෝ අලුත් දවසක් ආරම්භ කිරීමට ලකලැහැස්ති වී සිටියහ. තේ වතුවලින් සහ පයිනස් ගස්වලින් දෙපස මායිම් වූ තාර පාර දිගේ කෙටි දුරක් ගිය විට පැරණි කෝවිලක් හමු විය. එතැන් සිට තවත් මීටර් දෙතුන් සියයක් ඉදිරියට ගමන් කළ විට මිනිස්වාසයක් අප නෙත ගැටුණි. කුඩා පැළ තවානකට තරුණයෙක් වතුර ඉසිමින් සිටියේ ය. හේ අපත් සමග සිනා සුණු බැවින් මම ඔහු කතාවට අල්ලා ගතිමි. මා සිතා සිටියේ ඔහු තේ පැළවලට වතුර දමන බවය. එහෙත් ඒවා කෝපි පැළ බව ඔහු කී පසු මගේ උනන්දුව තරමක් වැඩි විය. ඔහුගෙන් ලද විස්තරවලට අනුව ඒ ප්‍රදේශයේ තේ වගාව මෙන් ම කෝපි වගාවත් සරුවට කෙරේ. වැඩුණු කෝපි ගස් කිහිපයක් පෙන්වමින් ඔහු බොහෝ කරුණු කාරණා පැහැදිලි කළේ ය. ඒ තරුණයාට සමු දී අපි නැවතත් පූනාගල ගම්පියසට අඩි එසවීමු.
සටහන හා ඡායාරූප:
උපුල් වික්‍රමසිංහ
- දෙමළ සිංහල මිනිසුන් එකතු වී පන්සලට දානෙ දෙන ගමක්
- කෝවිලේ දහම් පාසලට ඉගෙන ගන්න යන සිංහල දරුවො
- අලින් නිසා රෑ අටෙන් පසු ගමන් බිමන් නොයන පූනාගල ගම් වැසියෝ
- දෙමළ සිංහල මිනිසුන් එකතු වී පන්සලට දානෙ දෙන ගමක්
මේ තොරතුරු සහිත පූනාගල සංචාරයේ දෙවන ලිපිය ලබන සතියට....




