කුරුල්ලන්ගේ කෑකෝගැසීම හැරෙන්නට උදා හිරු එළිය හිරිමල් වෙමින් තිබුණු ඒ උදෑසනේ වෙනත් කිසිදු ශබ්දයක් මගේ හිතේ නිහැඬියාව නොබින්දේ ය. දිමුතු පසුකර ටිකක් වේගයෙන් ඉදිරියට ගිය මට ඕනෑ වුණේ සීමිත නිහැඬියාවක ගිලෙන්නටය. අතීතකාමී සුන්දරත්වයක ලකුණු මගේ සිතේ ඇඳෙමින් තිබිණි. බණ්ඩාරවෙල කඳුමීදුම මට හොඳට හුරු පුරුදු ය. පුරා අවුරුදු තුන හමාරකට ආසන්න කාලයක් මේ ඉසව්වේ කඳු තැනි පසුකර ගිය අතීතයකට කෙමෙන් මම සමවැඳුණමි. මීදුමෙන් වැසුණු කඳු පන්තිවල නිරුවත දැකීම ඉතා ප්‍රියජනක ය. අතීතකාමී මනෝභාවයෙන් මිදුණු මගේ සිත යළිත් හීල්ඔයෙන් පූනාගලට අමාරුවෙන් ඇද ගතිමි. මෙවැනි ගමන්වලදි එහෙම දේවල් වෙන එකත් හොඳයි නේද කියා සිතමින් මුවට නඟාගත් හසරැල්ලකින් පෙර මග බැලුවෙමි.
කෙමෙන් කෙමෙන් අප පූනාගල පුංචි කඩහන්දියට ළඟා වී තිබිණි. රන් පැහැයට හිරු එළියෙන් බැබළුණු කෝවිලට මගේ ඇස් වේගයෙන් දිව්වේ ය. එහි කුමන හෝ අලුත්වැඩියාවක් වෙමින් තිබූ බවක් ද පෙනිණි. මට යළිත් ගුණා අයියා සිහියට ආවේ ය. පූනාගල ලස්සන ගැන කියන අතර වාරයේ මෙහි වෙසෙන මිනිසුන් මුහුණ දෙන දුක් ගැහැට ගැනත් විවිධ දේවල් ඔහු කීවේ ය. පූනාගල ලස්සන ඇති තරම් දැක්ක හෙයින් දැන් මට ඕනෑ වුණේ ඒ ප්‍රශ්න ගැන හොයා බලන්නට ය. කොතැනත් තියෙන ජීවන අරගලයට අමතරව පූනාගල හා ඒ අවට ගම් වැසියන්ට අනන්‍ය වූ තවත් ප්‍රශ්න ගණනාවක් ඇති බව මට දැනගන්නට ලැබිණි. එකක් අලි ප්‍රශ්නය යි. අලින් කී සැණින් අපේ සිහියට එන්නේ අලි-මිනිස් ගැටුම් බහුලව වාර්තා වෙන ප්‍රදේශයි. එහෙත් පූනාගලත් අලින් ඉන්නා බවත් අලින් මිනිසුන්ට පහර දීම් හා වගාවන්ට හානි කරන සිදුවීම් මෙහෙත් සිදු වෙන බව අසන්නට ලැබුණෙන් අපේ ඇස් උඩ ගියේ ය. මේ ගැන හාරා ඇවිස්සීමේදී තියුණු වූයෙන් මට කවුරුන් හෝ ඉතා ඉක්මණින් කතාවට අල්ලාගැනීමට උවමනා විය. ඇස් පෙනෙන මානයේ කුඩා තේ කඩයක් තිබුණෙන් අපි ඊට ඇතුළු වූයෙමු. ඒ කඩයෙ හිමිකරු රණසිංහ සමග මිතුරු වෙන්නට මට වැඩි වේලාවක් නොගියේ ය.
රණසිංහත් සමග කතාවට වැටුණු අල්ලපනල්ලේ අලි ප්‍රශ්නය මැදින් මාහට අමුතු සමාජීය බැඳියාවක් ගැනත් තොරතුරු අසන්නට ලැබිණි. ඒ අනුව පූනාගල ගමේ අපූරු දෙමළ-සිංහල එකමුතුවක් තිබෙන බව ඔහු කීවේ ය. ගමේ තිබෙන එකම පන්සලේ වැඩ ඉන්නේත් එකම හාමුදුරු නමකි. ඒ පන්සලට දාන මාන ලැබෙන්නේ සිංහල පවුල්වලින් පමණක් නොවේ. දෙමළ පවුල් ද ඒ පුණ්‍යකර්මයට අතගසති.
“පූනාගල ඉස්සර ඉඳන්ම තේ වගාවට තමයි ප්‍රසිද්ධ. මෙහෙ අය ගොඩක් තේ දලු කර්මාන්තයෙන් තමයි ජීවත් වෙන්නෙ. ඔය ඉස්සරහ තියෙන පන්සල 1970 ගණන්වල ඉදි කළේ. ඒ කාලෙ ඉඳන්ම සිංහල දෙමළ අය සහයෝගයෙන් පන්සල පවත්වා ගෙන යනවා. පන්සලේ වැඩ ඉන්න හාමුදුරුවන්ට දානෙ දෙන්නෙ ගමේ ඉන්න සිංහල දෙමළ හැමෝම එකතු වෙලා. පන්සලට අල්ලපු වැටේ තියෙන කෝවිලේ පූජාවලට සිංහල අපිත් සහභාගී වෙනවා” රණසිංහ කියා ගෙන ගියේ ය. රණසිංහට තාවකාලිකව සමුදුන් අපි ශ්‍රී කර්මාරි අම්මාන් හින්දු කෝවිල දෙසට පිය මැන්නෙමු.
දෙමළ-සිංහල ළමයි එකට ඉගෙන ගන්නා හින්දු වල්ලුවර් දහම් පාසල
කෝවිලේ දී මට සත්‍යා මුණගැසුණි. ඇය ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන අතර ඇයට සිංහල හොඳින් කතාකිරීමට හැකි වූ බැවින් අපේ සන්නිවේදනය වඩාත් සුමට විය. සත්‍යා ශ්‍රී කර්මාරි අම්මාන් හින්දු කෝවිලේ වල්ලුවර් දහම් පාසලේ ඉගැන්වීම් කටයුතු ද කරන්නී ය.
“මම ඉපදුණේ පූනාගල. 2009 ඉඳන් කෝවිලේ දහම් පාසලේ මම උගන්වනවා. කලින් දහම් පාසලේ ළමයි සීයකට වැඩියෙන් හිටියා. ඒත් උපකාරක පන්තිවලට ගොඩක් ළමයි යන නිසා දැන් දහම් පාසලට එන ළමයි ප්‍රමාණය ටිකක් අඩුවෙලා තියෙන්නෙ. දැන් සාමාන්‍යයෙන් ළමයි හතළිහක් විතර ඉන්නවා. කෝවිලේ දහම් පාසලට ඉගෙන ගන්න සිංහල පවුල්වල ළමයිනුත් එනවා. එයාලට දෙමළ කතා කරන්නත් පුළුවන්. කෝවිලේ තියෙන නොයෙක් චාරිත්‍රවලටත් සිංහල ළමයි සහභාගී වෙනවා. පන්සලේ වැඩවලට දෙමළ ළමයිනුත් සහභාගී වෙනවා. පූනාගල වත්තෙ ළමයින්ට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. ඒ වගේම සිංහල ළමයින්ට දෙමළ පුළුවන්”.
අලි නිසා රෑ අටට කඩ වැහෙන ගමක්
ඒ ආගමික සංස්කෘතික සහජීවනය පිළිබඳ තොරතුරු දැනගත් පසු අපි සත්‍යාට සමු දී යළිත් පූනාගල හන්දිය දෙසට පල්ලම් බැස්සෙමු. මට ඊළඟට දැනගන්න උවමනා වී තිබුණේ අලි ප්‍රශ්නය ගැන ය. රණසිංහ කී පරිදි පූනාගල වැසියෝ රෑ අටෙන් පසු කඩා වසා දමති. ගමන් බිමන් නොයති. ඒ අලි ගැවසෙන නිසා ය. ඊට අඩුවැඩිය එක්කරමින් ඔහු කීවේ තැනින් තැන පිහිටි විශාල ගල් හා අලින්ගේ හැඩරුව සමාන නිසා රාත්‍රී කාලයේ අලින් හඳුනාගැනීම අසීරු බව ය. “ගිය සතියෙත් රෑ අටට විතර මේ පාරෙ අලියෙක් ඉඳලා තියෙනවා. පහුගිය කාලෙ මාකන්දෙ ඉස්පිරිතාලෙට ගහලා කඩලා තිබුණා. තව කඩයක් කැඩුවා. දෙමළ ඉස්කෝලෙ ගේට්ටුව කඩලා තිබුණා. පූනාගල, පහළ පූනාගල, මකල්දෙණිය ඇතළු ගම් කීපයක අට දෙනෙක් විතර මේ වනවිට අලි ගහලා මැරිලා තියෙනවා” රණසිංහ කතාබහ ඉදිරියට ගෙන ගියේ ය.
රණසිංහ ගේ තේ කඩයට ගොඩ වූ පසු එහි මහලු වයසේ පසු වූ ගැමියෝ දෙදෙනෙක් සිටියහ. කේ. සිවලිංගම් වයස හැත්තෑවක් වූ පූනාගල ගැන ඉහේ කෙස් ගානට” දන්නා ගැමියෙකි. එළවළු අස්වනු නෙළන කාලෙට අලින්ගේ පැමිණීම අනිවාර්ය බව ඔහු කීවේ ය.
“අපිට මෙහෙ අලින් ගෙන් තමයි බේරෙන්න බැරි. මේ හරියෙ විතරක් අලි ගහලා තුන් දෙනෙක් විතර මැරිලා තියෙනවා. මම එළවළු වගා කරනවා. උන් ඒවත් විනාශ කරනවා. අතුගෝවා, ලීක්ස්, ගෙඩිගෝවා කන්න මෙහෙ අලි ලොකු කැමැත්තක් දක්වනවා. එළවළු අස්වනු නෙළන කාලෙට අලි මේ පැත්තට එනවමයි. රෑට තමයි මෙහෙට එන්නෙ. දැන් අවුරුදු දහයක කාලයක තිස්සෙ වැල්ලවාය, කොස්ලන්ද, පෙට්ටිගල පැත්තෙන් අලි මෙහාට එනවා. වගා විනාශ කරන්නෙ අලි විතරක් නෙවෙයි රිළව් මොනරුත් ඒ දේ කරනවා. වගා හානි කොච්චර වුණත් ඒවට වන්දි ගෙවන්නෙ නෑ. අමුමිරිස්, බෝංචි මොනරුන් ගෙන් බේරගන්න බෑ” ඒ සිවලිංගම්ගේ අත්දැකීම් ය.
ගම්වදින අලින් ප්‍රමාණය හා අලින් ගේ පහරදීම් නිසා මිය ගිය මිනිස් ජීවිත ගැන ගම්මුන් ගෙන් පරස්පර තොරතුරු ඉදිරිපත් වූයෙන් මම පූනාගල හා තවත් ගම් කිහිපයක ග්‍රාමසේවක නිලධාරිනිය වන කේ. ශාලනී දුරකතනයෙන් සම්බන්ධ කර ගනිමින් ඒ පිළිබඳ නිල තොරතුරු දැනගැනීමට උත්සාහ කළ ද ඇය සතුව ද ඒ තොරතුරු නොතිබිණි. උඩහේන, ගල්බොක්ක, කබරගල, පූනාගල ඇතුළු ඇය යටතේ පවතින වසම් නවයෙහි පවුල් 1,500 ක් පමණ ජීවත් වෙන බවත් ඒ ජනතාව නොයෙක් ප්‍රශ්නවලට මුහුණපාන බවත් ඇය කීවාය.
“මෙහෙ මිනිස්සුන්ට අලි ප්‍රශ්නයට අමතරව රිළව් ප්‍රශ්නයත් තියෙනවා. දරුවන් ගෙ ඉගෙනීම් ඇතුළු බොහෝ කටයුතුවලට බණ්ඩාරවෙලටම යන්න වෙනවා. පූනාගල ග්‍රාම සේවා වසමෙ හින්දු පාසල් තුනකුත් සිංහල පාසලකුත් තියෙනවා” ඇය පැහැදිලි කළේ ය.
පූනාගලට සමුදුන් අපි කොස්ලන්දත් පූනාගලත් වෙන් වෙන පාර ළඟට යළිත් පැමිණියෙමු. මීළඟට අපට ඕනෑ වුණේ පිල්කින්ටන් දැකුම් ස්ථානය බලන්නට යෑමට ය. උඩහේන හරහා යන ඒ පාරේ අලින් ගැවසෙන බව ගම්මුන් කිහිප දෙනෙකු පැවසූ හෙයින් අප එදෙසට ගියේ තරමක චකිතයකින් යුතු ව ය. කොස්ලන්ද පාරේ කිලෝ මීටර් දෙකක් විතර පයින් ගෑටු අපට ක්‍රීඩාපිටියට ඉහළින් වූ පාරේ තවත් කිලෝ මීටර් දෙක හමාරක් ඇවිද යෑමට සිදු විය. උඩහේන වත්තට කිට්ටු වෙනවිට ස්ථාන දෙකක අලි වසුරු දැකගන්නට ලැබුණෙන් උඩහේනේ අලින් නිතර ගැවසෙන බව අපට ඉවෙන් වටහා ගැනීමට හැකි විය. උඩහේනේ දී අපට මුණගැසුණු තරුණයන් කිහිපදෙනකු අනතුරු අඟවමින් කීවේ මෙහෙ අලින් ගැවසෙන හෙයින් කල්පනාවෙන් යන ලෙස ය. ඒ වචන බැරෑරුම්ව ගත් අප මිනිස් පුලුටක්වත් නොවූ තැන් පසුකළේ පොළොවටවත් නොදැනෙන ගානට අඩි තියමින් පරිස්සමටය. දුර තියා හෝ අලියකු දැකගත හැකි වෙතැයි සිතුණ ද පිල්කින්ටන් වෙත ළඟා වෙන තෙක්ම කිසිදු අලියෙකු අප නෙත් නොගැටිණි.
තවත් සංචාරයක් එසේ නිමා විය.
උපුල් වික්‍රමසිංහ
අලින්ගේ ඡායාරූප මං සරන්නා ෆේස්බුක් පිටුවෙනි.