ලවංගා මාධවී දෑරංගල
පවතින ගෝලීය අර්බුද මධ්‍යයේ 2026 පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණි 279,328ක් වූ සංචාරක සංඛ්‍යාවට සාපේක්ෂ ව මාර්තු මාසයේදී පැමිණි සංචාරක සංඛ්‍යාව 183,979 දක්වා 34.1%කින් පහත වැටී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්වා දෙයි. එය සංඛ්‍යාත්මක වශයෙන් 95,349 ක පහත වැටීමකි.
2025 මාර්තු මාසයට සාපේක්ෂ ව 2026 මාර්තු මාසයේදී මෙරටට පැමිණි සංචාරක ප්‍රතිශතය 19.7%කින් පහළ ගොස් ඇත. දත්ත මඟින් පෙන්වා දෙන පරිදි 2026 මාර්තු මාසයේදී සංචාරක පැමිණීම 183,979 දක්වා අඩු වී ඇති අතර, 2025 මාර්තු මාසයේදී මෙරටට පැමිණි සංඛ්‍යාව 229,298කි. එසේ ම සංචාරක පැමිණීමේ දෛනික ප්‍රතිශතය ගත් විට පෙබරවාරි මාසයේ සාමාන්‍ය වශයෙන් දිනකට සංචාරකයන් 9,976ක් මෙරටට පැමිණ ඇති අතර, මාර්තු මාසයේදී දිනකට මෙරටට පැමිණ ඇත්තේ ආසන්න වශයෙන් සංචාරකයින් 5,935ක් පමණි.
මෙම තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙකු ඉරිදා ලංකාදීපයට පැවසුවේ ගල්ෆ් අර්බුදය ඍජුව ම සංචාරක ක්ෂේත්‍රයට බලපාන්නේ පෙබරවාරි සහ මාර්තු මාසවල වන බවත්, ඒ අනුව පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂ ව මේ වසරේ මාර්තු මාසයේ මෙරටට පැමිණි සංචාරක සංඛ්‍යාව 20%කින් පමණ අඩු වී ඇති බවත් ය.
කෙසේ වෙතත් ජපානය, චීනය සහ ඉන්දියාව වැනි ගල්ෆ් කලාපයෙන් පරිබාහිර රටවලින් පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ප්‍රතිශතාත්මක ලෙස වැඩිවී ඇති අතර ඒ අනුව, පසුගිය වසරේ සැලසුම් කළ පරිදි ගල්ෆ් සහ බටහිර කලාපයන්හි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම වෙනුවට, එම සැලසුම් වෙනස් කරමින් මේ වනවිට ඉන්දියාව සහ බංග්ලාදේශය වැනි රටවල සංචාරක ප්‍රවර්ධන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමින් පවතියි.
මාර්තු මාසයේ මෙරටට පැමිණීමට සැලසුම් කර තිබූ ඇතැම් සංචාරකයන් ඔවුන්ගේ ගුවන් ගමන් කල්දමා ගෙන ඇති බවත්, ඒ අනුව එම සංචාරකයන් ඉදිරි කාලයේදී මෙරටට පැමිණීමට ඉඩ ඇති බවත්, එය සංචාරකයන්ගේ පෞද්ගලික තීරණ මත පදනම් වන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය. තවද මේ වනවිට සංචාරකයන් අතර සංචාරය සඳහා ඇති උදෙHdaගය අඩුවී ඇති බැවින්, එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් විදේශ රටවල ප්‍රවර්ධන වැඩසටහන් හරහා නැවතත් මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීමට සහ ඔවුන් තුළ උනන්දුවක් ඇති කිරීමට කටයුතු කරමින් පවතින බවත් සඳහන් කෙරිණි.
මේ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ පසුගිය මාර්තු 25 දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ගල්ෆ් කලාපයේ පවතින අර්බුදය හේතුවෙන් මෙරට වෙත සංචාරකයන්ගේ පැමිණීම 17% කින් පමණ අඩු වී ඇති බවයි.
පෙබරවාරි 28 වන දින ආරම්භ වූ ඊශ්‍රායල - ඉරාන ගැටුම් නිසා ගුවන් සේවා වලට බාධා පැමිණීම, ගුවන් ගමන් අවලංගු කිරීම්, ප්‍රධාන ගුවන් කොරිඩෝ සීමා කිරීම සහ යුරෝපය සහ ආසියාව සම්බන්ධ කරන ප්‍රධාන ප්‍රවාහන මාර්ග හරහා ගමන් වියදම් වැඩි වීම් ආදිය මෙම සංචාරක සංඛ්‍යාවේ පහළ බැසීමට ඍජු ලෙස බලපා ඇත.

