සුජිත් හේවාජුලිගේ
හිටපු කථානායකවරයකුගේ මාසික කෑම බිල (ඔහු එම ධුරයේ සිටියදී) රුපියල් ලක්ෂ තුනහමාරක් බව හෙළිවී ඇත.
මෙම තොරතුරු සඳහන් වෙන්නේ වැඩබලන විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල විසින් කථානායක, වෛද්‍ය ජගත් වික්‍රමරත්නට ඉකුත්දා භාර දෙනු ලැබූ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් පැවැත් වූ විගණන වාර්තාවෙහි ය.
පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයේම අක්‍රමිකතා පිළිබඳව එමගින් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ඇතැයි කථානායක කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම වාර්තාව ඉදිරි දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් සම්පූර්ණ විගණනයක් කරන ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වැඩබලන විගණකාධිපතිවරයාට මීට මාස කිහිපයකට ඉහත දී දැනුම් දුන්නේය.
මේ සම්බන්ධයෙන් අප වැඩබලන විගණකාධිපති ධර්මපාල ගම්මන්පිලගෙන් කළ විමසුමක දී ඔහු පැවසුවේ මුළු පාර්ලිමේන්තුවම ආවරණය වන පරිදි මෙම විගණනය කළ බවයි.
විගණන වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා කථානායකවරයා විසින් අදාළ අංශ වෙත යොමු කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත. ඒ සම්බන්ධයෙන් කථානායකවරයා නීති අංශවල ද උපදෙස් ගනු ඇතැයි සඳහන් වේ.