සුජිත් හේවාජුලිගේ
හිටපු ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අක්කර 76ක ගොඩ මඩ ඉඩමක් සිය බිරිඳ සභාපති ධුරය හෙබවූ හිරියාල ගොවි සමාගමට බදු දීමෙන් පසු අදාළ බදු මුදල් නොගෙවා රජයට පාඩු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබන සතියේදී පැමිණිලි කරන බව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ ඉරිදා ලංකාදීපයට පැවසීය.
මෙම ඉඩම කෘෂිකර්ම අමාත්‍යාංශයට 2000 වර්ෂයේදී පවරා ගැනීමෙන් අනතුරුව එම ගොවි සමාගමට බදු දී තිබූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
මෙම ඉඩම සංවර්ධනය කිරීම සඳහා ආයෝජන මණ්ඩලය කෝටි පහකට වැඩි මුදලක් වැය කර ඇතත් ඉඩමෙන් සත පහක හෝ බදු මුදලක් රජයට ලැබී නොමැති බව පැවසූ ඇමතිවරයා මෙම සිද්ධියට එවකට හිටපු ඇමතිවරුන්, ජනාධිපතිවරුන් සහ ඉඩම් කොමසාරිස් සම්බන්ධවී ඇතැයි තොරතුරු ලැබී තිබෙන බව ද සඳහන් කළේය.
ඉඩම නැවත රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බැවින් මේ පිළිබඳව සොයා බැලීමේ කමිටුවක් ද පත් කරනු ලැබ ඇත.
නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද පසුගියදා කරුණු අනාවරණය කළේය.
මේ අතර රජයේ ඉඩම් මහා පරිමාණ ලෙස අවභාවිත කළේ යැයි කියන මහනුවර සහ ගම්පහ පිරිසක් සම්බන්ධයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.