නිරෝෂණ කුමාර
දෙමළ ජාතික සන්ධානයෙන් බිඳීගිය පක්ෂ නැවත ඒකරාශී වී පිහිටුවා ඇති “ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ සන්ධානය”ට සම්බන්ධ වීම සඳහා ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙහි නායකයන් සාකච්ඡා කරමින් සිටින බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් “ඉරිදා ලංකාදීපය”ට පැවසීය.
ඕනෑම දේශපාලන අභියෝගයකට මුහුණ දීම සඳහාත්, උතුරේ බලය තහවුරු කර ගැනීම සඳහාත් නව සන්ධානයක් ගොඩනැගීමට වසර ආරම්භයේ සිට මේ දක්වා සාකච්ඡා වට තුනක් පැවැත්වූ බවද හෙතෙම කීය. මීට පෙර දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ ඊ.පී.ආර්.එල්.එෆ්, ප්ලොට් සහ ටී.යූ.එල්.එෆ්. යන පක්ෂ මෙම සන්ධානයට ඇතුළත් වෙයි.
එම පක්ෂ ඒකාබද්ධ වී හිටපු විපක්ෂනායක ආර්. සම්බන්ධන්ගේ නායකත්වයෙන් දෙමළ ජාතික සන්ධානය ලෙස මීට පෙර සන්ධානයක් ඇති කළ ද පක්ෂ අතර ඇතිවූ අදහස් පරස්පර වීම නිසා අවස්ථා කිහිපයක දී එය බිඳී ගියේය. ඔහුගේ අභාවයෙන් පසු ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ඉන් ඉවත් වී පසුගිය මහ මැතිවරණයට තනිව තරග කළේය.

