අගමැතිනියගේ වගා සංග්‍රාමයේ මතක සටහන්


1960 – 1965 හා 1970 – 1977 කාලයේ දී  සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අපේ රටේ අග්‍රාමාත්‍යවරිය වූවාය. ඇය අග්‍රාමාත්‍ය තනතුර හොබවන 1970 දශකයේ දී රට පුරා මහා වගා සංග්‍රාමයක් ආරම්භ කරනු ලැබූ අතර, එක් ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට හාල් සහ මිරිස් ප්‍රවාහනය කිරීම තහනම් කරමින් මාර්ගවල මාර්ග බාධක ද දැමීමට කටයුතු කරනු ලැබීය.

හාල් සහ මිරිස් හොර රහසේ එක් ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට රැගෙන යන්නේ දැයි යන්න කියා පරීක්ෂා කර බැලීමට පිහිට වූ මෙම මාර්ග බාධක එකල හැඳින්වූයේ හාල් සහ මිරිස්පොලු‍ කියාය.

මෙම හාල් සහ මිරිස්පොලු‍වල සේවය සඳහා එම ප්‍රදේශ වලින් තෝරා ගත් තරුණයින් පිරිසක් යෙදවූ අතර, ඔවුනට ආරක්‍ෂාව සැපයීම සඳහා පොලිස් නිලධාරියකු බැගින් ද එකල පත් කර තිබිණි.

රට පුරා පිහිට වූ මෙම මිරිස් සහ හාල්පොලු‍වල සේවය කළ ඇතමුන් කසිප්පු බෝතලයකට හෝ ගෙනියන හාල් සහ මිරිස් වලින් කොටසක් ලබා ගෙන, ඉතිරි ඒවා මුදා හැරි අවස්ථා ද එකල තිබුණු බව තතු දත්තෝ පවසති.

මේ අතර සතියකට දින කීපයක් හෝටලවල හා ආපණ ශාලාවල බත් අලෙවිය ද තහනම්  කර තිබූ අතර, එම දිනවලදී අල, බතල, මඤ්ඤොක්කා සහ මුං ඇට ආදී ආහාර වර්ග ඒවායේ අලෙවි කෙරුණි.

රට පුරා කෘෂිකාර්මික නවෝදයක් ඇති කිරීමේ අරමුණින් මෙවැනි තහංචි සහ සීමා එකල පැවති  සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ රජය විසින් පනවනු ලැබූ බව කියවිණි. කෘෂිකර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් තරුණ ගොවි සමාජ ද එකල පිහිටවනු ලැබූ අතර, ඒවාට ගමේ  තරුණ තරුණයින් බඳවා ගනු ලැබූහ. ඒ අනුව හැත්තෑව දශකයේ පොළොන්නරුව ඇළහැර යාය තිස් දෙක සහ තිස් තුන ප්‍රදේශයන් හි පිහිටවනු ලැබූ තරුණ ගොවි සමාජයේ සභාපතිවරයා වූයේ පී. කුමාරරත්න ය. 33 දියබෙදුම ග්‍රාමයේ උපන් ඔහු පොළොන්නරුවේ රාජකීය විද්‍යාලයෙන් ශිල්ප හදාරා ඇත.

උප ගුරුවරයකු ලෙස ගුරුසේවයට එක් වී විදුහල්පති ධුරයට ද පත්ව සුව හසක් සිසුන්ගේ නැණැස පෑදීමට ඉමහත් සේවයක් කළ කුමාරරත්න  විශ්‍රාම ලැබුවේ, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ධුරය හොබවමින් සිටිය දී ය.

හෙතෙම මේ වන විට මාදම්පේ පැරණි නගරයේ පිහිටි නිවසේ විශ්‍රාම සුවයෙන් පසුවන අතර, ඔහුගේ එක් පුතෙක් ගුරු වෘත්තියේ ද, අනෙක් පුත්‍රයා වෛද්‍ය වෘත්තියේ ද නියැළෙති.

හැත්තෑවේ දශකයේ පිහිට වූ හාල් සහ මිරිස්පොලු‍ ගැන මෙන්ම තරුණ ගොවි සමාජ ගැන සිය මතකය අවදි කරමින් විශ්‍රාමික සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ කුමාරරත්න මෙසේ කීය.

“සිරිමාවෝ මැතිනිය අගමැතිනිය ලෙස පත්ව වසර කිහිපයක් ගතවුණාට පස්සේ රජය විසින් රටපුරා  වගා සංග්‍රාමයක් ආරම්භ කිරීමට තීරණය කරනු ලැබුවේ රට සහලින් සහ බව භෝග වලින්  ස්වයංපෝෂිත කිරීමේ ඒකායන අරමුණ ඇතිවයි. මෙම වගා සංග්‍රාමයට සමගාමීව ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට හාල් සහ මිරිස් රැගෙන යාම තහනම් කර,  මාර්ග බාධක යොදා පරීක්ෂාවන් සිදුකළා මට හොඳට මතකයි. ඒ වගේම සතියට දින දෙකක්  හෝටල් හා ආපණශාලාවල බත් අලෙවි කිරීම තහනම් කළා. එම නීතිය කඩ කරන්නේ දැයි යන්න පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පවා එකල පත් කර තිබුණා. හාල් හා මිරිස් එහා මෙහා ගෙන යන්නේ දැයි යන්න පරීක්ෂා කර බැලීමට පිහිටවනු ලැබූ එම මාර්ග බාධකවලට හාල් සහ මිරිස්පොලු‍ යන වචනය භාවිතා කළා.”

“මේ වගේ සම්බාධක පැනෙව්වේ හැම පළාතකම, ප්‍රදේශයකම ජනතාව ගොවිතැන් කටයුතු වලට යොමු කිරීමේ අරමුණ ඇතිවයි. මේ මගින් රට ස්වයංපෝෂිත කිරීමට හැකි බව රජය නිගමනය කර තිබුණා. මේ සඳහා වෙනත් විකල්පයක් නොමැති බව ද එකල රජයේ මැති ඇමතිවරුන් පවසනු ලැබුවා. මෙම ප්‍රතිපත්තිමය තීරණය නිසා ගොවි ජනතාවට ඉතා වාසිදායක තත්ත්වයක් ඇතිවෙන්නට පටන් ගත්තා. හැබැයි නාගරික ජනතාවට, රජයේ සහ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට මහත් කරදරකාරී තත්ත්වයක් එකල උද්ගතව තිබුණා. නාගරික ජනතාවට මිරිස් පැළයක් හෝ එළවළු පැළයක් වගා කිරීමට ඉඩකඩ සීමිතව තිබූ නිසා එතෙක්  නිවසේ අලංකාරයට සිටුවා තිබූ මල් වර්ග ගලවා දමා, ඒ වෙනුවට මිරිස්, එළවළු වර්ග, බතල සහ මඤ්ඤොක්කා සිටුවීමට පටන් ගත්තා. ඇතැමුන් පෝච්චි වල වගා කර තිබූ මල් පැළ සහ විසිතුරු පැළෑටි වර්ග ද උගුල්ලා දමා ඒවායේ මිරිස් හෝ එළවළු වර්ග සිටුවීමට තරම් බහුල වශයෙන් පෙලඹී සිටියා. ඒ කාලයේ මිනිසුන් තුළ වගාවට පුදුම විදියේ උනන්දුවක් තිබුණා වගේම කැපකිරීම ද කළා.”

“පුවත්පත් දෙක තුනකට වඩා එදා තිබුණේ නැහැ. සිළුමිණ සහ දිනමිණ කියන පුවත්පත් දෙක රජයට පවරා ගෙන තිබුණා. කොමියුනිස්ට් පක්ෂ ද රජය සමග අත්වැල් බැඳගෙන කටයුතු කරනු ලැබුවා. වාමාංශික පුවත්පතක් වූ ඇත්ත පුවත්පත ද ඒ කාලයේ රජයේ ප්‍රතිපත්ති වලට අනුව කටයුතු කළා. මගේ මතකයේ හැටියට ඒ කාලේ ලංකාදීප හා දවස පුවත්පත් තමයි විකල්ප පුවත්පත් විදිහට තිබුණේ. රජයේ ගුවන් විදුලියේ ස්වදේශීය සේවාව, වෙ​ෙළඳ සේවාව මෙම මහා වගා සංග්‍රාමයට මුල් තැනක් දෙමින් ප්‍රවෘත්ති හා වැඩසටහන් විකාශනය කළා. ඒ විතරක් නෙමේ ගොවිතැනට අදාළ දේශාභිමානී ගීත නිතර ප්‍රචාරය කළා. ඒ ගීත තවමත් මට මතකයි. “ට්‍රැක්ටරයෙන් පෙරළි පෙරළී එන පස් අතරින්”‍, “සඳ මඬලේ සිට ඉර මඬලේ සිට”‍, “ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ”‍ සහ “තෙල් ගාලා හිස පීරන් නෑනෝ” වගේ ගීත ඒ වකවානුවේ නිතර ප්‍රචාරය වුණා.”

ඒ වකවානුවේ තරුණ කොලු‍ ගැටයකු වූ කුමාරරත්න පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට උසස් පෙළ හැදෑරීමේ බලාපොරොත්තුවෙන් සිටියේය. 

“අපේ ගමට වොලිබෝල් ක්‍රීඩා පිට්ටනියක් තිබුණේ නැහැ. ගමේ තරුණ පිරිසක් සමග එකතු වෙලා වොලිබෝල් ක්‍රීඩා පිට්ටනියක් සකස් කරලා ඒකෙ හැමදාම වගේ හවසට සෙල්ලම් කරනවා. එක දවසක් මෙහෙම සෙල්ලම් කර කර ඉන්න කොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති නිලධාරියෙකු සහ කෘෂිකර්ම පරීක්ෂකවරයෙකු අපි වොලිබෝල් ක්‍රීඩා කරමින් සිටි තැනට පැමිණියා. බණ්ඩාර නැමති ඒ මහත්තයා රට පුරා පිහිටුවා ගෙන යන තරුණ ගොවි සමාජ ගැන දැනුවත් කිරීමක් කළා. ඊට ටික දවසකට පස්සේ අපේ ප්‍රදේශයේ තරුණ ගොවි සමාජයක් පිහිටුවා ගත්තා. පළමු රැස්වීමට තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගී වුණා. එහි සභාපතිවරයා ලෙස මාව තේරී පත්වුණා. ලේකම් ලෙස සරත් කුමාර, උප ලේකම් ලෙස ඔලිවර්, භාණ්ඩාගාරික ලෙස සරත් අතුකෝරල ද  මෙහිදී තෝරා පත් කෙරුණා. මේ අවස්ථාවට ඇළහැර ගොවිජන ව්‍යාපාරයේ කළමනාකරු ලෙස සේවය කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර්  වරයකු ලෙස රාජකාරි කළ වසන්ත එස්. විජේසිංහ නමැති මහතෙකු ද සහභාගී වී සිටියා මට අද වගේ මතකයි.”

තරුණ ගොවි සමාජවල සාමාජික සාමාජිකාවෝ යාපනයේ සංචාරයකට සහභාගී කරවා - එම ප්‍රදේශයේ පිහිටි ගොවිපොළවල් වල දී,   කෘෂිකර්මාන්තය ගැන න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුවක් ලබා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණේ එම වකවානුවේ දී මය.

යාපනයේ  සරුසාර ගොවිපොළවල් වලට ගොස් ලැබූ පුහුණුව හා ලබාගත් දැනුම පිළිබඳව මෙන්ම, සංචාරයක සුන්දර අත්දැකීම් හා බැඳි  රස මතකයන් ද කුමාරරත්න ගේ මතක ගබඩාවේ තවමත් නොසිඳී පවතී.

“ඇළහැර ගොවි ව්‍යාපාරයේ පිහිටුවා ඇති තරුණ ගොවි සමාජ වල සාමාජිකයින් තිදෙනකු බැගින් යාපනයේ ගොඩ භෝග වගාව පිළිබඳව අධ්‍යයන චාරිකාව යෙදීමට අවස්ථාව සැලසුණා. ඒ අනුව තරුණ ගොවි සමාජයේ සාමාජිකයින් විසි දෙනෙක් පමණ ගොවි ව්‍යාපාර කළමනාකරුගේ ප්‍රධානත්වයෙන් සහභාගි වුණා. ඊට කෘෂිකර්ම නිලධාරීන් කිහිප දෙනෙක් ද එක්වුණා. මේ කණ්ඩායමට මට ද සරත් කුමාර සහ සරත් අතුකෝරලට ද සහභාගී වීමට අවස්ථාව උදා වුණා. අප කණ්ඩායම කැඳවා ගෙන යෑමට පැමිණි බස් රථය ගැන මෙහි දී විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. ඒ බස් රථය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ජපානයෙන් පරිත්‍යාගයක් වශයෙන් ලැබුණු සුඛෝපබෝගී රෝසා වර්ගයේ රථයක්. මෙය වායු සමනය කරන ලද බස් රථයක්. අප සියලු‍ දෙනාම වායු සමනය කරන ලද බස් රථයක ජීවිතයේ පළමු වතාවටයි ඒ ගියේ. ඒ කාලයේ මගී ප්‍රවාහන සේවාවලට වායු සමනය කරන ලද බස් රථ තිබුණේ නැහැ. මේ නිසා අපට මෙය නවමු අත්දැකීමක් වුණා. තරුණ ගොවි සාමාජික සාමාජිකාවන් ගීත ගායනා කරමින් බොහොම සතුටින් පොළොන්නරුවේ ඉඳලා යාපනයට යනකම් ගියා.”

“අපට නවාතැන් ගැනීමට පහසුකම් සලසා තිබුණේ, එවක ලංකා දුම්කොළ සමාගමේ ප්‍රාදේශීය කළමනාකරුවෙකු ලෙස සේවය කළ සුබ්‍රමනියම් නමැති මහතෙකුගේ කොණ්ඩාවිල් හි පිහිටි නිවසයි. දින දහයක කාලයක් අපි නවාතැන් ගෙන සිටියේ එම නිවසේයි. ඔහුගේ ගෙවත්තේ එළු පට්ටියක් ද හිටියා. ඒ දවස් දහයේ දීම අපිට නොවරදවාම එළු කිරි වීදුරුවක් සෑම උදෑසනකම බොන්න දුන්නා. යාපනයේ ජනතාව ආගන්තුක සත්කාරය අතින් ඉහළම තැනක සිටියා. ඒ ගත කරපු දින දහයේ අපිත් එක්ක දමිළ ජනතාව බොහොම ළෙන්ගතුව වැඩ කළා. ගොවිතැන ගැන ඔවුන් දන්නා සියළුම දේවල් අපිට කියා දුන්නා.

අපි ගිය සෑම ගොවිපොළකම පාහේ ඉතා සරුවට මිරිස්, මුං, සෝයා, බඩ ඉරුඟු‍, රට කජු, ලූනු හා එළවළු වර්ග වැවී තිබුණා. යාපනේ තිබෙන රතු පැහැති පස් තට්ටුව නිසා ඕනෑම භෝගයක් හොඳ සරුවට වැවෙන බව අපිට පෙනී ගියා.”

“තවත් දෙයක් තමයි යාපනයේ ගොඩබිම් ගොවීන් කෘත්‍රිම පොහොර වර්ග ඒ කාලයේ භාවිත කළේම නැහැ. ඔවුන් කොම්පෝස්ට් පොහොර යහමින් යොදා ගෙන අස්වැන්න වැඩි කර ගත්තා. එළු බෙටි සහ ගොම් බෙටි යොදා ගෙන ඒවාට ගම්සූරිය සහ ගිනිසීරිය කොළ වැනි කොළ අතු යොදා ගෙන කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කර ගන්නා ආකාරය පවා ඔවුන් අපිට කියා දුන්නා. සෑම ගෙදරකම පාහේ එළු සහ ගව පට්ටියක් තිබුණා.”

“යාපනයේ ගොඩක් ගොවිපොළවල් වල රතුම රතු පාට මිරිස් වර්ගයක් තිබුණා. ඒවායේ කරල් හට ගන්නේ උඩ පැත්තටයි. ගස්වල මිරිස් කරල් රතු පාටට හරිම ලස්සනට බැබලෙනවා. මෙම මිරිස් වර්ගයේ ඇට ජපානයෙන් ගෙනැවිත්  තිබෙන ඒවා බව එහිදී අපට දැන ගැනීමට ලැබුණා. මෙම මිරිස් වර්ගයේ නම  සන්තානාකර බව අපට දැනගැනීමට ලැබුණා.” 

යැයි විශ්‍රාමික සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පවසයි.

මෙම සංචාරයේ දී තරුණ ගොවි සමාජ වල සාමාජික සාමාජිකාවන් යාපනයේ පොදු වෙෙළඳපොළ නැරඹීමට ද කැටුව ගොස් ඇත. ඒ සම්බන්ධයෙන් හෙතෙම තොරතුරු හෙළි කළේ මේ අන්දමින්ය.

“බැලූ බැලූ හැම තැනම අලු‍ත්ම අලු‍ත් නැවුම් එළවළු වලින් පිරී ගොස් තිබුණා. මේවා දැකලා අප පුදුමයට පත්වුණා. පතෝල කෙසෙල් කැන් දේශීය අර්තාපල් එළවළු‍ වර්ග හිතාගන්න බැරි තරම් අඩු මිලට මිල දී ගන්නට පුළුවන්කම තිබුණා. මෙම වගා සංග්‍රාමය නිසා යාපනයේ ජනතාවගේ අතමිට හොඳට සරු වී තිබුණ බව අපට මෙම සංචාරයේ දී පැහැදිලිවම දැකගැනීමට ලැබුණා. ඒ කාලයේ අක්කරේක මිරිස් වගා කලහම හොඳ ට්‍රැක්ටරයක් හා නගුලක් මිල දී ගැනීමට හැකියාව ඇති බව ගොවි මහත්වරුන් අපිත් සමග කිව්වා. ඔවුන් සිරිමාවෝ මැතිනියට පින් දුන්නා. මැතිනියව ඇදහැව්වේ දෙවි කෙනෙක් ලෙසයි.”

“තවත් හරිම අපූරු මිදි වගාවක් දැක බලා ගැනීමට ද අවස්ථාව අපට එහි දී උදා වුණා. ලොකු ගොවිපළක ඉතාම සරුවට මිදි හැදී තිබුණා. එම මිදි ගොවිපොළේ අයිතිකරු ශ්‍රී ලංකා පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් විදිහට කටයුතු කරන අයෙක්. ඔහුගේ නම දැන් මට මතක නැහැ. ඔහු විදේශයකින් මිදි පැළ ගෙනවිත් වගා කර තිබුණා. තමා මෙයින් හොඳ ආදායමක් ලබන බවද, උප පොලිස් පරීක්ෂකවරයා අපිට කිව්වා. අපි ඔහුගේ මිදි ගොවිපළ නරඹා ආපසු එන්න හදන විට ඔහු සැම දෙනාටම මිදි ගෙඩි සෑහෙන ප්‍රමාණය බැගින් දුන්නා. ඒවා හරිම රසයි. අපි ඒ මිදි ගෙඩි ගෙදරත් රැගෙන ආවා. ඒ මිදි ගොවිපළ අදටත් මට මැවී පෙනෙනවා.”

“යාපනය මාකට් එක බලන්න ගිහින් ආපසු වෙනත් ගොවිපොළක් බලන්න යන්න බස් එකට ගොඩ වෙන්න යන අවස්ථාවේ සිවිල් ඇඳුම් ඇඳගත්ත කණ්ඩායමක් බස් එක ළඟට ඇවිත් විපරම් කරමින් විස්තර අහන්නට පටන් ගත්තා. කණ්ඩායම වෙන කවුරුත් නෙමේ ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක්.”

“ඒ වෙනකොට අපේ රටට භාණ්ඩ ආනයනය කිරීමට ගොඩක් සීමා පනවා තිබුණා. ඒ නිසා යාපනයට  කන්කසන්තුරේ වෙරළ හරහා ඉන්දියාවේ සිට හොරබඩු යහමින් ගෙන එන ජාවාරමක් ක්‍රියාත්මක වී තිබුණා. යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් යොදවා තිබුණේ එවැනි හොර බඩු ජාවාරම් කරුවන් ගැන තොරතුරු සොයා බලන්නයි. ඒ බව ඔවුන් ගෙන් අප දැනගත්තා. ඒ කාලේ යාපනේ මාර්ගවල ලංගම බස් රථයක්  පරණ ඔස්ටින් හෝ මොරිස් කාර් රථයක් ඉඳ හිට ගමන් කිරීම හැරුණු විට මාර්ග මං මාවත් වීදි බොහොම නිස්කලංකව පැවතුණා. බොහෝ දෙනෙක් ගමන් බිමන් ගියේ පාපැදියෙන්. ගැහැණු පිරිමි භේදයකින් තොරව ළමයි ඉස්කෝලේ ගියේ පාපැදියෙන්. අධ්‍යයන කටයුතු අවසන් වීමෙන් පසු නාගදීපය, නාග විහාරය, දඹකොළපටුන, කඳුරුගමුව ආදී බෞද්ධ  සිද්ධස්ථාන වන්දනා මාන කර ගැනීමට ද අපට අවස්ථාව සලසා දුන්නා.”

මෙම දස දින අධ්‍යයන චාරිකාවෙන් පසු තරුණ ගොවි සමිති වලට ආදර්ශ ගොවිපොළවල් ඇති කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී තිබේ. කුමාරරත්නයෝ ඒ ගැන තොරතුරු හෙළි කිරීමට ද අමතක කළේ නැත.

“ආදර්ශ ගොවිපොළවල් ඇති කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අපට උපදෙස් දී ඒ සඳහා අවශ්‍ය බීජ වර්ග සහ වෙනත් යටිතල පහසුකම් ලබා දුන්නා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් අලු‍ත්ම මැසිපර්ගියුෂන් ට්‍රැක්ටරේට රොටවේටර් නගුල සවිකර බිම සකස් කරන අයුරු මුල්ම වතාවට අප දුටුවේ එදා. ඊට කලින් ඒ විදිහට පස සකස් කරන අයුරු අප දැකලා තිබුණේ නැහැ. පස සකස් කළාට පස්සේ යාපනයේ දී ලබාගත් දැනුම උපයෝගී කරගෙන මිරිස්, ලූනු , ලොකු ලූනු,  බඩ ඉරිඟු‍, රට කජු සෝයා බෝංචි ආදිය තරුණ ගොවි සමාජයේ සාමාජික සාමාජිකාවන් ගේ ශ්‍රම දායකත්වයෙන් වගා කිරීමට අපට හැකි වුණා. අපට අවශ්‍ය බීජ වර්ග, පැළ වර්ග කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි, අවශ්‍ය රසායනික ද්‍රව්‍ය මෙන්ම පොහොර වර්ග ද දෙපාර්තමේන්තුවෙන්ම ලබා දුන්නා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වරින් වර පැමිණ අපට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ප්‍රදේශයේ වැඩිහිටි ගොවි මහත්වරුන් ද ගොවිපළට ගෙන්වා ගෙන ඔවුන්ට ද අපගේ  සරු සාර ගොවි බිම පෙන්නුවා. අපි හොඳ අස්වැන්නක් සහ ආදායමක් ලබා ගත්තා. හරිම ආත්ම තෘප්තියකින් තමයි අපි කණ්ඩායම් හැඟීමකින් එදා වැඩ කළේ. කොයි කවුරුත් හොඳට මහන්සි වෙලා වැඩ කළා.

අස්වැන්නට හොඳ මිලක් හා ඉල්ලු‍මක් තිබුණා. ගොවීන් ගේ අත මිට හොඳට සරුවී යහමින් මුදල් ගැවසුණා. එමගින් දූ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න හැකියාවක් ලැබුණා. යයි ද කුමාරරත්න පෙන්වා දුන්නේය.

කුමාරරත්න ගුරුසේවයට එක් වී සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙස විශ්‍රාම ලබා ගනිද්දී ඔහුත් සමග එදා යාපනයේ ගොවි බිම්වල අධ්‍යන චාරිකාවේ යෙදුණු  සරත් කුමාර රාජ්‍ය බැංකුවක කළමනාකාරවරයකු ලෙස සේවය කර මේ වන විට විශ්‍රාම ලබා සිටින අතර, සරත් අතුකෝරල රේගු නිලධාරියකු හා නීතිඥවරයකු ලෙස ද කටයුතු කර මේ වෙන විට විශ්‍රාම සුවයෙන් ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටිති.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය