සෙවණගල - පැල්වත්ත අර්බුදය : උක් අස්වනු මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකහමාරක් ගොවිබිම්වල


උපුල් වික්‍රමසිංහ

පැල්වත්ත සහ සෙවණගල රජයේ සීනි කර්මාන්තශාලාවල උද්ගතව ඇති මූල්‍ය අර්බුද හේතුවෙන් එම සමාගම්වලට උක් ගස් සපයන ගොවීන්ගේ උක් අස්වනු මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකහමාරක පමණ ප්‍රමාණයක් ගොවි බිම්වල ඉතිරි වෙනු ඇතැයි ගොවි අරගල ව්‍යාපාරය සඳහන් කරයි.

එම ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ පැල්වත්ත හා සෙවණගල සීනි කර්මාන්තශාලා වෙනුවෙන් උක් වවන ගොවි පවුල් 24,000 ක් පමණ සිටින බවත් උක් අස්වනු එම සීනි කර්මාන්තශාලා වෙත අලෙවි කර ගත නොහැකිවීමෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන බවත් ය.

මේ වෙන විට උක් අස්වනු නෙළීම ආරම්භ වී ඇති බව ද ලබන ඔක්තෝබර් මාසය වෙන තෙක් අස්වනු නෙළීම සිදුවෙන බව ද කී හෙතෙම ගොවීන්ගෙන් උක් අස්වනු මිල දී ගැනීම සීනි සමාගම් විසින් සීමාසහිත කරනු ලැබ ඇති බව ද කීවේ ය.

ඇතැම් ගොවි පවුල්වලට සපයන ලද උක් වෙනුවෙන් මාස හතරක කාලයක් තිස්සේ මුදල් ගෙවීම් සිදුකර නැතැයි ද පැල්වත්ත හා සෙවණගල උක් ගොවීන් වෙනුවෙන් එම සමාගම් රුපියල් මිලියන 230 ක්  ද සැපයුම්කරුවන්ට (බිම් සකස් කළ අයට කොන්ත්‍රාත්කරුවන්ට පොහොර සමාගම්වලට) රුපියල් මිලියන 314 ක් ද ගෙවීමට ඇති බව කී ඔහු ආයතන දෙකෙහි සේවකයන්ගේ සේවක අර්ථ සාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් අධිභාරයක් ද සහිතව රුපියල් කෝටි 55 ක් බැර කිරීමට ඇතැයි ද හෙළි කළේය.

පැල්වත්ත හා සෙවණගල සීනි කර්මාන්තශාලාවන්හි උද්ගතව ඇති මූල්‍ය අර්බුද හා ඒවාට ගනු ලබන විසඳුම් පිළිබඳ විමසීමට විෂය භාර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති හා නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ලංකා සීනි සමාගමේ සභාපති සඳමාලි චන්ද්‍රසේකර, එහි විධායක අධ්‍යක්ෂ දීපිකා ගුණරත්න යන අය දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට කිහිප වතාවක් උත්සාහ කළ ද ඔවුහු ප්‍රතිචාර නොදැක්වූහ.