ඉන්දික හේවාවිතාරණ
විවිධ ස්ථානවල නඩත්තු හා සේවා කටයුතු සඳහා යොදවා සිටින තම සාමාජිකයන් එයින් වළක්වා ආරක්ෂක කටයුතු සඳහා පමණක් අනුයුක්ත කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයෝ ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටිති. යුද සමයේදී ගම්මාන ආරක්ෂා කර ගැනීමට, මාර්ග බාධක රාජකාරි හා පොලීසියට සහාය වීමට සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන් යොදවා ගත් බවද ඔවුහු පෙන්වා දෙති.
පසුව විවිධ ස්ථානවල නඩත්තු කටයුතු හා විවිධ සේවා ලබා ගැනීමට පසුගිය ආණ්ඩු සමයන්හිදී සැලකිය යුතු පිරිසක් අනුයුක්ත කළ නිසා එම පිරිස් දැඩි අපහසුතාවන්ට පත්ව සිටින බව ඔවුහු පවසති.
සමහර ස්ථානවල පිරිසිදු කිරීමේ කටයුතුවලට පවා සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන් යොදවා තිබෙන නිසා මෙම පිරිස් පොලිස් ස්ථානවල රාජකාරි කටයුතු සිදුකිරීම සඳහා යොදවන ලෙස ඉල්ලා සිටින බවද සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයෝ පවසති.
මේ අනුව මෙම පිරිස් පොලිස් සේවාවේ පවතින පුරප්පාඩු සඳහා හෝ එසේ නොමැති නම් පොලිස් සහායක තනතුරු සඳහා සුදුසුකම් සපුරා තිබෙන පිරිස් එම සේවාවට අනුයුක්ත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ලිඛිතව ඉල්ලා සිටි බවද අසාධාරණයට ලක්වූ එම පිරිස් සඳහන් කරති.
මීට පෙර කාලවලදී ද පොලිස් ස්ථානවලට අනුයුක්තව පොලිස් නිලධාරීන්ගේ කටයුතු සඳහා ඔවුන් සහාය ලබා දී තිබියදී එම සේවාවලින් ඉවත් කර වෙනත් සේවාවලට අනුයුක්ත කිරීම නිසා සමහර සාමාජිකයන්ට නිල ඇඳුමින් සැරසී රාජකාරි සිදුකිරීමේ අවස්ථා පවා සීමාසහිත වී තිබෙන බව ඔවුහු පෙන්වා දෙති.