රෑ අහස, තරු රටා අතරේ, පහසුවෙන්ම දැකිය හැකි; පහසුවෙන්ම හඳුනාගත හැකි තරු රටාව දඩයක්කාරයා එසේත් නැතිනම් ඔරායන් තරු රටාවය. ඔරායන් තරු රටාවේ දඩයක්කාරයා ගේ දකුණු උරහිස නිරූපණය කරන තරු පැහැති තරුව - විද්‍යාඥයන් විසින් නම් කරනු ලැබ ඇත්තේ බෙටෙල්ජූස් යනුවෙනි.
මෙය රාත්‍රී අහසේ දකින්න ලැබෙන ඉතාමත් දීප්තිමත් හා විශාල තාරකාවකි. මෙය විශේෂ තාරකාවක් වන්නේ එය රක්ත වර්ණ සුපිරි යෝධ තාරකාවක් වීම නිසාය. එපමණක් නොවෙයි, මෙම බෙටෙල්ජූස් තාරකාව කොයි මොහොතේ හෝ පුපුරා යන තත්ත්වයකට පත් වී ඇත.
බෙටෙල්ජූස් සුපර් නෝවා පිපිරීමකින් පසු අවසන් ගමන් යෑමට නියමිත, අපගේ සූර්යයාටත් වඩා අතිශය විශාල තරුවකි. මේ තාරකාව කොතරම් විශාල දැයි කීවොත්, සූර්යයා මෙම තාරකාව සමග සංසන්දනය කළොත්, සූර්යයා පුංචි වැලි කැටයක් තරම්ය. සාමාන්‍යයෙන් අපගේ සූර්යයාගේ ස්කන්ධය මෙන් 16.5 ත්, 19 ත් අතර ස්කන්ධයක් බෙටෙල්ජූස් තාරකාවට ඇත. බෙටෙල්ජූස් තරුවේ විෂ්කම්භය කිලෝ මීටර් මිලියන 1200 ක් පමණ වෙයි.
මෙතරම් විශාල බෙටෙල්ජූස් තාරකාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 642 ක් පමණ දුරින් පිහිටයි. බෙටෙල්ජූස් තාරකාව - තාරකා විද්‍යාඥයන්ට ප්‍රහේලිකාවකි. ඒ කාලයෙන් කාලයට මෙම තරුවේ ආලෝකය අඩු වැඩි වීම නිසාය. තාරකා විද්‍යාඥයන් මෙය හඳුන්වන්නේ ‘ග්‍රේට් ඩිමින්’ යනුවෙනි. තරුවක ආලෝකය මේ අයුරින් අඩු වැඩි වීම සැබැවින්ම අබිරහසක් විය. විද්‍යාඥයන් මෙම අබිරහස විසඳීමට උත්සාහ ගනිද්දී, ඔවුන්ට අබිරහස් වස්තුවක් හමුවිය.
බෙටෙල්ජූස් ගැන දැන් ඔබට සරල අවබෝධයක් ලැබෙන්න ඇති. දැන් අපි බෙටෙල්ජූස් තාරකාව වටා ගමන් කරන අද්භූත අනෙක් තාරකාව; එනම් තරුවක් වටේ යන තරුව ගැන අවධානය යොමු කරමු. බෙටෙල්ජූස් තාරකාවේ ආලෝකය නැතිනම් එහි දීප්තිය අඩු වැඩි වීම හෙවත් ග්‍රේට් ඩිමින් සම්බන්ධයෙන් විද්‍යාඥයෝ වසර ගණනාවක් සොයා බැලීම් කළහ. ඒ සඳහා නිරීක්ෂණ කටයුතු සිදු කළේ හවායි පිහිටි ජෙමිනි නිරීක්ෂණාගාරයේ උදවුවෙනි.
ජෙමිනි නිරීක්ෂණාගාරය ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 4,214ක් (අඩි 13,825ක්) පමණ උසකින්, මවුනා කී කන්දේ මුදුනට ආසන්නවය. නිරීක්ෂණාගාරයට අයත් අති නවීන තාක්ෂණයෙන් නිපදවූ ප්‍රකාශ සහ අධෝරක්ත දුරේක්ෂ දෙකක් ඇතුළත් වෙයි. එයින් එකක් වන්නේ ජෙමිනි නෝර්ත් යනුවෙන් නම්කරන දුරේක්ෂයයි. මෙම දුරේක්ෂයට ඇලෝපේක් නමැති උපකරණයක් සම්බන්ධ කර ඇත. බෙටෙල්ජූස් තරුවේ ආලෝකය අඩු වැඩි වීමේ අබිරහස විසඳා ගැනීම සඳහා විද්‍යාඥයෝ මෙම උපකරණය භාවිත කළහ.
බෙටෙල්ජූස් තරුවේ ආලෝකය අඩු වැඩි වීමක් පෙන්නුම් කරන්නේ එය වටා කිසියම් වස්තුවක් කැරකෙන නිසා බවත්, එම වස්තුව ද තවත් තාරකාවක් විය හැකි බවත් විද්‍යාඥයෝ අනුමාන කර තිබුණා හ. එම අනුමානය නිවැරදි විය. පසුගිය ජූලි 21 වැනිදා විද්‍යාඥ කණ්ඩායමක් ජෙමිනි නෝර්ත් දුරේක්ෂයේ ඇලෝපේක් උපකරණය යොදා ගනිමින් නිරීක්ෂණ කටයුතු කරද්දී බෙටෙල්ජූස් තාරකාව වටා කක්ෂගත වන සහචර තාරකාවක් සොයා ගත්හ. ඒ අනුව අවුරුදු සියයක් තිස්සේ බෙටෙල්ජූස් තරුවේ ආලෝකය අඩු වැඩි වීමේ අබිරහස විසඳා ගැනුණි. දැන් අලුතින් සොයාගත් මෙම සහචර තාරකාව සම්බන්ධයෙන් විද්‍යාඥයෝ තොරතුරු අනාවරණය කර ගනිමින් සිටිති. එය සූර්යයාගේ ස්කන්ධය මෙන් 1.5 ක ස්කන්ධයක් පෙන්නුම් කරයි. විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට අනුව පුදුමයට කරුණක් වන්නේ මෙම තාරකාව තවමත් එහි ඇති හයිඩ්‍රජන් දහනය ආරම්භ කර නොතිබීමය.
විද්‍යාඥයන් ඔවුන්ගේ නිරීක්ෂණ වලින් පැහැදිලි කර ඇත්තේ මේ තාරකාව ඒ හෝ බී යන තාරකා වර්ගීකරණයට අයත් ප්‍රධාන අනුක්‍රමික තාරකාවක් බවය. විද්‍යාඥයන් විසින් තහවුරු කරගනු ලැබූ මෙම නව තාරකාවට මෙතෙක් නිල වශයෙන් නමක් යොදා නැත. නිල නොවන ලෙස තාරකාව සොයා ගත් විද්‍යාඥයන් එය හඳුන්වන්නේ ‘සීවර්හා’ යනුවෙනි. මෙය අරාබි වදනකි. මෙහි අරුත දිලිසෙන අත් පලඳනාව යන්නය.
සීවර්හා තරුව බෙටෙල්ජූස් තරුව වටා කක්ෂගත වී ඇත්තේ, අප පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර මෙන් සිවු ගුණයක දුරකින් බව ගණනය කිරීම් වලින් පෙනී ගොස් ඇත. සීවර්හා තාරකාවට බෙටෙල්ජූස් වටා එක් වටයක් සම්පූර්ණ කිරීමට වසර 6 ක් ගත වන බව විද්‍යාඥයන් ගණනය කර ඇත.
ලුසිත ජයමාන්න
බීබීසී ඇසුරිනි