සේවය හැර ගිය වෛද්‍යවරු 1621ක් “බ්ලැක් ලිස්ට්”‍ කිරීම පැහැර හැරලා


සුජිත් හේවාජුලිගේ

විවිධ හේතු මත සේවය හැර ගිය වෛද්‍ය නිලධාරීන් 1621 දෙනෙකු අසාදු ලේඛන (Black List)  ගත කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලු‍ත්ම වාර්තාවක සඳහන්වේ.

ආර්ථික ගැටලු‍, විදේශයන්හි පදිංචියට යෑම, විදේශයන්හි රැකියාවන්ට යෑම සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදේශ ගතවීම යනාදී හේතු මෙම වෛද්‍යවරුන් රැකියාව අතහැර යෑමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.

සේවය හැරගිය වෛද්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් වාර්තා සෑම මාස හයකට වරක්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමු කළ යුතු වුවත් අමාත්‍යාංශය ඒ කටයුත්ත ද මගහැර තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම වෛද්‍ය නිලධාරීන් සියලු‍ දෙනාගේ සේවය හැර යාමේ නිවේදනය ඔවුන්ගේ පෞද්ගලික ලිපි ගොනුවට පමණක් ඇතුළත් කර තිබූ බවද විගණන විමර්ශනවලදී හෙළි වී ඇත. මෙය බරපතළ වරදක් බව විගණන නිලධාරීන්ගේ අදහසයි.

තවද වෛද්‍ය නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු නිසියාකාරයෙන් යාවත්කාලීනව පවත්වාගෙන යෑමට කටයුතු කර නොතිබූ බව නියැදි විගණන පරීක්ෂාවේදී පෙනී ගොස් ඇත.

මේ තොරතුරු සඳහන් වෙන්නේ සේවය හැර ගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රජයට අය විය යුතු හිඟ මුදල් හා විදේශ පුහුණුව ලද විශේෂඥ වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ  විගණන වාර්තාවේය.