සියයට 80 නීතිය නිසා සිසුන් රැසකට උසස්පෙළ අහිමි වෙලා


රංජන් කස්තුරි 

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ-2025 විභාගයට පෙනී සිටින පාසල් සිසුන් බොහොමයකට මෙවර පාසල් අයැදුම්කරුවන් ලෙස එම විභාගයට පෙනී සිටීමට නොහැකි වී ඇතැයි වාර්තාවේ.

විදුහල්පතිවරුන් සිසුන්ගේ පැමිණීම සියයට 80 නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීම හේතුවෙන් සිසුන් වැඩි පිරිසකට පාසල් අයදුම්කරුවන් ලෙස විභාගයට පෙනී සිටීමට නොහැකි වී තිබේ.

තවද පෞද්ගලික අයදුම්කරුවන් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිටීමේදී පාසල හැරයාමේ සහතිකය අත්‍යව්‍ය ලේඛනයක් හෙයින් බොහෝ සිසුන් මේ වන විට පාසල හැරයාමේ සහතිකය ලබාගෙන පෞද්ගලික අයදුම්කරුවන් ලෙස විභාගයට අයදුම්කර ඇතැයිද වාර්තාවේ.

කොළඹ ජනප්‍රිය පාසලක සිසුන් 7ක් ඉකුත්  දින කීපය තුළ පෞද්ගලික අයදුම්කරුවන් ලෙස විභාගයට පෙනී සිටීම සඳහා පාසල හැර යාමේ සහතිකය ලබාගත් බවද දෙමව්පියෝ පිරිසක් ඉරිදා ලංකාදීපයට පැවසූහ.

කොළඹ තවත් ජනප්‍රිය පාසල් කීපයක සිසුන් 25 ක් සහ 33 ක් ආදී වශයෙන් පාසල් හැරයාමේ සහතික ලබාගෙන පෞද්ගලික අයදුම්කරුවන් ලෙස විභාගයට පෙනී සිටීමට අයදුම් කර ඇතැයි වාර්තාවේ.

පාසලට පැමිණීම සියයට 80 නොමැති නම් පාසල් අයදුම්කරුවෙකු ලෙස විභාගයට ඉදිරිපත්වීමට ඉඩ නොදීමට ඇතැම් විදුහල්පතිවරුන් තදින් නීතිය ක්‍රියාත්මක කරන අතර තවත් පාසල්වල විදුහල්පතිවරුන් වෛද්‍ය සහතික ලබාගෙන එවැනි සිසුන්ට පාසල් අයදුම්කරුවන් ලෙසින්   විභාගයට පෙනී සිටීමේ අවස්ථාව සලසා දී  තිබිණ.

වෛද්‍ය සහතික ඉදිරිපත් කිරීමේදී ඇතැම් පාසල් එවැනි  සහතිකයකට සියයට 10ක් සහ ඇතැම් පාසල් සියයට 20 ක් ආදී වශයෙන් පැමිණීමට නොහැකි වීම සලකා බලා පාසල් අයදුම්කරුවන් ලෙස සිසුන්ට විභාගයට පෙනී සිටීමේ අවස්ථාව සලසා දී තිබේ.

මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතාගෙන් ලංකාදීපය කළ විමසුමකදී ඒ මහතා සඳහන් කළේ උසස් පෙළ සිසුන්ගේ පැමිණීම සියයට 80නීතිය චක්‍රලේඛයක් මගින් නිකුත් කර තිබෙන බවය.

එම චක්‍රලේඛය පැරණි එකක් වන අතර එය හකුළා ගැනීමට හෝ වෙනස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කිසිදු පියවරක් නොගෙන තිබෙන බවද ලේකම්වරයා සඳහන් කළේය.

විදුහල්පතිවරුන්ට සාධාරණ හේතූන් මත යම් යම් පියවරයන් ගත හැකි බවද කළුවැව මහතා සඳහන්  කළේය.   

ඇතැම් උසස් පෙළ සිසුන්ගේ පැමිණීම සියයට 20 සහ සියයට 30 ආදි වශයෙන් ඉතා අඩු ප්‍රතිශතයක පවතින අතර එවැනි සිසුන් පිළිබඳ යම් පියවරක් නොගත හොත් ලබන වසරේ සිට උසස් පෙළ පන්තිවලට කිසිදු ශිෂ්‍යයකු සහභාගී නොවනු ඇති බවද නාලක කළුවැව මහතා සඳහන් කළේය.