සංගීත ප්‍රසංග සඳහා පොලිස් නිලධාරීන්ට ගෙවන දීමනාව වැඩි කිරීමෙන් ප්‍රසංග සංවිධායකයන්ට දුෂ්කරතා


අමිල චින්තක ගමගේ

සංගීත ප්‍රසංගයක් පවත්වන දිනයකදී පොලිස් නිලධාරීන්ට ගෙවනු ලබන දීමනාව සීයට 400කින් වැඩිවීම නිසා ලංකාව පුරා විසිරී සිටින සැණකෙළි හා සංගීත ප්‍රසංග සංවිධායකවරුන්ට ගැටලු‍ රාශියකට මුහුණ දීමට සිදු වී ඇති බව සංගීත ප්‍රසංග සංවිධායකවරුන්ගේ සංගමයේ සභාපති දිනේෂ් අතාවුද පැවසීය.

මෙමගින් ලක්ෂ 10 කට පමණ පිරිසකට සෘජු හා වක්‍ර රැකියා සැපයෙන බවත් මේ ගැටලු‍කාරී තත්ත්වය නිසා ඒ අයගේ රැකියා අහිමිවීමේ අවදානමක් ඇති බවත් ඔහු සඳහන් කළේය. පොලිස් කොස්තාපල්වරයෙකුට මෙතෙක් ගෙවනු ලැබූ 900 දීමනාව රුපියල් 4,800 ක් දක්වා වැඩිකර තිබෙන බවද, පොලිස් සැරයන්වරයෙකුට ගෙවනු ලැබූ 1,200 දීමනාව 5,200 ක් දක්වා වැඩි කර ඇති බවද ඔහු කීය. එසේම ආධාර පිණිස පවත්වන ප්‍රසංගවලදී පවා මේ මුදල් අය කිරීම සාධාරණ නොවන බවද හෙතෙම පැවසීය.

පොලිසියේ දීමනාව ප්‍රසංග සංවිධායකවරුන්ටම ගෙවීමට සිදුවීම නිසා මේ වැඩිවීම දරාගත නොහැකි මට්ටමට පත්ව ඇතැයිද සංගමයේ සභාපතිවරයා කීය. එසේම ප්‍රසංගයට සපයන පොලිසියේ ප්‍රමාණය තීරණය කරන්නේ එම ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් බවද ඔහු අනුමත කරන ප්‍රමාණයක් ප්‍රසංගයට පොලිස් නිලධාරීන් යොදවා ගත යුතුව ඇතැයි ද සභාපතිවරයා සඳහන් කළේය. ප්‍රසංගය  සඳහා පොලිසියේ ආරක්‍ෂාව ලබාගත්ත ද පෞද්ගලික ආරක්ෂක අංශවල ආරක්ෂාව ලබාගැනීමට සිදුවීම නිසා සංවිධායකයන්ට වියදම් දෙකක් කිරීමට සිදුවී ඇතැයි ඔහු කීය.

එසේම විනෝද බද්ද පළාත් පාලන ආයතනවල අභිමතය අනුව අය කිරීම මහත් ගැටලු‍වක් වී ඇති බවද හෙතෙම සඳහන් කළේය. මෙහිදී සංගීත ප්‍රසංග සංවිධායකවරයකු වන ලසන්ත කෝරාලගෙන් අප කළ විමසීමේ දී ඔහු සඳහන් කළේ සංගීත ප්‍රසංග පවත්වන ක්‍රීඩාංගණවලට ද ඉහළ මුදලක් අය කළත් ඒවාට සාධාරණයක් වන සේ ජලය, විදුලිය හෝ කිසිදු අවම පහසුකමක්වත් නොලැබෙන බවයි. බදු ප්‍රශ්න නිසා ප්‍රසංග නතරවීමෙන් ප්‍රසංග සංවිධායකයන්ට, කලාකරුවන්ට මෙන්ම රසිකයන්ට ද අසාධාරණයක් වන බව ඔහු සඳහන් කළේය.