“දිට්වා”‍ රෝහල් අටක ස්ථාන වෙනස් කරයි - පාඩුව කෝටි 790ක්


සුජිත් හේවාජුලිගේ

“දිට්වා”‍ සුළිකුණාටුව සමග ඇතිවූ කාලගුණ ආපදාවෙන් රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන අටක් සම්පූර්ණයෙන්ම විනාශ වී රුපියල් කෝටි හත්සිය අනූවකට වැඩි පාඩුවක් සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ අලු‍ත්ම වාර්තාවක සඳහන් වේ. මෙම රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන ඒවා පිහිටි ස්ථානවලම පිහිටුවිය නොහැකි හෙයින් අදාළ ගමේ හෝ නගරයේ වෙනත් ස්ථානයක පිහිටුවීමට කටයුතු කරගෙන යන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැවසීය.

ඌව පළාතේ කන්දේගෙදර දිස්ත්‍රික් රෝහල, ස්ප්‍රින්වැලි බැද්දේගම දිස්ත්‍රික් රෝහල, මධ්‍යම පළාතේ ලිඳුල දිස්ත්‍රික් රෝහල, වත්තේගම දිස්ත්‍රික් රෝහල, වයඹ පළාතේ ඉඳුල්ගොඩකන්ද දිස්ත්‍රික් රෝහල, මධ්‍යම පළාතේ කලගන්වත්ත ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය, සිල්මියපුර ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථානය සහ බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මෙසේ විනාශයට පත්ව ඇති රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන වේ.

මේවා විනාශවීමෙන් සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 790කට වැඩිය. වැඩිම පාඩුවක් සිදුව ඇත්තේ වත්තේගම දිස්ත්‍රික් රෝහලටය. එම පාඩුව රුපියල් කෝටි 171කි.

ලිඳුල දිස්ත්‍රික් රෝහලට රුපියල් කෝටි 141ක පාඩුවක් ද කන්දේගෙදර සහ ස්ප්‍රින්වැලි රෝහල්වලට රුපියල් කෝටි 120කට වැඩි පාඩුව බැගින් ද සිදුව ඇත.

ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ වාර්තා අනුව මෙම රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන ඒවා කලින් පිහිටි ස්ථානවල පිහිටුවීමේ හැකියාව නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි පැවසීය.