ගවයා නොමරා හදන ‘‘වගා කළ ගවමස්’’


ගවයන්ගේ පටක රෝපණයෙන් මෙම ගව මස් නිපදවේ

 

වගා කළ මාංශ යනු, සතුන් ඝාතනය කරනවා වෙනුවට, ජීවී හෝ ස්වාභාවික පසුබිමක් තුළ නොවන පාලනයේ පවතින පර්​ෙ‌ය්ෂණාත්මක පරිසරයක සත්ව සෛල වගා කරනු ලැබීමයි. මෙය සෛලීය කෘෂිකර්මාන්තයේ ආකාරයකි. සාම්ප්‍රදායිකව පුනර්ජනනීය වෛද්‍ය විද්‍යාවේ භාවිතා වන පටක ඉංජිනේරු ශිල්පීය ක්‍රම මෙහිදී භාවිතා කරනු ලැබේ. වගා කළ මාංශ පිළිබඳ සංකල්පය 2000 දශකයේ මුල් භාගයේ දී ජේසන් මැතනි විසින් ජනප්‍රිය කරන ලද්දකි. වගා කළ මාංශ පිළිබඳව පත්‍රිකාවක් සම-රචනා කිරීමෙන් පසුව ඔහු මෙම විෂයෙහි පර්​ෙ‌ය්ෂණ සඳහාම කැපවූ මේ සම්බන්ධයෙන් ලොව පළමු ලාභ නොලබන සංවිධානය වන ‘‘නිව් හාවස්ට්’’ නමැති සංවිධානය නිර්මාණය කළේය.  


2013 දී නෙදර්ලන්තයේ මාස්ට්‍රික්ට් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන මාක් පෝස්ට්, සෛල වගාවෙන් නිර්මාණය කළ පළමු ‘‘බර්ගර්’’ පෙත්ත නිර්මාණය කරමින් මෙම සංකල්පය සනාථ කළ ප්‍රථමයා බවට පත්විය. එදා පටන්, සෛල වගාවෙන් නිර්මාණය කළ මාංශ මූලාකෘති කිහිපයක්ම මාධ්‍ය අවධානය දිනාගෙන ඇත. කෙසේ නමුත්, සීමිතව කැපවූ පර්​ෙ‌ය්ෂණ ක්‍රියාකාරකම් නිසා, වගාවන් කිහිපයක්ම වර්තමානයේ සිදුවුවද, මේවා තවමත් වාණිජකරණය වී නොමැත. මේමෆිස් සහ ‘‘සුපර්මීට්’’ ආයතන කියා සිටින්නේ ළඟදීම විද්‍යාගාරවල වැඩුනු මස් වෙළෙඳපොළට ගෙන ඒමට හැකි බවයි. මෙලෙස වගා කළ මස් වාණිජමය වශයෙන් තවමත් ලබාගත නොහැකි බැවින් පාරිභෝගිකයන් මෙම නිෂ්පාදන පිළිගනී ද යන්න පිළිබඳව නිශ්චිත අදහසක් නැත. මෙහි නිෂ්පාදන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමට තවමත් විශාල ඉඩක් ඇති අතර එය විවිධ සමාගම් යටතේ ඉදිරියට ගොස් ඇත. සාම්ප්‍රදායික මස් හා සැසඳීමේ දී මේවායේ භාවිතයේ දී සදාචාරාත්මක, සෞඛ්‍ය, පාරිසරික, සංස්කෘතික සහ ආර්ථික වශයෙන් සළකා බැලීමට ලක්විණි.  


වගා කළ මස් මාංශ අතරින් හරක් මස්වලට ආදේශයක් ලෙස සකස් කළ ගව ඝාතනයෙන් තොර මස් නිෂ්පාදනය ගැන ඇතැම් කර්මාන්ත පාර්ශවකරුවන්ගේ මතය වූයේ මෙම පදය සාම්ප්‍රදායික මස් නිෂ්පාදකයින් අනවශ්‍ය ලෙස කොන් කර ඇති අතර, ඔවුන් මධ්‍යස්ථ විකල්පයක් ලෙස සෛල මත පදනම් වූ මස්වලට වැඩි කැමැත්තක් දක්වන බවය.  


එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට අනුව, ආහාර සඳහා ඇති දැඩි කරන පශු සම්පත් ලෝකයේ වාර්ෂික හරිතාගාර වායු විමෝචනයෙන් සියයට 5.8 ක් සඳහා ඍජුවම දායක වන අතර, ආහාර නිෂ්පාදනය, සැකසීම සහ ප්‍රවාහනය ඇතුළත් වන්නේ නම් සියයට 14.5 දක්වා වේ.  

 


1998 දී එක්සත් ජනපදයේ ජෝන් එෆ්. වෙයින් විසින් මිනිස් පරිභෝජනය සඳහා පටකවලින් තැනූ මස් නිෂ්පාදනය සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබාගත් අතර, හරක් මස්, කුකුළු මස් සහ මාළු වැනි ආහාර නිර්මාණය කිරීම සඳහා මෙහි මාංශ පේශි සහ මේද සෛල ඒකාබද්ධ ආකාරයකින් වගා කෙරේ.  
2001 දී නෙදර්ලන්තයේ ඇම්ස්ටඩෑම් විශ්වවිද්‍යාලයේ චර්ම රෝග විශේෂඥ වීට් වෙස්ටර්හොෆ්, වෛද්‍ය විලෙම් වැන් ඵලන් සහ ව්‍යාපාරික විලෙම් වැන් කූටන් ප්‍රකාශ කළේ සෛලවලින් මෙලෙස මස් වගා කිරීමේ ක්‍රියාවලිය සඳහා පේටන්ට් බලපත්‍රයක් ඉල්ලා සිටින බවයි. මෙම ක්‍රියාවලියේ දී, කොලැජන් මාධ්‍යයේ මාංශ සෛල වගා කළ පසු, එය පෝෂණ ද්‍රාවණයකින් සෝදා, විභාජනය වීමට පොළඹවනු ලැබේ. ඇම්ස්ටඩෑම්හි විද්‍යාඥයින් වගා කරනු ලබන මාධ්‍යය අධ්‍යයනය කරන අතර, උට්‍රෙක් විශ්වවිද්‍යාලයේ පර්​ෙ‌ය්ෂකයින් සෛල ප්‍රගුණනය අධ්‍යනය කරනු ලබන අතර, ඓන්හොවන් තාක්ෂණික විශ්වවිද්‍යාලයේ පර්​ෙ‌ය්ෂකයින් ජෛව ප්‍රතික්‍රියාකාරක අධ්‍යයනය කරනු ලැබේ. නාසා ආයතනය 2001 සිට අත්හදා බැලීම් කරමින් සිටින අතර, මුලින්ම ඔවුන් කළුකුම් පක්ෂීන්ගේ සෛලවලින් මස් වගා කරනු ලැබීය. මේවා අභ්‍යවකාශයේ වගාකිරීම මඟින් දිගුකාලීන ගගනගාමීන්ට සංචාරයේ දී ගබඩාවක් ගෙන යාමෙන් තොරව, මස් වගාකර ගැනීමට හැකි වේ.  
සත්ව හිංසාව ගැන කතා කරනා පෙටා සංවිධානය 2012 වනවිට රසායනාගාරයක වැඩුණු කුකුළු මස් පාරිභෝගිකයන් වෙත ගෙන එන පළමු සමාගමට ඩොලර් මිලියනයක ත්‍යාගයක් වෙන් කළේය. ත්‍යාගය ලැබීමට පෙර තරගකරුට කාර්යන් දෙකක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය විය. ‘‘සැබෑ කුකුළු මස්වලින් වෙන්කොට හඳුනාගත නොහැකි කුකුළු මසක් නිෂ්පාදනය කරන්න’’ සහ ‘‘අවම වශයෙන් ප්‍රාන්ත 10ක් තුළ තරගකාරී ලෙස විකිණීම සඳහා ප්‍රමාණවත් තරම් විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න’’. තරගය, 2014 මාර්තු 4 දක්වා දීර්ඝ කරන ලදී. 2008 දී, මෙම අභියෝගය ප්‍රථම වරට ප්‍රකාශයට පත් කළ දා සිට ලොව පුරා පර්​ෙ‌ය්ෂකයින් මෙලෙස රසායනාගාරවල මස් වගා කිරීමේ සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වා ඇත. ජයග්‍රාහකයෙකු නොමැතිව මෙම තරගය කල් ඉකුත් වූ නමුත්, මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම මාතෘකාව විද්‍යාඥයින් තුළට ගැඹුරින් කා වැදුණි.  


2012 වන විට ලොව පුරා විද්‍යාගාර 30ක් මෙම පර්​ෙ‌ය්ෂණ සඳහා වැඩ කරන බවට ප්‍රකාශ කර ඇත. මාස්ට්‍රික්ට් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මාක් පෝස්ට් විසින් නිර්මාණය කරන ලද පළමු වගාකරන ලද හරක් මස් බර්ගර් පෙත්ත 2013 අගෝස්තුවේ ලන්ඩනයේ පැවති මාධ්‍ය එළිදැක්වීමක දී අනුභව කරන ලදී. එය සාදා තිබුණේ තුනී මාංශ පේශි පටක කෙඳි 20000කට අධික ප්‍රමාණයකිනි. මෙය නිර්මාණය කිරීම සඳහා මහාචාර්ය පෝස්ට් ඩොලර් 300,000ක් සහ වසර දෙකකට වැඩි කාලයක් වැය විය. තවත් සමාගම් දෙකක් මස් වගාකිරීමට පටන්ගෙන තිබේ. ඒ ඇමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ සමාගම් දෙකකි.  


2019 ජූලි මාසයේ නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ 2021 වන විට මෙලස වගා කළ මස් යෙදූ බර්ගරයක් සෑදීමට යන වියදම ඩොලර් 10ක් දක්වා පහත වැටෙනු ඇති බවයි. Mosa Meat සහ Biotech Foods වැනි සමාගම් කිහිපයක්ම මෑත වසරවල මේ සම්බන්ධයෙන් පර්​ෙ‌ය්ෂණවලට ආයෝජනය කොට ඇත. Mosa Meats වෙතින් එළිදැක්වූ පළමු වගා කළ මස් බර්ගරයට ගිය වියදම ඩොලර් 280,000 කි.  


2013 අගෝස්තු 5 වන දින ලොව ප්‍රථම විද්‍යාගාරයේ වැඩුණු බර්ගරය ලන්ඩනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර පිසින ලදී. මහාචාර්ය මාක් පෝස්ට්ගේ නායකත්වයෙන් යුතුව, නෙදර්ලන්තයේ මාස්ට්‍රික්ට් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ, ගවයෙකුගේ ප්‍රාථමික සෛල ගෙන ඒවා මාංශ පේශී තීරු බවට වර්ධනය කර පසුව බර්ගර් සෑදීමට කටයුතු කළහ. මෙම බර්ගරය පිසීමෙන් පසු ජොෂ් ස්කෝන්වොල්ඩ් හා Future Food Studio හි හැනී රූස්ලර් යන පර්​ෙ‌ය්ෂකයින් එහි රස බැලීය. රූස්ලර් ප්‍රකාශ කළේ, ‘‘ඇත්තෙන්ම, එයට රසයක් තිබේ. දුඹුරු පැහැය සමඟ රසයක් තිබේ. මෙහි මේදය නොමැති බව මම දනිමි. එමනිසා කොතරම් දුරට එහි ඉස්මක් තිබේදැයි මම දැන නොසිටියෙමි. නමුත් එයට දැනෙන රසයක් තිබේ. එය මස්වලට සමීපයි. එතරම් ඉස්ම සහිත නොවේ. නමුත් අනුකූලතාව පරිපූර්ණයි. මට නම් මෙය මස්ම වේ රුස්ලර් වැඩිදුරටත් කියා සිටියි.


වගා කළ මාංශ පේශී පටක තුනී තීරු 20,000ක් භාවිතා කරමින් 2013 මැයි මාසයේ දී ලන්ඩන්හි පෙන්වීම සඳහා පටක වගා කරන ලදී. මේ සඳහා යූරෝ 250,000ක පමණ නිර්නාමික අරමුදලක් ලැබුණි.  

 


මහාචාර්ය පෝස්ට් විසින් 2013 පළමු වගා කළ මස් බර්ගරය සාර්ථකව නිෂ්පාදනය කළ බැවින්, මෙය සංවර්ධනය කිරීම හෝ ඉදිරියට ගෙන යාම සඳහා කැපවූ ඇරඹීම් හා ආරම්භක සංවිධාන ඇත. 2015 දී මාස්ට්‍රික්ට් විශ්වවිද්‍යාලය විසින් වගා කළ මස් පිළිබඳව පළමු ජාත්‍යන්තර සමුළුව පවත්වන ලදී.  
නෙදර්ලන්ත පණගැන්වුමක් වන "Metable" 2018 සැප්තැම්බර් මාසයේ දී වාර්තා කළේ සතුන්ගේ පෙකණිවැලේ "Pluripotent" සෛල භාවිතයෙන් මස් වගා කිරීමට සමත් බවය. එවැනි සෛල සමඟ වැඩ කිරීමට අසීරු බව වාර්තා වුවද, අවශ්‍ය පරිදි මාංශ පේශි සෛල හෝ මේද සෛල බවට පත් කරවීමට, විවිධ තාක්ෂණ යොදාගනිමින් හැකි බව කියා සිටියේය. මෙහිදී මස් නිෂ්පාදනය සඳහා කිසිදු සතෙකු මරා දැමිය යුතු වන්නේ නැත. වාර්තාවල දැක්වෙන්නේ එමස අලුතෙන් වගා කළ මස් සම්බන්ධ ඇරඹුම් සංඛ්‍යාව 30ක් පමණ වන බවයි.  


2019 දී පළමු වරට මස් අභ්‍යකාශයේ සාර්ථකව වගා කරන ලදී. Aleph Farms හරහා, ස්වාභාවික සම්පත්වලින් ඈත්ව පෘථිවියට සැතපුම් 248ක් (කි.මී. 399) දුරින් පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මස් වගා කරන ලදී.  


මෙම ක්‍රියාවලිය ආරම්භ කළ පසු, ජීවියෙකුගෙන් නව සෛල හඳුන්වා නොදී දින නියමයක් නොමැතිව මස් නිෂ්පාදනය කිරීම න්‍යායාත්මකව කළ හැකිය. වගාකළ මස් නිෂ්පාදනයේදී, වැඩෙන මස් බැක්ටීරියා සහ යීස්ට් සහ අනෙකුත් දිලීරවලින් ආරක්ෂා කිරීම සඳහා සෝඩියම් බෙන්සොයිට් වැනි කල් තබා ගන්නා ද්‍රව්‍යයක් භාවිතා කරයි. මෙම ක්‍රියාවලියේ දී කොලජන් කුඩු, සැන්තම් ගම්, මැනිටෝල් සහ කොවීනියල් විවිධ ආකාරවලින් භාවිත කළ හැකිය. තාක්ෂණික දියුණුවත් සමග සිල්ලර වෙළඳසැල් සහ සුපිරි වෙළඳසල් වැනි වෙළඳසල්වල වගා කළ මස්වල මිල මධ්‍යම පන්තික පාරිභෝගිකයන් ‘‘පහසු මිල’’ යැයි සලකන මට්ටම දක්වා අඩු විය හැකිය.  


මාංශ වගා කිරීම යනු පටක ඉංජිනේරු විද්‍යාව නමින් හැඳින්වෙන ජෛව තාක්ෂණ ක්ෂේත්‍රයේ වර්ධනයකි. මාංශ පේශි ඩිස්ට්‍රොෆි ඇති පුද්ගලයින්ට උපකාර කිරීම සහ බද්ධ කිරීමේ අවයව සංවර්ධනය කිරීම යන යෙදීම් සමගම මෙම තාක්ෂණය ද කරට කර සංවර්ධනය වෙමින් පවතියි. එය සාර්ථක කර ගැනීමට නම්, ජය ගැනීමට බාධක කිහිපයක් තිබේ. මේ මොහොතේ, වඩාත්ම කැපී පෙනෙන ඒවා වන්නේ පරිමාණය සහ පිරිවැයයි. මීට අමතරව, සෛලීය කෘෂිකර්මාන්තය සහ එහි සංවර්ධනය සඳහා විශේෂිත විද්‍යාත්මක පර්​ෙ‌ය්ෂණ විනයක් නොමැත. සෛලීය කෘෂිකර්මාන්තය පිළිබඳ අතීත පර්​ෙ‌ය්ෂණයන් එකිනෙකාගෙන් හුදෙකලා වූ අතර ඔවුන්ට සැලකිය යුතු අධ්‍යයන උනන්දුවක් ​නොලැබුණි. එය දැනට පැවතුනද, දිගුකාලීන උපාය මාර්ග සංවර්ධනය සඳහා ප්‍රමාණවත් ලෙස අරමුදල් සපයන්නේ නැති අතර ප්‍රමාණවත් තරම් පර්​ෙ‌ය්ෂකයන් ද නොමැත.  


මහා පරිමාණයෙන් මස් වගා කිරීමේ දී, කෘත්‍රිම වර්ධක හෝමෝන එකතුකිරීම අවශ්‍ය විය හෝ නොවිය හැක.  


පර්​ෙ‌ය්ෂකයන් යෝජනා කර ඇත්තේ ඔමෙගා-3 මේද අම්ල සෞඛ්‍ය සම්පන්න ප්‍රසාද දීමනාවක් ලෙස වගා කරනු ලබන මස්වලට එකතු කළ හැකි බවයි. ඒ හා සමානවම, සාම්ප්‍රදායික මස්වල ඔමෙගා-3 මේද අම්ල අන්තර්ගතය ද සතුන් පෝෂණය කරන දේ වෙනස් කිරීමෙන් වැඩි කළ හැකියි. ටයිම් සඟරාවේ කලාපයක යෝජනා කොට ඇත්තේ සෛල මඟින් මස් වගාකිරීමේ දී මස බැක්ටීරියා සහ රෝගවලට නිරාවරණය වීමේ හැකියාව අඩුවන බවයි.  


රසායනගාර මස්වල පාරිසරික බලපෑම සාමාන්‍යයෙන්, ඝාතනය කර ලබාගන්නා ගව මස්වලට වඩා සැලකියයුතු ලෙස අඩුවනු ඇතැයි පර්​ෙ‌ය්ෂණවලින් හෙළි වී තිබේ. සිරස් ගොවිතැන සහ/හෝ රසායනාගාර මස් නිෂ්පාදනය සඳහා භාවිතා කරන සෑම හෙක්ටයාරයක් මගින්ම, හෙක්ටයාර 10ත් 20ත් අතර ඇති භූමි ප්‍රමාණයක් සාම්ප්‍රදායික කෘෂිකර්ම භාවිතයෙන් නැවත සාමාන්‍ය තත්වයට පරිවර්තනය කළ හැකිය. සිරස් ගොවිපළවල් (රසයානාගර මස් පහසුකම්වලට අමතරව) මීතේන් ජීර්ණවල උපරිම වාසිය ගතහොත් විදුලි අවශ්‍යතාවයෙන් ද සුළු කොටසක් උත්පාදනය කළ හැකිය.  


රසායනාගාර මස් නිෂ්පාදනය දැනට මිල අධික කර්තව්‍යයකි. 2008 දී හරක් මස් නිපැයුම අරඹද්දී 250g ඩොලර් මිලියනයක් පමණ විය. මහා පරිමාණ නිෂ්පාදනයකට මාරුවීමට සැලකිය යුතු ආයෝජනයක් අවශ්‍ය වේ. කෙසේවෙතත් ඇස්තමේන්තු කර ඇත්තේ වර්තමාන තාක්ෂණය වැඩිදියුණු වීමත් සමඟ මේවායේ මිල සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බවයි. 2015 මාර්තු මාසයේ දී ඕස්ට්‍රේලියාවේ ඒ.බී.සී. නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් නෙදර්ලන්තයේ මහාචාර්ය මාක් පොස්ට් කියා සිටියේ තම කණ්ඩායමේ බර්ගර්වල මුල් ආන්තික පිරිවැය ඩොලර් 250,000 ක්වූ අතර දැන් ඩොලර් 8ක් බවයි. තාක්ෂණික දියුණුව මඟින්, නිෂ්පාදනය, සාම්ප්‍රදායිකව ලබාගත් හරක් මස් සමඟ පිරිවැය තරඟකාරීවීමට වසර 10ක් තුළ ඉඩ සලසන බව පවසයි.  


‘‘සාම්ප්‍රදායික ආකාරයෙන් අස්වනු නෙළන ලද සතෙකුගේ මස්වලින් ලබාගත් නිෂ්පාදන’’ සඳහා පමණක් හරක් මස් සහ මස් යන යෙදුම් සීමා කරන ලෙස එක්සත් ජනපද ගව හිමියන්ගේ සංගමය දැනටමත් එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.  

 

 

ටයිම් සඟරාව හා විකිපීඩියා ඇසුරෙනි...  
සටහන - තිළිණි ද සිල්වා