“විශිෂ්ටතාවයට ගත් කෝටි අටක රොබෝලා මළකඩ කාලා”


වැඩේ බැලූ ලොක්කෙකුට කෝටියකකුත් ගෙවලා

සුජිත් හේවාජුලිගේ

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය ආරම්භ කිරීමට රුපියල් කෝටි අටක වියදමින් 2020 වර්ෂයේදී මිලදී ගෙන ඇති රොබෝ යන්ත්‍ර හතරක් ඇතුළු උපකරණ එම මධ්‍යස්ථානය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන්  දිරාපත්වෙමින් පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

සමහර මෘදුකාංග සඳහා රහස් පද ඇතුළත්  කර ඇති හෙයින් ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇතැයිද  එම වාර්තාවේ දැක්වේ.


මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යෑමට බඳවාගෙන ඇති විධායක නිලධාරියාට (වසර දෙකක කාලයක් සඳහා) මසකට රුපියල් හත්ලක්ෂ විසි පන් දහසක් බැගින් රුපියල් කෝටියකට  වැඩි මුදලක්  ගෙවා  ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.


රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය ආරම්භ කර තිබුණේ ශ්‍රී ලංකාවේ කර්මාන්තවලට ධෛර්යදීම, ඒවා වැඩි දියුණු කිරීම සහ සංවර්ධනයට සහායවීමේ අරමුණින් යුතුව බව  පැවසේ.
මෙම මධ්‍යස්ථානය අසාර්ථකවීම හේතුවෙන් 2018 වර්ෂයේදී විශේෂ ගැසට් පත්‍රයක් මඟින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය වෙත පවරාගෙන තිබූ අතර 2020 වර්ෂයේදී එය නැවතත් කර්මාන්ත අමාත්‍යාංශයට පවරා ගෙන තිබිණ. ඊට පසු 2020 වර්ෂයේදී ගත් අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මෙම මධ්‍යස්ථානයේ යන්ත්‍රෝපකරණ කොළඹ 10 ට්‍රසේ සිටි වෙත ගෙන යෑමට තීරණය කර තිබූ බව විගණන නිලධාරීහු  පවසති.
මේ තොරතුරු සඳහන් වන්නේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ  2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.