BMW රථය විකුණා පියුමි කළ මහ පිංකම


මරණයට කැපවුණු සතුන් ගොඩක් ලක්ෂ 50ක්  වියදම් කර බේරුවා

මරණ බිය මනුස්සයාට මෙන්ම සතුන්ට ද එක හා සමානය. මරණයට කැපවු එවැනි සතුන් නිදහස් කර ගැනීමට හැකි නම් එය කොතරම් පුණ්‍ය කර්මයක්ද? තමන්ගේ මෝටර් රථයක් විකුණා එයින් රුපියල් ලක්ෂ 50ක පමණ විශාල මුදලක් එවැනි සතුන් නිදහස් කර ගැනීමට යමෙකු සිතන්නේ නම් එය විමතියට කරුණක් නොවේද? ජනප්‍රිය රංගන ශිල්පිනියක, නිරූපිකාවක මෙන්ම ව්‍යාපාරික කාන්තාවක්ද වන පියුමි හංසමාලි එවැනි උතුම් කටයුත්තක යෙදුණු බව අපට දැන ගන්නට ලැබුණි. 


වර්තමානයේ පියුමි නොදැන්නා  කෙනෙකු සිටිත්ද යන්න සැකයෙකි. ඒ තරමට ඇය සමාජ මාධ්‍යවල ඉහළ ප්‍රතිචාර ලබමින් සිටින්නියකි. පියුමි වෙසක් මාසය තුළ කළ මේ පිංකම ගැන කිසිදු මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයකට සම්මුඛ සාකච්ඡාවක් ​නොදී ඉරිදා ලංකාදීප  වෙනුවෙන්ම  පමණක් කතා කිරීමට කැමති වුණේ මා කෙරෙහි තැබූ විශ්වාසය නිසාවෙනි. මේ ඒ කතා බහයි.


‘‘මම කොහොමත් පින්දහම් කරන්න ගොඩක් කැමති කෙනෙක් මුලින් කියන්න ඕනෑ මම මෙහෙම දෙයක් කළ බව දැනගත්තාම, පත්තර ටීවී වලින් inteview එකකට ගොඩක් මට කතා කළා. මම පිනක් කළේ ඉන්ටර්වීව්වල ගිහින් කියන්න නෙවෙයි. ඔයා ඉස්සර ඉඳන්ම දන්න කෙනෙක් හින්දා ඔයාට මේ inteview එක දෙනවා කියලා සිතුවා. මම හරි ආසයි පින්දහම් කරන්න. අපි කවදාහරි අරගෙන යන්නේ ඔය කරන පිනක් විතරයි’’


‘‘මම වෙනදාටත් එළුවන්, ඌරන් නිදහස් කරනවා. මේ සැරේ මම සතුන් නිදහස් කරන්නට අදහස් කළේ මගේ තිබුණු වාහනයක් විකුණලයි. මට වාහන දෙකක් තියෙනවා. මම මුලින් ගත්තේ BMW වාහනය මම ඩ්‍රයිවින් දන්නෙත් නෑ. ඉතිං වාහන 2ක් මට වැඩක් නැහැනේ. විකුණුවේ ඒකයි. දැන් මගේ ළඟ තිබෙන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය සර් පැදපු Range Rover වාහනය විතරයි. ඒක ගත්තේ ලක්ෂ අටසීයකට. ඉතින් මගේ මුල්ම වාහනය BMW එක යාලුවෙකුට වික්කා. ඒ අය මට එයින් සල්ලි භාගයක් දුන්නා. එයින් ලක්ෂ 50ක් වියදම් කරලා තමයි සතුන් නිදහස් කළේ.’’


‘‘ඌරෝ ගොඩක් මම නිදහස් කරලා තියෙනවා. පැටව් හම්බවෙන්න ඉන්න එළදෙනුන්, එළුවන් නිදහස් කළා. අනුරාධපුරේ ආශ්‍රමයක් තියෙනවා සිල් මෑනි කෙනෙක් ඉන්න. එතනට තමයි යවන්නෙ. මම මේ අලුතෙන් ගත්ත සත්තු පනහකට වැඩි ප්‍රමාණයක් ඉඩමකට ගෙනිච්චා. ඔවුන් රැක බලා ගන්න තමයි මගේ අරමුණ. එළුවෝ නිදහස් කරන තැනකට ගිහින් බලනකොට එතන එක එළුවෙක් කඳුළු පුරෝගෙන කෑගහනවා. අපි ඇහුවා ඇයි  එහෙම කඳුළු හළන්නෙ කියලා. ඌ මරණ තැනකට ගෙන ගිහින් යළි ගෙනාවා කිව්වා. ඒ එළුවාට මළ මුත්‍ර පවා පිට වෙනවා. මම කිව්වා මම සනීප කරලා ගන්නම්. එයාවත් මට දෙන්ඩ කියලා, හරිම දුකයි. පහුවැනිදා මට දැන ගන්න ලැබුණා ඒ සතා මැරුණා කියලා. මරණ බය නිසාමයි ඒ සතා මැරුණේ. මරණයට අපි වගේම සත්තුත් බයයි හරිම.’’

 

විකිණූ රථය


‘‘හරිම දුකයි. මට පුළුවන් විදිහට ඒ අහිංසක සතුන්ට ජීවත් වෙන්න ඉඩ දුන්නා. මැරෙන්න ඉන්න සතුන්ට රුපියල් ලක්ෂ 50ක් වියදම් කරන්නේ ඇයි කියලයි සමහරු කියන්නේ. මගේ හිතේ කිසිම තණ්හාවක් නෑ. නැත්නම් ලක්ෂ 50ක් කියන්නේ ඉතාම ලොකු මුදලක්. ඒත් ඒවා අපි බැංකු පොත්වල දාගෙන ඉන්නේ මොකටද? මේ රටේ ලොකු කෝටිපති මිනිස්සු ඉන්නවා. හුඟක් සල්ලි තියෙන අය. මේ දේවල් දකිනවා නම් අනේ මේ මිලියන ගණන් තියෙන මිනිස්සු මේ වගේ පිනක් කරගන්න එක ගොඩක් වටිනවා.’’


‘‘මගේ පුතා පොඩි කාලෙ ඉඳලම මේ දේවල්වලට හරිම ආසයි. මගේ මහත්තයත් මේ දේවල්වලට සපෝට් එක දෙනවා. එයා පින්දහම්වලට කැමතියි. මුකුත් එපා එහෙම කියන්නේ නෑ. එයා කිව්වා හැබැයි මේක ලොකු ගානක් නේද කියලා. මම කිව්වා මට පොඩි ගාණකට අරගෙන එතන අනෙක් සත්තු මැරෙනවා නේද කියලා හිතෙනකොට ඒක කරන්න බැහැ කියලා. ඒ හින්දා පැටවු හම්බවෙන්න ඉන්න සත්තු ඔක්කොම නිදහස් කළා. මම දන්නවා මම නොගත්තොත් ඒ සත්තු මැරෙනවා කියලා කොහොමත්. ඒ හින්දා ඒ සත්තු ඔක්කොම ටික ගත්තා.’’


‘‘වැඩේට ප්‍රතිචාර නම් ගොඩක් ගොඩක් අය මට කතා කරලා කිව්වා ලංකාවේ කිසිම කෙනෙක් මේ වගේ දෙයක් මීට පෙර කරලා නෑ කියලා. මෙතරම් ලොකු මුදලකට. මම පොඩි තැනක ඉඳලා ආවෙ. පොඩි කාලේ මල්ලි අපිට තිබුණ අය නොවෙයි. දැන් ටිකක් සල්ලි තිබුණා කියලා ලොකු කමකුත් නෑ. මට තණ්හාවක් නෑ. පුදුම සැනසීමක් හිතට දැනෙනවා. හරක් අඬ අඬා හිටියේ. අද ඒ සත්තු ජීවත් වෙනවා. මම මස් කන කෙනෙක් නෙවෙයි. මේ දේ ගැන මට හදවතින් සතුටු වෙන්න පුළුවන්.’’

 


‘ගොඩක් අය කිව්වේ ලංකාවේ මෙහෙම කාලයක මේ වගේ දෙයක් කිසිම කෙනෙක් කරන එකක් නෑ කියලා. මොකද අද අපි ආර්ථික අතින් ගොඩක් වැටිලා ඉන්නේ.
මම තව සල්ලි ටිකක් එකතු කරල තව ටික කාලයකින් ආපහු සතුන් නිදහස් කරනවා. මේ ලංකාවේ මරණයට කැපවුණු සත්තු හැමෝම නිදහස් කරගන්නයි මගේ එකම බලාපොරොත්තුව. මම ඒක කොහොම හරි කරනවා.’’

 

 

■ සමන්ත යහම්පත්