ඉන්දික හේවාවිතාරණ
ග්‍රාම නිලධාරීන්ගේ විරෝධය නොතකා පසුගිය ආණ්ඩුව විසින් සකස් කළ සේවා ව්‍යවස්ථාව අවලංගු කිරීමට නිර්දේශයක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පවත්වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
හෙට (30දා) දින මෙම නිහඬ විරෝධතාව පවත්වා ග්‍රාම නිලධාරීන්ගේ මානව හිමිකම් කඩ වීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයට සංදේශයක් භාර දෙන බවද එම සංගමය පෙන්වා දෙයි.
ග්‍රාම නිලධාරීන්ගේ විරෝධය නොතකා පසුගිය ආණ්ඩුව විසින් සේවා ව්‍යවස්ථාවක් සකස් කළ බවද එයට ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියා මාර්ග ගැනීමට යාම නිසා පසුගිය වසරේ අගෝස්තු 08 වැනි දින සිට එය තාවකාලිකව ක්‍රියාත්මක කිරීම නවතා දැමූ බවද එම සංගමය පෙන්වා දෙයි.
ඒ ආකාරයට තාවකාලිකව අත්හිටුවූ සේවා ව්‍යවස්ථාව නැවත වරක් ක්‍රියාත්මක කිරීමේ උත්සාහයක් පවතින බවත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කාර්යාලයට මීට පෙර පැමිණිලි කළ බවත් සඳහන් කරයි.
මේ අනුව තාවකාලිකව අත්හිටුවා තිබෙන සේවා ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට අදාළ නිර්දේශයක් රජයට ලබා දෙන ලෙස ඉල්ලා මෙම නිහඬ විරෝධතාව පවත්වන බවද සංගමය පෙන්වා දෙයි.
මේ වන විට ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම් විසින් රජයට භාර දී තිබෙන යෝජනා ඇතුළත්ව සේවා ව්‍යවස්ථාව සකස් විය යුතු බවද එම සංගමය සඳහන් කරයි.
පසුගිය වසරේ අගෝස්තු 02 වැනි දින ප්‍රකාශයට පත් කළ ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාවෙන් ගැටලු රැසක් ඇති වෙන නිසා එයට විරෝධය දැක්වූ බවද මේ අනුව එය ග්‍රාම නිලධාරි වෘත්තීය සමිතිවල අදහස් හා යෝජනා ලබා ගෙන එය සංශෝධනය කරන බවට පසුගිය ආණ්ඩුවේ පිරිස් පොරොන්දු වූ බවද පෙන්වා දෙයි.
එහෙත් පසුගිය ආණඩුව අදාළ පොරොන්දු ඉටු නොකළ බවද වර්තමාන ආණ්ඩුවේ බලධාරීන් සමග අදාළ කටයුතු සිදුකර ගැනීමට අවස්ථා දෙකකදී සාකච්ඡා කළත් අදාළ සංශෝධන සිදු නොවූ බවද සංගමය සඳහන් කරයි.
මේ නිසා අදාළ සේවා ව්‍යවස්ථාව අවලංගු කර ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති විසින් රජයට භාර දී තිබෙන යෝජනා ඇතුළත් සේවා ව්‍යවස්ථාවක් සකස් විය යුතු බවද ඔවුහු පෙන්වා දෙති.
රාජ්‍ය අණපනත් 250කට වැඩි ප්‍රමාණයකට අදාළ රාජකාරි හා මැතිවරණ රාජකාරි සිදුකරන ග්‍රාම නිලධාරි සේවාව විධිමත් ලෙස 1963 වසරේ මැයි 11 වැනි දින ආරම්භ වුවත් සියලු දෙනාට සාධාරණයක් වෙන ආකාරයේ සේවා ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමට නොහැකි වී තිබෙන බවත් සඳහන් කරයි.