ළමා අපයෝජන වැළැක්වීමේ නව නීති එයි


නිමල කොඩිතුවක්කු

ළමයින්ට එරෙහි සියලු‍ ආකාරයේ අපයෝජන වැළැක්වීමට සහ ඊට ප්‍රතිචාර දැක්වීමට දැනට පවතින නීතිරීති කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් යාවත්කාලීන කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත සංශෝධන කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව, 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ කර්තව්‍යයන් වඩාත් පුළුල්ව, අර්ථවත්ව සහ කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා හඳුනාගනු ලැබ ඇති සංශෝධන ඇතුළත් කරමින් මෙම පනත සංශෝධනය කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා පැවසීය.

1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත සම්මත කර මේ වන විට වසර 25 ක පමණ කාලයක් ගත වී තිබේ.

මෙම කාලසීමාවෙහි සිදුව ඇති සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික පරිවර්තන හේතුවෙන් ළමයින්ට එරෙහිව සිදුවන අපයෝජන හා හිංසන සංකීර්ණ ස්වභාවයකට පත්ව ඇත.

එබැවින්, ළමයින්ට එරෙහි සියලු‍ ආකාරයේ අපයෝජන වැළැක්වීමට සහ ඊට ප්‍රතිචාර දැක්වීමට දැනට පවතින නීතිරීති කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ.

ඒ අනුව, 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ කර්තව්‍යයන් වඩාත් පුළුල්ව, අර්ථවත්ව සහ කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා හඳුනාගනු ලැබ ඇති සංශෝධන ඇතුළත් කරමින් එකී පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.