ෆාමසිවල බෙහෙත් හිඟයක්


නිරෝෂාන් ප්‍රේමරත්න

රුපියල අවප්‍රමාණය වීම නිසා උද්ගතව ඇති ආර්ථික උද්ධමනය හමුවේ ඖෂධ සැපයුම්කරුවන් නිසි පරිදි ඖෂධ සැපයීම් යාන්ත්‍රණය සිදු නොකිරීම මත රටපුරා ඔසුහල්වලද ප්‍රධාන පෙළේ රෝගාබාධ සඳහා භාවිත කරන ඖෂධ රැසක හිඟයක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙන්නේ පිළිකා, වකුගඩු, අක්මා රෝගීන්, ශල්‍යකර්ම බලාපොරොත්තුවෙන් සිටින රෝගීන්, බෝ නොවන රෝගවලට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් ඇතුළු විවිධ රෝග කාණ්ඩ රැසක් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේදී දුෂ්කරතා මතුව ඇති බවයි.

ඇතැම් ඖෂධ ලියාපදිංචිය ප්‍රමාද වීම, ඖෂධ සඳහා නියම කර ඇති මිල ගණන්වලට මෙරටට ඖෂධ ගැන්වීමට සැපයුම්කරුවන් අකමැති වීම  හා දැනට ඩොලරයට සාපේක්ෂව රුපියල දැඩි ලෙස අවප්‍රමාණය වෙමින් පැවතීම වැනි හේතු රැසක් මේ සඳහා බලපා ඇති බව ඔහු පෙන්වා දෙයි. 

මේ තත්ත්වය මත ඇතැම් ඖෂධ, රෝගීන්ට විදේශ රටවලින් ආනයනය කිරීමටද සිදුව ඇති අතර මේ සඳහා පහසුකම් හෝ මිල මුදල් නොමැති රෝගීන් දැඩි ලෙස දුෂ්කරතාවට පත්වන බව ඔහු පෙන්වා දෙයි.