ක්ලැරන්ස් නම් සර්වකාලීන සංගීතඥයා


ප්‍රකට “පොප් සංගීතයට” ශ්‍රී ලාංකීය මුහුණුවරක් මුසුකරමින්,  “සිංහල පොප් සංගීතය” ලෙසින් මෙරට සංගීත ක්ෂේත්‍රයට හඳුන්වාදීමේ ගෞරවය ක්ලැරන්ස් විජේවර්ධන නම අග්‍රගණ්‍ය සංගීතඥයාට හිමි විය යුතු බව අවිවාදිතය. 

මේ දිනවල අති සාර්ථක “‘ක්ලැරන්ස් රිදම් ඔෆ් ගිටාර්” සිනමා නිර්මාණය හරහා ක්ලැරන්ස් ගේ සංගීත භාවිතය පිළිබඳව විවිධ කතාබහ ඇතිවෙමින් පවතී. 

මෙවන් පසුබිමක ක්ලැරන්ස් ගේ සංගීත භාවිතාව පිළිබඳ කතාබහක යෙදෙන්නට  ප්‍රකට ගිටාර් වාදන ශිල්පියෙකු, ගායකයෙකු මෙන්ම වෘත්තීමය සංගීතඥයෙකු වන නදීක ජයවර්ධනව අපි සම්බන්ධ කර ගතිමු.

හින්දුස්ථාන් සංගීත පසුබිමක පොප් ස්ථාපිත කිරීම 

ලංකාවේ ඉන්දියානු ආභාෂය මුසුව ආව සංගීතයත් එක්ක ගොඩක් වෙලාවට තිබුණෙ මූඩ්ස් කතා කරන මියුසික්. බොහෝ ප්‍රශස්ත මට්ටමේ ගීත නිර්මාණ කියන එක තමයි තිබුණේ. පොප් සංගීතය කියන්නෙ මිනිස්සුන් ගේ රිලැක්ස්ම අවස්ථාවේ දී අහන්න පුළුවන් සංගීතයට යි. විශේෂයෙන් විනෝදය තකා තමයි පොප් මියුසික් එන්නෙ. විනෝදය කියන්නෙ සාද වෙන්න පුළුවන්, සැණකෙළි වෙන්න පුළුවන්, මධුපාන අවස්ථා වෙන්න පුළුවන් - අන්න ඒ අවස්ථා නියෝජනය කරන සංගීතය තමයි පොප් සංගීතය කියන්නෙ. 

ලංකාවෙ මිනිස්සුන්ට පාටියක නටන්න, ගැදරින් ඒකක දි නටන්න,  ක්ලබ් එකක නටන්න, ඒ පන්තිය නියෝජනය කරන්න සිංහල සින්දු තිබුණා නම් තිබුණේ ඉතා සීමිත මට්ටමක. ක්ලැරන්ස් ගේ ආගමනයත් එක්ක, ක්ලැරන්ස් අන්න ඒ අඩුව පිරෙව්වා. ඒක හරියට 2000 ක්‍රවුඩ් එක  ගත්තොත්, ඒ කාලේ තරුණයන්ට තිබුණේ ඉංග්‍රීසි සින්දු නෙ නටන්න. හැබැයි භාතිය - සන්තුෂ් සිංහල සින්දුවලට නටන්න පුළුවන් විදිහක් ගෙනාව නෙ. ඒකම තමයි ක්ලැන්ස් නියෝජනය ඒ යුගයේ දී කළේ කියලයි මට නම් හිතෙන්නෙ.

පොප් සංගීතය හරහා මිනිසුන්ට රිලැක්ස් ඒකේ අහන්න පුළුවන් ගීත ගොන්නක් ක්ලැරන්ස් නිර්මාණය කළා. වචන ගත්තත් හරිම සිම්පල්, අදහස ගත්තත් හරිම සෘජුව කියන, සරලව කියන දෙකම එක පාරින් ග්‍රහණය කරගන්න පුළුවන්, ආතල් එකේ අහන්න පුළුවන් මියුසික් නියෝජනය කළේ ක්ලැරන්ස්.  

හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ ක්ලැරන්ස් හැම වෙලේම ඒකම කළා කියලා. මොකද ක්ලැරන්ස් ඔහුගේ සංගීතයේ තිබෙන විවිධ පැති කඩයන් විවිධ අවස්ථාවල පෙන්වලා තිබෙනවා. උදාහරණයක් ලෙස “සිකුරුලියා සින්දුව” ගත්තොත් - බොහෝ දෙනෙකුට විශ්වාස කරන්න අපහසුයි නෙ ඒක ක්ලැරන්ස් හදපු සින්දුවක් කියලා. සමහර අය පුදුමයටත් පත් වෙනවා. නමුත් ක්ලැරන්ස් ආස කරපු විනෝදයට බර පොප් සංගීතය තමයි අපි ඔහු ගේ බොහෝ නිර්මාණ හරහා දකින්නෙ. 

ඒ වගේම ක්ලැරන්ස් ගේ ඉමෝෂනල් සින්දු තිබුණේ නැහැ කියලා කාටවත් කියන්න බැහැ. මොකද “ඈත එපිට හිම කන්දෙන්”, “දිලීප පොඩි පුතු” වැනි ගීත ගත්තොත් හැඟීම්බර ගීත ඔහු නිර්මාණය කළා වගේම, ආදරය විවිධ පැතිකඩ ඔස්සේ ගෙන ඒන ගීතත් හෙතෙම නිර්මාණය කළා. 

නමුත් මූලිකව ම ක්ලැරන්ස් ගේ මියුසික් තියෙන්නෙ මිනිස්සුන් ට සරලව විනෝද වීම සඳහායි. ඒ තුළ සමාජය ඇතුළෙ තිබුණ අඩුව ඔහු පිරෙව්වා කියලයි මට හිතෙන්නෙ.

ශ්‍රී ලංකන් පොප් 

ලංකාවේ මොඩර්න් එක හැම තිස්සෙම අහුවෙන්නෙ කොමර්ෂල් සිටි වලට නෙ. කොළඹින් පටන් අරන් ඊළඟට යන්නෙ කොමර්ෂල් සිටි වලට නෙ. රත්නපුර වැනි මිල මුදල් ගැවසෙන, මුදල් වැය කරලා පරිභෝජනය කරන සමාජයක තමයි ක්ලැරන්ස් මුලින්ම ජීවත් වෙන්නෙ. එතකොට වෙස්ට් එකේ තිබුණු ආභාෂය වැනි දේවල් මුලින්ම ළඟා වෙන්නෙ එවැනි තැන්වලටයි. මම අහලා තියෙන විදිහට ක්ලැරන්ස් ට ඉංග්‍රීසි, සිංහල හා දමිළ භාෂා තුනම හොඳට කතා කරන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාව දන්න කෙනෙකුට වෙස්ට් ඒකේ ආභාෂය ලබාගන්න, ඒවා ඇසුරුකරන්න, ඒවා තියෙන තැන් සමග සම්බන්ධ වෙන්න තියෙන අවස්ථා වැඩියි.  ඒක තමයි ක්ලැරන්ස්ටත් බලපෑවේ කියලා මට හිතෙනවා. 

පොප් දේශීයකරණය කිරීම 

ක්ලැරන්ස් කියන්නෙ හරි විනෝදයෙන් ජීවත් වෙච්ච කෙනෙක්. ඕන කෙනෙක් ගේ සංගීතයට වැදගත් වෙන්නෙ තමන් ගෙ වටපිටාවයි. තමන් ගත කරපු ජීවිතය තමයි ඕනම කලාකරුවෙක් ඉන්ටප්‍රිට් කරන්නෙ. ඔහුගේ සාමාන්‍ය හැසිරීමම තමයි මියුසික් විදිහටත් එළියට එන්නෙ. ක්ලැරන්ස් ජීවත්වුණ රත්නපුර, මොරටුව ගත්තහම සතුටින් ජීවත් වෙන ප්‍රදේශ. අපේ ඔළුවෙ වුණත් තියෙනවා ඒ පැත්තෙ පාටියකට යන්න ආරාධනා ලැබුණොත් ඒක මරුවට තියෙයි කියලා. 

අපි දේවල් ගැන කතා කරන කොටත්, මිනිස්සු ගැන කතා කරන කොටත් කියනව නේ මෙහෙන් ආව මනුස්සයෙක් නම් නියම ආතල් පොරක් කියලා. ඔහු තුළ තිබුණු ඒ ආතල් එක තමයි මියුසික් බවට හරෝ ගන්න ඇත්තෙ.

ලංකාවේ අයිකනයක් විදිහට ක්ලැරන්ස්ට නිසි ඇගයීමක් ලැබෙන්න ඕනි. ක්ලැරන්ස් ගේ ගිටාර් ටෝන් එක ෆලෝ කරපු පිරිස අතරේ ඔහුගේ පරම්පරාවේ සිට අද පරම්පරාව දක්වා පිරිස් සිටිනවා. මම අහපු විදිහට  ඉස්සර ඩ්‍රම් සෙට් එකක් රෙකෝඩ් කළේ එක මයික් එකක් දාලලු‍. ක්ලැරන්ස් තමයිලු‍  මුලින්ම පුට් එකට වෙනම මයික් එකක් දාලා ඒ අත්හදා බැලීම සිදු කරලා තියෙන්නෙ. ඒ විදිහට එක්ස්පරිමන්ටල් මියුසික් පැත්තටත් ඔහු යොමු වුණා. වෙන මානයකට ඔහුගේ සංගීතය උස්ස ගන්න ඔහු උත්සාහ දරා තිබෙනවා.

මේ විදිහට ක්ලැරන්ස් ගේ මියුසික් වලට කොච්චර ආදරය වුණත් ඒවා ඉතා පැහැදිලිව කියන්න තරම් අධ්‍යයනය කරලා නෑ. මොකද අපි සින්දු අහන තැනින් නවතිනවා, නමුත් ඔහු ගැන ලොකු අධ්‍යයනයක් සිදු කළ යුතු වනවා. 

නොනැසෙන සංගීතය 

නොනැසෙන බව තියෙන්නෙ සරල බව තුළ යි. හැම පරම්පරාවක්ම ඉස්සෙල්ලම අල්ලගන්නෙ සරලව කරන්න පුළුවන් දේනෙ. ඊට පස්සෙ නෙ ගැඹුරට යන්නෙ. ක්ලැරන්ස්ගේ සංගීතයේ තිබෙන සරල බව නිසා කෝඩ් ස්ට්‍රක්චර්, ටෙක්නිකල් මියුසික් ගත්තත් අද මියුසික් ඉගෙන ගන්න පටන් ගන්න කෙනෙකුට මාස 6ක් තුළ ඔහුගේ ගීතයක් වාදනය කරන්න හැකියාව තිබෙනවා. ඒවා ඒ තරම් සරලයි. ඒවා ලොකු ස්ට්‍රක්චර්වල හැදුවෙ නැති වුණාට ඒවායේ මියුසික් Value  තුළ මෙලඩි පවර් උපරිමයෙන් තිබෙනවා. ක්ලැරන්ස් ගේ මියුසික් ඕනෑම කෙනෙකුට පහසුවෙන් භාවිත කරන්න පුළුවන් වගේම ඕනෑම වෙලාවක අහන්න පුළුවන් වීම නිසා තමයි එම සංගීතය නොනැසී පවතින්නෙ.

කණ්ඩායම් සංගීතය හා ක්ලැරන්ස් 

ලංකාවේ කණ්ඩායම් සංගීතයේ  ප්‍රගමනයට ක්ලැරන්ස් ගෙන් අප්‍රමාණ දායකත්වයක් ලැබිලා තියෙනවා. ක්ලැරන්ස් කණ්ඩායම් සංගීතය අරඹන විට ලංකාවේ කණ්ඩායම් සංගීතය එතරම් ප්‍රචලිත තලයක නෙවෙයි තිබුණේ. නමුත් ඔහු බිහි කරපු කණ්ඩායම් සංගීතය තුළින් ජනප්‍රිය ගීත රැසක් බිහි වුණා. ක්ලැරන්ස් ගේ 6/8 සින්දු කොළඹ සමාජයේ ඉහළම ස්ථරය අතරේ බෙහෙවින් ජනප්‍රියව තිබුණා. ඔහුගේ මාර්කට් ෂෙයාර් ඒක තිබුණෙ එතන. ඒ නිසාම  ඔහු කරපු හැම නිර්මාණයක්ම සමාජ බලපෑමක් (Social Impact)  බවට පත් වුණා කියලා මට හිතෙනවා.

කණ්ඩායම් සංගීතය තුළ ක්ලැරන්ස් හඳුන්වා දුන් හාර්මනි සිංග් කරන එක බටහිර ආභාෂයත් එක්ක ඇතිවුණ දෙයක්. ක්ලැරන්ස් ගේ ජනප්‍රිතාවත් එක්ක ඔහු නිර්මාණ ට්‍රෙන්ඩ් එකක් වෙන්න තිබුණු ඉඩකඩ වැඩියි. ඒනිසා ඒකේ influence  තමයි එකල කණ්ඩායම් සංගීතය තුළ තිබෙන්න ඇත්තෙ.

6/8 මියුසික් වැඩි වශයෙන් සිදු කිරීම 

සංගීතඥ නදීක ජයවර්ධන

පැවැත්ම සඳහා මාර්කට් එකෙන් කොටසක් අයිති කරගැනීම ඕනෑම බ්‍රෑන්ඩ් එකකට අදාළ කාරණයක්. ඒකෙන් වියුක්තව කාටත් ඉන්න බැහැනෙ. ඒ නිසා ක්ලැරන්ස්ටත් මාර්කට් එක ගැන අදහසක් තියෙන්න ඇති. ඒත් එක්කම මිනිස්සු ඔහු ගෙන් බලාපොරොත්තු වුණේ 6/8 නිසා වැඩිපුර එවැනි ගීත කළා වෙන්නත් පුළුවන්.

මොකද අපි ප්‍රබුද්ධ ගායකයෙකු ගේ ගීත කියලා නටන්නේ නැහැනෙ. අනික් අතට වෙඩින් එකක අවසාන සින්දු ලයිස්තුවට ගන්න සින්දු කුලකයක් තියෙනවා. අනික අපි  වුනත් පාර්ටි එකක ඉද්දි දැන් අපි නටන තැනට ඇවිල්ලා කියලා දැනෙන සින්දු කීපයක් තිබෙනවා. අන්න ඒ වයිබ් එකට තමයි ඔහු ආමන්ත්‍රණය කළේ. උදාහරණයක් ලෙස නටන්න හිතෙන්නේ නැති වෙලාවක වුණත් ක්ලැරන්ස් ගේ ගීතයකට නටන්න හිතෙන්න පුළුවන් නෙ.  ඒ මූඩ් එක තමයි ඔහු රීඩ් කරලා තිබෙන්නෙ.

ඩිජිටල් නොවුණු යුගයක පොප් ලංකාවට රැගෙන ඒම 

පොප් සංගීතය මෙරට ප්‍රචලිත කිරීම සඳහා ක්ලැරන්ස්ට ඔහුගේ සමාජ ඇසුර තමයි ඒ සඳහා බලපාන්න ඇත්තේ, මම විශ්වාස කරන විදිහට. භාෂා හැසිරවීමත් එක්ක අපි ජීවත් වෙන සමාජයට වඩා ඉහළ සමාජයක් එක්ක ගනුදෙනු කරන්න අවස්ථාව හිමි වෙනවා. බටහිරින් ආ ඩැඩී කලෙක්ෂන් ආදිය තිබූ සමාජයත් එක්ක ඔහුට සබඳතා තිබෙන්න ඇති. මට මතකයි අපි 2000 මියුසික් කරද්දිත් ඉංග්‍රීසි සින්දුවක් හොයා ගෙන ඉගෙන ගන්නවා කියන්නෙ අතිශය අමාරු වැඩක්. ඒ අනුව මට හිතා ගන්න පුළුවන් ක්ලැරන්ස් ගේ තරුණ කාලේ ඒක කොච්චර අමාරු වෙන්න ඇද්ද කියලා. 

ගිටාර් වාදකයා 

අපි ක්ලැරන්ස් ගේ ගායනය, සංගීත නිර්මාණය වගේම ඔහු තුළ සිටි ගිටාර් වාදකයා පිළිබඳවත් කතා කළ යුතුමයි. වාදනය කරමින් ගායනය කරන ආර්ටිස් ලා ලෝකයේ ම හරි අඩුයි. 
ඔය ට්‍රෙන්ඩ් එක ලංකාවේ ඇති කළේ ක්ලැරන්ස් විසිනුයි. අපි උනත් පසුකාලීනව ඒවට ඇලු‍ම් කරන්න හේතු වුණේ රට ඇතුළෙම හොඳම උදාහරණය වූ - ක්ලැරන්ස් නිසයි. ඇත්තටම ක්ලැරන්ස් අපි වැනි අයටත් ලොකු influence  එකක් වුණා.    

නිසි ඇගයීමක් නොලද සර්ව කාලීන සංගීතඥයා 

වෙස්ට් එක කියන කුලකය අපේ රටේ අදටත් පොඩි කුලකයක්. ඉන්දියාව කියන්නෙ සංගීතයට වන්දනාමාන කරන, දේවත්වයෙන් අදහන මට්ටමක් විද්‍යමාන කරවන දෙයක්. සමස්ත සමාජයේ තියෙන පින්තූරය තුළ   ක්ලැරන්ස් පොඩි වෙන්න ඇති. 

නමුත් ඔහුගේ මියුසික්වලින් සිදුවුණ Social Imfact  එක කවුරුවත් තාම අධ්‍යයනය කරලා නැතුව ඇති කිසි කෙනෙක්. 

හැමෝම ක්ලැරන්ස් ගේ සින්දු අහනවා කියන තැනින් නවතිනවා මිසක්, ලංකා සමාජයේ තිබුණු රික්තය පුරවපු එක, රිලීෆ් එක, සංගීත ක්ෂේත්‍රයට එන්න හිතන් හිටපු පිරිස ගේ බය නැති කරපු එක, අලු‍තෙන් සංගීත කණ්ඩායම් අරඹන්න සිතන් හිටපු පිරිසට මූලික මඟ​ෙපන්වීම ලබාදීම, ආදි කාරණා තුළ ඔහුව අනිවාර් යයෙන් ඇගයීමට ලක්විය යුතුයි. නමුත් අද වන විටවත් ඔහුට ඒ ලැබිය යුතු ඇගයීම ලැබුණේ නැහැ. නමුත් ඔහුගෙන් ලංකාවේ මියුසික්වලට සිදුවූ මෙහෙය අති විශාලයි.

මාගේ සංගීත දිවියට සිදුවූ බලපෑම 

වෙස්ට් එකේ තියෙන දෙයක් ගෙඩි පිටින් අරන් අපිට මෙහේ ප්ලග් කරන්න බැහැ. අර්ථ රසය කොහෙන් හරි ඒ වගේම වෙස්ට් එකේ තියෙන දෙයක් අමු අමුවේ මෙහේ ප්ලාන්ට් කරන්න බැහැ. කොච්චර ලස්සන වුණත් සීත කාලයේ අඳින ඇඳුම් අපි උණුසුම් කාලයට අඳින්නෙ නැහැනෙ. 

වෙස්ට් එකේ ඇහිච්ච දේ ලෝකලයිස් කරපු දේ අපිට හරි වැදගත් වුණා, අපේ මියුසික් සද්දයක් හදාගන්න. අපි මියුසික් කරන කාලය වන තෙක් උත්සාහ කළේ, ලෝකෙට මියුසික් කරන්න නෙමේ, ලංකාවට මියුසික් කරනවා කියන අදහසනෙ. වෙස්ට් එකේ තිබුණ දේ හරියටම ගළප ගත්ත මුල් පරම්පරාව තමයි ක්ලැරන්ස් කියන්නෙ. 

ඒවගේ ශබ්දයට ආදරය කරපු මිනිස්සුන්ට ගන්න තිබුණු හොඳම රෙෆරන්ස් එක තමයි ක්ලැරන්ස් කියන්නෙ. ක්ලැරන්ස් ගේ මියුසික්වලින් අපේ සංගීතය අනිවාර් යෙන්ම පෝෂණය ලැබුවා. 

නිරෝෂාන් ප්‍රේමරත්න