ඉන්දික හේවාවිතාරණ
දේශීය කීරි සම්බා හා සම්බා සහල් මිලදී ගැනීමේදී වැඩි මිලට අලෙවි කිරීමට අමතරව ඇතැම් මෝල් හිමියන් කොන්දේසි පනවන බව තොග වෙළෙන්දෝ සඳහන් කරති.
කීරි සම්බා හා සම්බා සහල් මිලදී ගැනීමේදී තොග වෙළෙඳුන්ද විවිධ කොන්දේසි පනවමින් තිබෙන බව ආපණශාලා හා අවන්හල් හිමියෝ සඳහන් කරති.
කීරි සම්බා හා සම්බා සහල් හිඟයක් ඇති වී තිබෙන නිසා අදාළ සහල් තොග මෝල් හිමියන් විසින් ලබා දෙන්නේ සිල්ලරට අලෙවි කළ යුතු පාලන මිලට වඩා වැඩි මිල ගණන් යටතේ බවද තොග වෙළෙඳ සැල්හිමියෝ පෙන්වා දෙති.
මෝල් හිමියන්ගෙන් කීරි සම්බා හා සම්බා සහල් මිලදී ගැනීමේදී කැකුළු සහල් සහ නාඩු සහල් තොග මිලදී ගැනිමද අනිවාර්ය කර තිබෙන බව තොග වෙළෙන්දෝ සඳහන් කරති. තොග වෙළෙඳුන්ගෙන් කීරි සම්බා හා සම්බා සහල් මිලදී ගැනීමේදී කැකුළු සහල් හෝ නාඩු සහල් අනිවාර්ෙයන්ම මිලදී ගත යුතු බවත් එසේ නොමැති නම් රුපියල් 5,000ක, රුපියල් 10,000ක හෝ රුපියල් 5,000 - 10,000ක වටිනාකමකින් යුත් භාණ්ඩ මිල දී ගැනීමට පවා සිදුවන අවස්ථා තිබෙන බවත් ආපනශාලා හා හෝටල් හිමියෝ පෙන්වා දෙති.
කිලෝ වශයෙන් මිලදී ගැනීමේදී කීරි සම්බා කිලෝවක් රුපියල් 320 - රුපියල් 340 මිලකට මිලදී ගැනීමට සිදුව තිබෙන බවත් කිලෝ 05 පැකට්ටුවක් රුපියල් 1700 - 1800 මිලකටත් මිලදී ගැනීමට සිදුව තිබෙන බවත් ආපනශාලා හා අවන්හල් හිමියෝ සඳහන් කරති. සම්බා කිලෝවක් රුපියල් 270 - 290 අතර මිලකට මිලදී ගැනීමට සිදුව තිබෙන බවද කිලෝ පහේ පැකට්ටුවක් රුපියල් 1350 - 1400 මුදලකට මිලදී ගැනීමට සිදුව තිබෙන බවද ඔවුහු පෙන්වා දෙති.
මෝල් හිමියන් විසින් බිල්පත් නිකුත් කිරීමේදී පාලන මිලට අනුව බිලක් වෙනම නිකුත් කරන බවත් පසුගිය වර හිඟ මුදල් බව පවසමින් පාලන මිලට වැඩියෙන් වූ මුදල සඳහා වෙනත් බිලක් ඉදිරිපත් කර අදාළ මුදල අයකර ගනිමින් තිබෙන බවත් තොග වෙළෙන්දෝ සඳහන් කරති.
කීරි සම්බා හා දේශීය සම්බා සහල් මිලදී ගැනීමට නොමැති බව ජනතාව සඳහන් කරන අතර ආපනශාලා හා අවන්හල්වලින් කෑම මිලදී ගැනීමේදී තොග වෙළෙඳුන් විසින් පනවන විවිධ කොන්දේසි නිසා හා පාලන මිලට අලෙවි කිරීමට හැකි මිලකට කීරි සම්බා හා සම්බා තොග ලබා නොදෙන නිසා මෙම සහල් වර්ග දෙක අලෙවි කිරීමෙන් ඉවත්ව සිටින බවද සිල්ලර වෙළෙන්දෝ සඳහන් කරති.
සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 240.00 ක් සහ කීරි සම්බා සහල් උපරිම සිල්ලර මිල රුපියල් 260.00 ක් බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි. කොන්දේසි පනවා සහල් අලෙවි කළ නොහැකි බවත් තොග සඟවා ගෙන කෘත්‍රිමව හිඟයක් ඇති කිරීමට නොහැකි බවත් මෙම වරදවල් තුනටම නීති මගින් කටයුතු කරන බවත් එම අධිකාරිය සඳහන් කරයි.
සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන්ට හා තොග සඟවා ගෙන සිටින වෙළෙඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි වැටලීම් සිදුකරන බවද පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.