සජබෙන් සුළු පක්ෂ ඉවත් වීමේ අවදානමක්!


දයාසීලිය ලියනගේ

පොරොන්දු ගණනාවක් ඉටු නොකිරීම පිළිබඳව විරෝධය දක්වා සමගි ජනබලවේගයට සම්බන්ධ සුළු පක්ෂ ගණනාවක් ඉවත්වීමේ තත්ත්වයක් පවතින බව වාර්තා වේ.  

දෙමළ ප්‍රගතිශීලි සංවිධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා සමස්ත ලංකා ජනතා කොංග්‍රසය යන පක්ෂ විසින් සමගි ජනබලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සමග ගිය සතියේ පැවැති සාකච්ඡාවක දී පක්ෂය පිහිටුවීමේදී දෙන ලද පොරොන්දු ඉටු ​නොකිරීම පිළිබඳ දැඩිව පෙන්වා දී ඇත.  
 
පක්ෂයක් ලෙසට නොව සන්ධානයක් වශයෙන් කටයුතු නොකිරීම, නායකත්ව මණ්ඩලයක් පත් නොකිරීම, පළාත් පාලන මැතිවරණට නාම යෝජනා බාරදීමේදී සුළු පක්ෂවලට සාධාරණයක් නොවීම හා පාර්ලිමේන්තු කමිටුවලට සාමාජික මන්ත්‍රීවරු පත් කිරීමේ දී මෙම පක්ෂවලින් නොවිමසා කටයුතු කිරීම ආදී වූ කරුණු පෙන්වා දී ඇත. මෙම සුළු පක්ෂ මේ පොරොන්දු ඉටු නොවුණහොත් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවෙන බව පෙන්වා දී ඇති බව වාර්තා වේ.  
මනෝ ගනේෂන්, රාවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් යන මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.