‘ඉරිදා ලංකාදීප’ අනාවරණයෙන් මනම්පිටියේ වැලි ගැටලුව විසඳේ


වැලි කියුබ් එකක විකුණුම් මිල රුපියල් 10,400 ක් බව භු විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය කියයි

නිරෝෂණ කුමාර

මනම්පිටියේ වැලි පැටවීමේ දී සිදුවන ජාවාරමක් පිළිබඳ ඉරිදා ලංකාදීප (2026.04.19) පුවත්පත මගින් හෙළි කිරීමෙන් පසු මේ වන විට එය නතර කර තිබේ.

වැලි පටවන පිරිස් වැලි කියුබ් 3 ක් ටිපර් රථයකට පැටවීම සඳහා  රුපියල් 5000 ක මුදලක් අයථා ලෙස ලබාගන්නා බවට තොරතුරු අනාවරණය කිරීමත් සමග භු විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ඒ පිළිබඳව සොයා බලා ඊට විසඳුම් ලබා දුන් බව මනම්පිටිය වැලි ප්‍රවාහන ටිපර් කරුවන්ගේ සංගමයේ සභාපති අජිත් ගමගේ පැවසීය. මේ වනවිට එම ගැටලුව විසඳී යථා පරිදි වැලි පැටවීමේ කටයුතු සිදුවන බවද ඔහු කීය.

මේ සම්බන්ධයෙන් භු විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ විධායක නිලධාරී ජේ.පී.ඩබ්ලිව්. ගුණවර්ධනගෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ මේ පිළිබඳ ඉරිදා ලංකාදීප පුවත්පත මගින් කරුණු අනාවරණය කිරීමත් සමග සොයා බැලු බවය. ඔහු මෙසේද කීය.

“ප්‍රවෘත්තිය පළවීමත් සමග සඳුදා ම ඒ ස්ථානයට ගොස් විමර්ශනය කළා. එතනදි අපිට වැටහුණා මෙතන ජාවාරමක් කෙරෙන බව. වහාම මෙය නතර කරන්න උපදෙස් දුන්නා. වැලි පටවන අයගෙන් සුළු සුළු ගැටලු‍ ආවා. ඒවා විසඳුවා. අපි ඉරිදා ලංකාදීප පුවත්පතට ස්තූති කරනවා.”

භු විද්‍යා පතල් කැණීම් කාර්යාංශයේ තාක්ෂණ සේවා ආයතනයේ තාක්ෂණ නිලධාරිවරයා සඳහන් කළේ මේ පිළිබඳ එම කාර්යාංශයේ තාක්ෂණික අංශය සොයා බැලූ බවයි. එහිදී අනාවරණය වූ කරුණු පරිදි මෙලෙස අයථා ලෙස මුදල් ලබාගැනීම නතර කළ බවද ඔහු කීය.

කාර්යාංශය මගින් දැනුම් දී ඇත්තේ වැලි කියුබ් එකක් රුපියල් 10,400 ට අලෙවි කරන ලෙසය. ඊට අමතරව වැලි ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර ගාස්තු වශයෙන් රුපියල් 323.50 ක් අය කෙරේ.

අඩුම මුදලකට වැලි කියුබයක් ලබාදෙන්නේ මනම්පිටියෙන් බවද අනාවරණය විය. වැලි කියුබ් 3 ක් සඳහා රුපියල් 30,700 ක් අය කෙරේ.

ප්‍රාදේශීය සභාව මගින් වැලි අඩු මිලට ලබාදෙන බව පැවසුවත් ඔවුන් වැලි කියුබ් 3 ක් අලෙවි කරන්නේ රුපියල් 45,000 ක් වැනි මිලකට බව ද එම ආයතනය පැවසීය.