සුජිත් හේවාජුලිගේ
ඔස්ට්‍රේලියාවේ සමාගමකට ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් ලක්ෂ විසිපහක ණය මුදලක් පිටස්තර පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ මහ භාණ්ඩාගාරයේ වාර්තාව පිළිබඳව කරුණු සලකා බැලීම සඳහා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ විශේෂ රැස්වීමක් සඳුදා (8දා) පැවැත්වේ.
මහා භාණ්ඩාගාරයේ වාර්තාව එහි නිලධාරීන් විසින් පාර්ලිමේන්තුවට පසුගියදා භාර දෙනු ලැබීය. මේ අනුව වාර්තාවේ පිටපත් කමිටුවේ සියලුම සාමාජික මන්ත්‍රීවරුන්ට දැනටමත් බෙදා දී ඇත.
මේ මුදල් වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු ප්‍රධානීන් කැඳවා මීට ඉහත දී ද සාකච්ඡා කරනු ලැබීය.
මේ සම්බන්ධයෙන් කමිටු සාමාජික මන්ත්‍රී රවී කරුණානායකගෙන් කළ විමසුමක දී ඔහු පැවසුවේ කමිටුව ලබන සඳුදා රැස්වී මේ ගැන සාකච්ඡා කරන බවයි. වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු මුදල් කමිටුවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

