ළමා සුරැකුම් මධ්‍යස්ථානවල හැම දරුවකුටම මසකට රුපියල් 5000 ක්


උපුල් වික්‍රමසිංහ

ළමා සුරැකුම් මධ්‍යස්ථානවල සිටින සෑම දරුවකු සඳහාම බැංකු ගිණුම් විවෘත කර සෑම මසකට වරක් එම ගිණුම් සඳහා රුපියල් 5,000 ක මුදලක් තැන්පත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 17 දා පැවසීය. 

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන “දිවියට සවියක්” නිවාස වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ යැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

ළමා සුරැකුම් මධ්‍යස්ථානවල සිටින දරුවන් සමාජයට එකතු වන විට ඔවුන්ට යම් මූල්‍ය ඉතිරියක් සහ තමන්ටම වූ වත්කමක් හිමි කර දිය යුතුය යන අදහසින් රජය මේ වැඩසටහන ආරම්භ කළ බව ජනාධිපතිවරයා සඳහන් කළේ යැයි ද එම නිවේදනයේ දැක්වේ.

වයස අවුරුදු 18 සම්පූර්ණ වීමෙන් පසු සමාජගත වූ දරුවන් සඳහා ඔවුන්ගේ අනාගතය සුරක්ෂිතව ගත කිරීම වෙනුවෙන් නිවසක් ලබාදීමට තීරණය කළ බවත් දිවියට සවියක් නිවාස වැඩසටහන මගින් ළමා සංවර්ධන මධ්‍යස්ථානවල හැදී වැඩෙන දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් සුරක්ෂිත නිවසක් වෙනුවෙන් පසුගිය අයවැයෙන් වෙන් කළ රුපියල් මිලියනයක මුදල මෙම වසරේ දී රුපියල් මිලියන දෙක දක්වා වැඩි කළ බවත් ජනාධිපතිවරයා එහිදී කී බව අදාළ මාධ්‍ය නිවේදනයේ සඳහන් ය.